ගිනිඅවි පාලනයට නව නීති - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 26, 2022

ගිනිඅවි පාලනයට නව නීති

ගිනි අවි පාලනය කිරීමේ නව පනත් කෙටුම්පතට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අත්සන් තැබුවේය. පනත් කෙටුම්පත ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කෙරුණු අතර, කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ඊට හිමිවනු ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

ඇමෙරිකාවේ ගිනි අවි පාලනයට නව නීති ගෙන අවශ්‍ය යැයි වසර 30 කට වැඩි කාලයක් තිස්සේ වාද විවාද පැවැතිණි. ‍ කෙසේ නමුත් පසුගිය දිනවල ඇමෙරිකාවේ නන්දෙසින් ගිනි අවි සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීමත් සමඟ ගිනි අවි පාලනයට නව නීති සකස් කළ යුතු යැයි යළිත් වරක් කථිකාවතක් ගොඩ නැගුණි.

ගිනි අවි පාලනයට කඩිනමින් නීති සකස් කිරීම බයිඩන් පරිපාලනය විසින් සිදු කරනු ලැබුවේ ඒ අනුවය. බයිඩන්ගේ පාලක ඩිමොක්‍රටික්වරුන් පමණක් නොව, ගිනි අවි සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන්ගේ ද අනුමැතිය ඊට හිමිවිය. 

“මේ පනත් කෙටුම්පත හරහා ගිනි අවි පාලනයට මා බලාපොරොත්තු වන සියලු දේ ඉටු වන්නේ නැහැ. ඒත් ජීවිත බේරා ගැනීමට වසර ගණනක් තිස්සේ මා ඉදිරිපත් කළ යෝජනා රැසක් පනත් කෙටුම්පතට ඇතුළත් වෙනවා” යැයි ජනාධිපති බයිඩන් පනත් කෙටුම්පතට අත්සන් තැබීමෙන් පසු මාධ්‍ය හමුවේ පැවැසුවේය. එම අවස්ථාවට ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් ද එක් වී සිටියාය.

සම්මත කිරීමට නියමිත නව නීති යටතේ, අවුරුදු 21 ට අඩු පුද්ගලයකු ගිනි අවියක් මිලදී ගන්නේ නම්, එම පුද්ගලයා සම්බන්ධයෙන් පුළුල් විස්තර සොයා බැලීමක් සිදුවනු ඇත. සමාජයට අනතුරක් යැයි සැක කරන පුද්ගලයන්ට ගිනි අවි ළඟ තබා ගැනීම තහනම් වන අතර, දැනටමත් එවැනි පුද්ගලයන් සතුව ඇති ගිනිඅවි ඔවුන්ගෙන් ඉවත් කිරීම ප්‍රාන්ත මට්ටමින් සිදු කෙරේ. 

ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන්ට ගිනි අවි ළඟ තබා ගැනීම තහනම් කෙරනු ඇත. ඊට අමතරව, පාසල්වල මානසික සෞඛ්‍ය වැඩසටහන් සඳහා මෙන්ම පාසල් ආරක්ෂාව සඳහා ද ඇමෙරිකන් ඩොලර් බිලියන 15 ක අරමුදලක් වෙන් කිරීමට රජය කටයුතු කරනු ඇත. ගිනි අවිවලට එරෙහිව හඩ නඟන ඇමෙරිකන් සිවිල් ක්‍රියාකාරීන් පෙන්වා දී ඇත්තේ, බයිඩන් පරිපාලනය ගිනි අවි පාලනයට තවත් දැඩි නීති ගෙන ආ යුතු බවය.

ප්‍රහාරක ගිනි අවි විකිණීම සහ ළඟ තබා ගැනීම වහා තහනම් කරන්නැයි සිවිල් ක්‍රියාකාරීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

පසුගිය මැයි 24 වැනිදා ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ කුඩා නගරයක ප්‍රාථමික පාසලකට කඩා වැදුණු එම පාසලේම අධ්‍යාපනය ලැබූ 18 හැවිරිදි ගැටවරයකු කළ වෙඩි තැබීම්වලින් කුඩා දරුවන් 19 දෙනකු සහ ගුරුවරියෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 18 හැවිරිදි ගැටවරයා වෙඩි තැබීම කළේ ඔහු විසින් මිලදී ගනු ලැබූ ස්වයංක්‍රීය ප්‍රහාරක ගිනි අවි දෙකකිනි. 

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom