ජොනී ඩෙප්ට වැඩි වාසි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 3, 2022

ජොනී ඩෙප්ට වැඩි වාසි

හොලිවුඩ් නළු නිළි යුවළක වන ජොනී ඩෙප් සහ ඔහුගේ හිටපු බිරිඳ ඇම්බර් හර්ඩ්, එකිනෙකාට අපහාස කර ගත් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි. දෙපාර්ශ්වයේම පැමිණිලිවලට හොඳින් කන්දීමෙන් පසු ජූරි සභාව ඔවුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ ඩෙප් සහ හර්ඩ් දෙදෙනාම වරදකරුවන් බව පෙන්වා දෙමිනි. කෙසේ නමුත්, තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ නළු ජොනී ඩෙප්ට වාසි වන අයුරිනි. 
‘පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්’ චිත්‍රපට මාලාවේ කැප්ටන් ජැක් ස්පැරෝ ලෙස ජනප්‍රිය 58 හැවිරිදි ජොනී ඩෙප්, හොලිවුඩයේ ඉහළ වටිනාකමකින් යුත් නළුවකු වන අතර ඔහු ලොව පුරා ලොකු කුඩා කා අතරේත් ජනප්‍රියය.
ජොනී ඩෙප්ගේ විවිධ සිනමා චරිත ...
ජොනී ඩෙප් තරම් ජනප්‍රිය නොවුණත් ඇම්බර් හර්ඩ් ද හොලිවුඩ් චිත්‍රපට කීපයකට රංගනයෙන් එක් වී ඇත. ඇය බොහෝ දෙනා ජනප්‍රිය ‘ඇක්වා මෑන්’ චිත්‍රපටයේ කළ රංගනය හේතුවෙනි. හර්ඩ් 36 හැවිරිදි වියෙහි පසුවෙයි.
ඇම්බර් හර්ඩ්, ඇක්වාමෑන් චිත්‍රපටයේ 'මීරා' ලෙස ...
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ ජොනී ඩෙප්ට අපහාස කරමින්, ඔහුගේ කීර්ති නාමය කෙළසීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 15 ක (රුපියල් කෝටි 540 ක් පමණ) වන්දියක් ඩෙප්ට ලබා දිය යුතු බව හර්ඩ්ට පවසමිනි. ඇම්බර් හර්ඩ් ට අපහාස කිරීම සම්බන්ධයෙන් ජොනී ඩෙප්ට වන්දි ලෙස ගෙවීමට නියම කෙරුණේ ඇමෙරිකන් ඩොලර් මිලියන 2 කි. 

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරද්දී ඇමෙරිකාවේ වර්ජීනියා ප්‍රාන්තයේ ෆයර්ෆැක්ස් නුවර අධිකරණ ශාලාවට ඇම්බර් හර්ඩ් පැමිණ සිටි අතර, ජොනී ඩෙප් එංගලන්තයේ සිට එම අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය. ඩෙප් ලන්ඩන් නුවරට ගොස් ඇත්තේ ෂෙෆීල්ඩ් හි පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගීවීම සඳහාය.
ඩෙප් සහ හර්ඩ් යුවළ නඩු මඟට යොමු වූයේ 2018 දී හර්ඩ්, ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් මුල්කොට ගනිමිනි. එහිදී හර්ඩ්, ඩෙප්ට චෝදනා නගා තිබුණේ ඔහු ඇයට ලිංගික අඩන්තේට්ටම් කරන බවත්, ඩෙප් නිසා ඇය ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ ගොදුරක් වූ බවත්ය. 

කෙසේ නමුත් වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ ජොනී ඩෙප්ගේ නමක් සඳහන් නොවිණි. ඒ වනවිට ඇම්බර් හර්ඩ් විවාහ වී සිටියේ ඩෙප් සමග බැවින්, ඇය චෝදනා නැගුවේ ඩෙප් ගැන බව ලොවට රහසක් නොවිණි. 

ජොනී ඩෙප් සහ ඇම්බර් හර්ඩ් විවාහ වූයේ 2015 වසරේදීය. ඒ, 2011 දී ‘රම් ඩයරි’ චිත්‍රපටයේ එකට රංගනයෙන් යෙදීමෙන් පසුව එකිනෙකා හඳුනාගෙනය. 2015 දී විවාහ වී වසරක් යෑමටත් පෙර විවාහය අවුල්සහගත වූ අතර, 2016 දී හර්ඩ්, ඩෙප්ට ඓරහිව තහනම් නියෝගයක් ද අධිකරණයෙන් ලබා ගත් බව පැවැසෙයි. දෙදෙනා දික්කසාද වූයේ 2017 දීය. 

හර්ඩ්, නම සඳහන් නොකර ඩෙප්ට අපහාස වන ආකාරයට ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාව ලබා දුන්නේ 2018 වසරේදීය. පුවත්පත් සම්මුඛ සාකච්ඡාවෙන් පසු, ජොනී ඩෙප්, ඇම්බර් හර්ඩ්ට එරෙහිව නඩු මඟට ගියේ,හර්ඩ් තම හොඳ නම කැත කළේ යැයි පෙන්වා දෙමින් ඇමෙරිකන් ඩොලර් මිලියන 50 ක වන්දියක් ද ඉල්ලමිනි. 

හර්ඩ් ඊට ප්‍රතිචාර දක්වමින් නඩු මඟට ගියේ ඩෙප්ගෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක වන්දියක් ඉල්ලමිනි. චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය පසුගිය සති 6 ක කාලය පුරා ෆෙයාර්ෆැක්ස් අධිකරණයේ දී පැවැත්වූයේ ඉන් අනතුරුවය. 
ජොනී ඩෙප්ට වැඩි වාසි වන ආකාරයට නඩු තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසු හැඬූ කඳුළින් ඇම්බර් හර්ඩ් පැවැසුවේ, ලිංගික හිංසනයකට සහ අඩන්තේට්ටම්වලට ලක්වුණු තමන් වැනි කාන්තාවකට සාධාරණයක් ඉටු නොවුණු බවය. සාමාජිකයන් හත් දෙනකුගෙන් සමන්විත ජූරි සභාව ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් වුණු බවත්, ජූරි සභාව තමන් තම ජීවිතය ආපසු ලබා දුන් බවත් ජොනී ඩෙප් පැවැසීය.

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom