![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgaipefJIPFt0nvvFEJCcxTfJeZXmYdptNeTl40K7-AuN2xub27NurZjaxgbEEKb-sU2tjhFN8ygnYPrUBHUi0p3UtPbf4ZHMdyod58qyuCq_2v9Z76_nma5dXipryyYajHo33ZreeczTrLiJgqacGC368aomKSERyxjBkkHSqsGn0yhRjw4RQFK-4WEQ/s16000/d41586-021-02206-1_19561874.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTsnPKy4ttC_HFwsKqE13V9_rQfAbgkBSPxU-Utkq9G3UQzxprmIEEILTrZn9JEw5aKkD1XZ5vLsrnlL3tID2jsVlb3osrBMvBIYhzH85evTzZnA1laNI4PLzUv55pCQbbiFjZ7tjFdgjjM_eXfT6i7I06KUZnAqg9SFTP-xcYXS_u_iXIQ30vTt5TEg/s16000/researchers-say-woolly-mammoth-went-extinct-4000-years-ago-o_psr9.jpg)
අයිස් යුගයේ ජීවත් වූ දැවැන්තයකු වන්නේ මැමතාය. මැමතුන් ප්‍රමාණයෙන් සහ පෙනුමින් අලි ඇතුන්ට සමාන වුවත්, අලි ඇතුන් යනු මැමතුන්ගේ ආදීතමයන් නොවෙයි. නව තාක්ෂණයේ දියුණුවත් සමඟ අද වනවිට විද්‍යාඥයන්ට වඳ වී ගිය මැමතුන්ගේ සුරැකුණු සිරුරුවලින් ජාන වෙන් කර ඒවා පැහැදිලිව හඳුනා ගැනීමට හැකි වී ඇත. තව වසරකින් හෝ දෙකකින් මැමත් පැටියකුට පණ දීමට ද විද්‍යාඥයෝ සූදානම් වෙති. ඒ කෘත්‍රිමව නිපදවන මැමත් කලලයක් ඇතින්නකගේ ගර්භාෂයේ තැන්පත් කරමිණි. ඒ සියල්ල ගැන විස්තර ඉදිරියේ දී අපට අසන්න දකින්න ලැබෙනු ඇත.
මේ කතාව මැමතුන් ගැන වුවත්, මැමතුන්ට පණ දීමක් ගැන නොවෙයි. මැමත් රංචුවක අභාවය ගැන කතාවකි. මේ අවසන් මැමත් රංචුවේ කතාවය.
‘ව්රැන්ගෙල් දූපත’
එකෝමත් එක කාලයක, හරියටම කීවොත්, අවුරුදු 12,000 කට පෙර අතීතයේ, මැමතුන් රංචුවක් කුඩා හුදෙකලා වූ දූපතක කොටු විය. මේ දූපත අද හැඳින්වෙන්නේ ‘ව්රැන්ගෙල් දූපත’ (Wrangel Island) යනුවෙනි.
එදා, අවුරුදු දහස් ගණනකට පෙර අතීතයේ, සයිබීරියාව සමඟ සම්බන්ධ වී පැවැතුණේ පස් තට්ටු සහ අයිස් තට්ටුවලින් ස්වභාවිකව නිර්මාණය වූ භූමි පාලම්වලිනි. ඒත් කාලගුණය අසාමාන්‍ය අයුරින් උණුසුම් වෙද්දී, පස් සහ අයිත් තට්ටු දියවී ගියේය. ප්‍රධාන භූමිය හා පැවැති සම්බන්ධය බිඳ වැටුණි.
‘ව්රැන්ගෙල් දූපත’ ප්‍රධාන භූමියෙන් වෙන් වූයේ, මැමතුන් රංචුව එහි සිර කරමිණි. ආහාර සොයා මෙන්ම වර්ගයා බෝ කිරීම සඳහා ද සයිබීරියාවේ ප්‍රධාන භූමියේ සිට ‘ව්රැන්ගෙල් දූපත’ ට ගොස් සිටි මැමතුන්ට ආපසු ඒමට හැකියාවක් නොලැබිණි.
දූපතේ කොටුවෙයි
විද්‍යාඥයන්ට අනුව, කුඩා දූපතක මැමතුන් කොටුවුණු පළමු සිද්ධිය මෙය නොවෙයි.
ප්ලයිස්ටෝසීන අවදියේ ද මෙවැනි සිදුවීම් වූ බව මීට පෙර විද්‍යාඥයන් විසින් තහවුරු කරගෙන තිබේ. ප්ලයිස්ටෝසීන අවදිය පැවැතියේ වසර 2,580,000 සිට 11,700 අතර කාලයේය. ප්ලයිස්ටෝසීන අවදිය අප වඩා හොඳින් දන්නේ ‘අයිස් යුගය’ යනුවෙනි. ප්ලයිස්ටෝසීන අවදියේ, වර්තමානයේ ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියාව යනුවෙන් අප හඳුන්වන ප්‍රදේශයේ මැමතුන් වාසය කර තිබේ.
මේ මැමතුන් කුඩා දූපත්වලට කොටු වූයේ එම දූපත්වල ප්‍රමාණය විවිධ ස්වාභාවික හේතූන් නිසා කුඩා වී යෑමෙනි. ‘චැනල් අයිලන්ඩ්’ දූපත් යනුවෙන් අද මෙම දූපත් හැඳින්වෙන අතර, ඇමෙරිකාවේ ප්‍රකට ‘චැනල් අයිලන්ඩ්’ ජාතික වනෝද්‍යානය පිහිටා ඇත්තේ මෙම දූපත් ආශ්‍රිතවය. ප්‍රධාන භූමියෙන් වෙන්වී දූපත්වලට කොටුවුණු මැමතුන් පරම්පරා ගණනාවක් යද්දී ප්‍රමාණයෙන් කුඩා වූ බව පැවැසෙයි. එම මැමතුන්ගේ උස මීටර් දෙකක් වත් නොවිණි. මොවුන් ‘පිග්මි’ මැමතුන් ලෙස හැඳින්වෙයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhWGKyljSquUzq3ltuYUQ56_WhBWruVKMKEYZQSDFjzzlBkEmcpasx-jI1vN0UxHAJUtVBbzFq4z-0fUtTjkiDKAPI1Yedvj2oc1MrNSNKFdS_sd1xYkAn69mLeg60EK2Oe_FkH9NrCDjRQRYJWymV9tAIslL2zyrGZe9VuMKwj-ptxSruHfhkCdXBnZA/s16000/GL-MAP-woolley-mammoth-russia-v2-e1570732478630.jpg)
ව්රැන්ගර් දූපත
දැන් ආපසු ‘ව්රැන්ගෙල් දූපත’ ට අවධානය යොමු කරමු. ව්රැන්ගෙල් දූපතේ මැමතුන් මෙන්ම උන්ගේ කතාව ද විශේෂ එකකි. ලෝකයේ ජීවත් වූ අවසන් මැමතුන් රංචුව ලෙස සැලකෙන්නේ මේ ව්රැන්ගෙල් දූපතේ මැමතුන් රංචුවය. අතීතයේ ලෝකය පුරා දකින්න ලැබූ මැමතුන්ගෙන් අවසන් මැමතුන් රංචුව මොවුන්ය.
එපමණක් නොවෙයි, මේ මැමතුන් රංචුව, වසර 4,000 කය කලින් ද ව්රැන්ගෙල් දූපතේ ජීවත් වූ බව තහවුරු වී ඇත. වසර 4,400 ක් යනු ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩ ඉදි කෙරුණු කාලයයි. ප්‍රධාන භූමියේ ජීවත් වුණු මැමතුන් මියගොස් ඇත්තේ අවුරුදු 6,000 කට පෙරය.
ඒත්, ඉන්පසු මැමතුන් ජීවත් වූයේ ව්රැන්ගෙල් දූපතේ පමණි. මෙය දැවැන්ත මැමතාගේ අවසන් බළකොටුව ලෙස සැලකෙයි.
