
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය, එරට හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක්ට හිමිවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් මාධ්‍ය මෙසේ පැවැසුවේ, බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකත්වය සඳහා පැවැත්වෙන සටනේ ඉදිරියෙන් සිටීමට, ඉන්දීය සම්භවයක් ඇති 42 හැවිරිදි සුනාක් සමත්වීමත් සමඟය.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. වර්තමානයේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සිටින කොන්සර්වර්ටිව් පක්ෂය මන්ත්‍රීවරුන් ගණන 358 කි.
පක්ෂයේ නව නායකයකු තෝරා ගැනීම සිදුවන්නේ මෙම මන්ත්‍රීවරුන් සහ කොන්සවර්ටිව් පක්ෂ නියෝජිතයන්ගේ ඡන්දයෙනි. අවසානයේ අපේක්ෂකයන් දෙදෙනකු ඉතිරිවනතුරු ඡන්ද වට කීපයක් පැවැත්වෙයි. අවසානයේ ඉතිරි වන අපේක්ෂකයන් දෙදෙනා අතරින්, පක්ෂයේ බහුතරයේ කැමැත්ත හිමි වන අපේක්ෂකයාට පක්ෂ නායකත්වයත් පසුව අග්‍රාමාත්‍ය ධුරයත් හිමි වෙයි.
පසුගිය දා පැවැති වුණු ඡන්ද විමසුමේ දී කොන්සවර්ටිව් මන්ත්‍රීවරුන් වැඩි දෙනාගේ මනාපය රිෂී සුනාක් ට ය. ඡන්ද විමසුමට අපේක්ෂකයෝ පස් දෙනෙක් ඉදිරිපත් වූහ. හිටපු මුදල් අමාත්‍ය රිෂී සුනාක්, විදේශ කටයුතු අමාත්‍යවරිය ලිස් ට්‍රස්, වෙළඳ රාජ්‍ය අමාත්‍ය පෙනී මොර්ඩෝන්ට්, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙමී බෙඩ්නොක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ටොම් ටුගෙන්ඩාට් ඒ අතර වූහ.

ඡන්ද විමසුමේ දී, හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් ට කොන්සර්වර්ටිව් පක්ෂ මන්ත්‍රීවරු 115 දෙනකුගේ සහාය හිමිවිය. වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය පෙනී මොර්ඩෝන්ට් සහාය ලබා දුන් මන්ත්‍රීවරුන් ගණන 82 කි. විදේශ කටයුතු අමාත්‍ය ලිස් ට්‍රස් ට සහාය ලබා දුන් ගණන 71 කි. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙමී බෙඩ්නොක් ට 58 දෙනකුගේ සහාය මෙන්ම ටොම් ටුගෙන්ඩාට් මන්ත්‍රීවරුන් 31 දෙනෙකගේ සහාය හිමිවිය. අඩුම මන්ත්‍රීවරුන් ගණනකගේ සහාය හිමිවුණු ටොම් ටුගෙන්ඩාට් පක්ෂ නායකත්ව සටනින් ඉවත් විය.
අග්‍රාමාත්‍ය ධුරයේ සිටි බොරිස් ජොන්සන් ට පක්ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉවත් වීමට සිදුවූයේ ‘කොන්සවර්ටිව්’ පක්ෂය තුළින් එල්ල වුණු විරෝධයක් හේතුවෙනි. එම විරෝධයට හේතුව වූයේ ජොන්සන්, කොවිඩ් නීති උල්ලංඝනය සහ ලිංගික චෝදනා එල්ල වුණු මන්ත්‍රීවරයකුට රජයේ ඉහළ තනතුරක් පිරිනැමීමය. නව පක්ෂ නායකයකු මෙන්ම අග්‍රාමාත්‍යවරයකු තෝරා ගන්නා තුරු වැඩබලන අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන්නේ ජොන්සන්ය.
෴ උපුටා ගැනීම - BBC