අසාමාන්‍ය ජීවිතය
මේ මැමතුන්ගේ අවසන් වසර දහස් ගණන ගතවූයේ අසාමාන්‍ය අයුරින් යැයි කීවොත් එය නිවැරදිය. 2015 දී ව්රැන්ගෙල් දූපතේ කැණීම් කරමින් මැමතුන් ගැන තොරතුරු සොයන්න වූ විද්‍යාඥ කණ්ඩායමකට මැමතකුගේ චාර්වක දතක් (හක්කේ ඇඹරුම් දත) හමුවිය. විද්‍යාඥයන් වැඩිදුර පර්යේෂණ කරමින් එම දතෙන්, මැමත් ඩී.එන්.ඒ. වෙන්කර ගත්තේය.
මේ දත අයිති මැමතා ජීවත් වන්න ඇත්තේ අවුරුදු 4,300 කට පෙර බව කාල නිර්ණ පරීක්ෂණවලින් හෙළි විය. වෙන් කර ගත් ඩී.එන්.ඒ. අනුව පෙනී ගියේ මැමතාගේ ජිනෝම (ජානමය ද්‍රව්‍ය) අසාමාන්‍ය ආකාරයේ විකෘතිවලින් පිරී ඇති බවය.
විකෘතිකරණය
ප්‍රධාන භූමියේ ජීවත් වූ මැමතුන් සහ ඔහුගේ ඥාතීන්ගේත් ආදීතමයන්ගේත් දකින්න නොලැබුණු ආකාරයේ ඇතැම් ජාන, ව්රැන්ගෙල් දූපතේ මැමතුන්ගෙන් මැකී ගොස් ඇති අයුරු සහ කැඩි බිඳී ගොස් ඇති අයුරු විද්‍යාඥයන්ට දකින්න ලැබුණු අතර එය ඔවුන් මවිතයට පත් කිරීමට හේතුවක් විය. මැමතුන් ලොව පුරා විසිරී පැතිරී ජීවත් වූයේ ජානමය වශයෙන් ශක්තිමත් පරම්පරා බිහි කරමිණි.
කෙසේ නමුත්, ව්රැන්ගෙල් දූපතේ ජීවත් වූ අවසන් මැමත් රංචුව, ජානමය වශයෙන් විකෘතිකරණයට ලක් වූයේ එය ඔවුන්ගේ පැවැත්මට අහිතකර බලපෑම් එල්ල කරමිණි. මෙය විකෘති ජාන නිසා සිදුවුණු විනාශයක් යැයි කීවොත් එය නිවැරදිය.
වාසභූමි අහිමි වෙයි
අයිස් යුගයේ එසේත් නැතිනම් ප්ලයිස්ටෝසීන අවදියේ මැමතුන් යුරේසියාවේ උතුරු පළාත්වලත්, උතුරු ඇමෙරිකාවේත් ආධිපත්‍ය පතුරුවා ගෙන සිටි බව තහවුරු වී තිබේ.
උතුරු අර්ධ ගෝලයේ වැඩි ප්‍රමාණයක් පිරී තිබුණේ විවෘත තණ බිම්වලිනි. මේ තණ බිම් මැමතුන්ගේ රජ දහන බවට පත් වී තිබුණි. කෙසේ නමුත් පරිසර උෂ්ණත්වය ඉහළ ගොස්, අයිස් යුගය නිමා වෙද්දී, තණ බිම් සහ තුන්ද්‍රා (හිම මිදුණු ආක්ටික් තැනිතලා බිම්) වෙනුවට ගස්වලින් පිරුණු වනාන්තර බිහි වන්න පටන් ගත්තේය. මැමතුන්ගේ වාසභූමි වෙනස් වූවා පමණක් නොව උන්ට එම වාසභූමි අහිමි වී ගියේය.
මිනිස් සතුරා
වාසභූමි අහිමි වීම පමණක් නොවෙයි, පුරාණ මිනිසා ඉවක් බවක් නොමැතිව මැමතුන් දඩයම් කළ බැවින් ලෝකයේ මැමත් ගහණය සෙමින් පහළ යෑමට පටන් ගැනුණි. පොසිල සාක්ෂි අනුව පැහැදිලි වී ඇති කරුණක් වන්නේ අවුරුදු 10,000 කට පෙර, ප්‍රධාන භූමියේ ජීවත් වූ මැමතුන්ගේ ගහණය ඉතා වේගයෙන් පහළ වැටුණු බවය. එහෙත්, ව්රැන්ගෙල් දූපතේ ඉතිරි වුණු මැමතුන් රංචුව ආරක්ෂිත විය. උන්ට සතුරු තර්ජන නොවිණි. දූපතේ ද ආහාර ඇති තරම් තිබුණි.
අතීතයේ මෙන් නොව, දැනුත් ව්රැන්ගෙල් දූපත ආක්ටික් කුණාටුවලින් බැටකයි. මෙය මැමතුන්ට වාසියක් විය. මැමතුන්ට අවශ්‍ය වන අයුරින් ඔවුන්ගේ වාසභූමිය පැවැතිණි. තද සුළං පැවැති නිසා ලොකු ගස් බිහි නොවිණි. තුන්ද්‍රා (හිම මිදුණු ආක්ටික් තැනිතලා බිම්) තැනිතලා බිම් වෙනස් වූයේ නැත. දූපතේ ලොකු විලෝපිකයන් සිටියේ නැත. මනුෂ්‍යයන් සිටියේ නැත. මනුෂ්‍යයන් ආක්ටික් සාගරය තරණය කරමින් දූපතට ගියේ ද නැත. ඒ, එය අවදානම් ගමනක් වූ බැවිනි.
ප්‍රධාන භුමියේ ජීවත් වූ මිනිසා ව්රැන්ගෙල් දූපතේ මැමතුන් සිටි බව දැන සිටියේ ද නැත. ව්රැන්ගෙල් දූපතට මනුෂ්‍යයන් ගිය බවට සාක්ෂි ලැබී ඇත්තේ එහි දකුණු දිග වෙරළෙනි. දකුණු දිග වෙරළේ මනුෂ්‍යයන් කඳවුරු බැඳගෙන සිටි බවට සාක්ෂි හමුවී තිබේ. ඒ, ව්රැන්ගෙල් දූපතේ මැමතුන් සියල්ල මියගොස් තවත් වසර දහස් ගණනකට පසුවය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiFZhThq8drj5kz9LhMmdm-a69itZSnpmZnHXPqeznRS3SmnVBiHlaoMfWF-gGcZ967P_9Sycai0_LW_wVsxEoQ6lYRmObcZmiCNo6QGpe_QiVFgYf9cHHWeybM7GTeqnLOl6sRBu9SZeufTQxRtT_R0IJ5OHVrJvp_kWwaKnXoMC-2PzSq3XuvNwuLtA/s16000/0ba15a314dff55c69329a2f5a1a0c879--amazing-photos-fossils.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3Pv2I8sqF2ZylXqSezQpYMK1VCK0sfa5cbcVQ3kCdM5bG2YtNG1O4QHnepxxhRATXf3T6yPVPou4hBjZ1ry_aAqLzIL-Erwcct5_YWyoNtOw4y4T5JLZuqZlynTG3Yz2bRNNslj8iUbE9JOWnu0DRtqkgrHaKtDIgO31fMPgyodwhiHwTlxNAGPnDUg/s16000/051219_mammoth_head_02.jpg)
ව්රැන්ගෙල් දූපත මැමතුන්ට ආරක්ෂිත වුවත්, පාරාදීසයක් වුවත්, අවසානයේ දූපතේ මැමත්තු සියල්ල මියගියහ. ඩී.එන්.ඒ. සාක්ෂිවලින් තහවුරු වී ඇත්තේ ඊට හේතුව, මැමත් රංචුව ප්‍රමාණයෙන් කුඩා වීමත්, උන් වසර ගණනාක් හුදෙකලා වීමත්ය.
ජානවලට හානි
වර්ධනයකට ඉඩක් නොමැති පරිසරයක, කුඩා ජීවීන් කණ්ඩායමක්, කුඩා දූපතක වසර දහස් ගණනක් හුදෙකලා වුවහොත්, ඔවුන්ගේ ජානවලට හානි සිදුවෙයි.
ජාන විවිධත්වය සම්පූර්ණයෙන්ම නැති වී යයි. එසේ වෙන්නේ පරම්පරා ගණනාවක් තිස්සේ එකම කණ්ඩායමක් අතරේ සහභිජාතව වර්ගයා බෝ වීමය. ජෛව විවිධත්වයක් පවතිද්දී, විකෘති ජාන නිර්මාණය වුවත්, ඒවා වෙනස් වී එම විකෘතිතා මඟ හැරීමක් සිදුවෙයි. ඒ කාලයාගේ ඇවෑමෙනි. ඒත් ව්රැන්ගෙල් දූපතේ මැමතුන්ගේ විකෘති වුණු ජාන වෙනස් නොවී ස්ථාවරව පැවැතිණි.
ජාන අතර එම විකෘති ජාන පමණක් ඉතිරි විය.
ජාන ගලවා ගැනීම
කණ්ඩායමට, නව ජාන ඇති මැමතකු එක් වුණා යැයි සිතුවොත්, එවිට වර්ගයා බෝ වීම සිදුවෙද්දී, ජාන වෙනස් වී විකෘතිතා මඟ හැරෙයි. මෙය එක්තරා ආකාරයක ‘ජාන ගලවා ගැනීමක්’ වැනිය. ඒත් ව්රැන්ගෙල් දූපතේ කොටු වී හුදෙකලා වුණු මැමතුන් රංචුවට ගැලවුම්කාරයකු සිටියේ නැත. ජාන විවිධත්වයක් සඳහා නව ජාන ලැබුණේ ද නැත. ඒ අනුව විකෘති ජාන හේතුවෙන් දූපතේ මැමත් පරම්පරාව මියයෑමට පටන් ගත්තේය. එය උන්ගේ වදවීමට මඟ පෑදුවේය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhe5qXrz83RxO2Y4ubUOL7d132mZzw7yI4FMHjoJ4MEsFjRYBN6U-ZxyrpWBPtaxHoa2HPOHhXJ1kED1GS_vuVzQSaU5ipxwe3WF-3j7gtYJtOw0x6kBjcEhGciJyF5ERUD20XjHfn3i88W--dLGLYwc5GxhlTsUryolvQxpQ4lxchSD91Pyd0iyPsK6A/s16000/213188_web.jpg)
ජාන විශ්ලේෂණය කළ දත
ජාන සන්සන්දනය
ව්රැන්ගෙල් දූපතේ මැමත් දතෙන් ලබා ගත් ජාන, ප්‍රධාන භූමියෙන් හමුවුණු වෙනත් පැරැණි මැමතකුගේ ජාන සමඟ සන්සන්දනය කිරීමක් සිදු කෙරුණි. මේ පැරැණි මැමතා ජීවත්ව සිට ඇත්තේ අවුරුදු 45,000 කට පෙරය. ඒ උතුරු ගෝලයේ ඇති තරම් මැමතුන් ජීවත් වූ කාලයයි. මැමතුන් දෙදෙනාගේ ජාන ව්‍යුහය පරීක්ෂා කරද්දී, පැහැදිලි වෙනස්කම් දකින්න ලැබුණා පමණක් නොව, ජානමය හේතූන් නිසා ව්රැන්ගෙල් දූපතේ මැමතුන්ගේ අභාවය සිදුවුණු බවට ප්‍රබල සාක්ෂි ද හමුවිය.
ව්රැන්ගෙල් දූපතේ මැමතුන්ගේ ජානවල අඩුපාඩු රැසක් ද දකින්න ලැබුණි. ඇතැම් ජාන සැකැසුම් මුළුමනින්ම පාහේ අතුරුදන් වී තිබුණි. වැදගත් ජාන බොහොමයක් සමඟ අහිතකර ජාන මුසුවී තිබුණි. සිරුරේ ප්‍රෝටීන නිපදවීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමට මෙම ජාන බාධාවක් විය.
ජාන විකෘතිය
උදාහරණයක් ලෙස, මැමතුන්ගේ සිරුරේ ඇති FoxQ1නමැති ජානය පෙන්වා දිය හැකිය.
මැමතාගේ සිරුරේ රෝම නිර්මාණය වීමට හේතුවන ජානය මෙයයි. ව්රැන්ගෙල් දූපතේ මැමතුන්ගේ මෙම FoxQ1ජානය විකෘති වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඩී.එන්.ඒ. ප්‍රෝටීන බවට පරිවර්තනය සිදුවන ආකාරය වෙනස් විය. ඒ අනුව, ව්රැන්ගෙල් දූපතේ මැමතුන්ගේ ලොම්වල ස්වභාවය වෙනස් විය. එම ලොම් අතරේ තෙතමනය රැඳී තිබූ කාලය වැඩිවිය. ව්රැන්ගෙල් දූපතේ සීතල කාලගුණයක ජීවත් වූ මැමතුන්ට උන්ගේ සිරුරු උණුසුම්ව තබා ගැනීම ඒ අනුව ගැටලුවක් විය. මැමතුන් රෝගී වී මියයෑම සිදුවිය.
2020 දී විකෘතිකරණයට ලක් වුණු ජාන හඳුනා ගනිමින් ඒවා වෙනුවට විකෘති නොවන, නිවැරදි ජාන කෘත්‍රිමව නිපදවා එක් කරමින් නව පර්යේෂණයක් සිදු කෙරුණි. එහිදී තහවුරු වූ කරුණක් නම් මැමත් පිරිමි සතුන් මඳසරුබව ඇති කිරීමට ද මෙම විකෘති ජාන හේතුවක් වූ බවය. තවත් ජානයකින් මානසික ආබාධ ඇති වන බව තහවුරු කර ගැනුණි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiC_K9YjpLHd-5mFcKoxPH38hdbpJoEGxY82iBy8t5EU1mcFrv3n1X1ONdtmDcPh66DitFjHS8l12hwVCewTtPg1KIknFPI_NdJ4PpxEbwmL8DB-cMQ51F1SQZHk9Jdn4jjo7uWhL0nKQfCIBaSrzG5r_Vajxf4XRNiZWW_n7OFduA-qrNYEDosKwvcYQ/s16000/c0205688-woolly_mammoth_artwork-spl.jpg)
තවත් විකෘති ජානයක් නිසා මැමතුන්ට මල්වලින් නැගෙන 'බේටා අයොනීන්' සුවඳ විඳීමට නොහැකි විය. දූපතේ මැමතුන්ට දූපතේ වැවෙන මල්වල සුවඳ දැනෙන්න නැතැයි ඒ අනුව පැවැසෙයි. අවසානයේ දී ගඳ සුවඳ නොදැනීමෙන් මැමතුන්ට ආහාර සොයා ගැනීම ද ගැටලුවක් විය.
අනාගතයට පාඩමක්
ව්රැන්ගෙල් දූපතේ මැමතුන්ගේ අවසානය ඛේදනීයය. ජාන තාක්ෂණයේ දියුණුවත් සමග දූපතේ මැමතුන්ගේ ජාන අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ලැබුණු බැවින්, මැමතුන්ට සිදුවුණු විපත අපට කිසිදා අමතක නොවනු ඇත. එපමණක් නොව, ව්රැන්ගෙල් දූපතේ මැමතුන්ට සිදුවුණු විපත අධ්‍යයනය කිරීමෙන් අපට අනාගතය වෙනුවෙන් පාඩම් ඉගෙන ගැනීමට ද පුළුවනි.
෴ ලුසිත ජයමාන්න
‘ද අයිලන්ඩ් ඔෆ් ලාස්ට් මැමත්ස්’
වීඩියෝ වාර්තා වැඩසටහන ඇසුරිනි