ප්‍රේක්ෂකයෝ ආසා කර්ල් කොණ්ඩේට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 20, 2022

ප්‍රේක්ෂකයෝ ආසා කර්ල් කොණ්ඩේට

වර්තමානයේ ජනප්‍රිය වුණු නවක ශිල්පිනියන් අතර රූපවාහිනි අවුරුදු කුමාරි වැඩසටහන මඟින් කලා ක්ෂේත්‍රයට ගොඩවුණු ඇය මේ වනවිට රූපවාහිනි තිරයේ ද නැතුවම බැරි රුවැත්තියකි. ඇය නමින් සඳනි ප්‍රනාන්දුයි. සඳනි මේ දිනවල ‘බන්ධනා’ ටෙලි නාට්‍යයේ වගේම පසුගිය දිනවල ගායනයට පිවිසීමත් සමඟ කා අතරත් කතාබහට ලක්වී සිටින්නීය. ඇය ඉරිදා ලංකාදීප 'සැඳැල්ල' අතිරේකය සමඟ පිළිසඳරකට එක් වූයේ මෙලෙසිනි.
සඳනි කොහොමද ජීවිතේ? 
ඇත්තම කිව්වොත් මේ දවස්වල ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා. බන්ධනා ටෙලිනාට්‍යය එක්ක තමයි ගොඩක්ම කාර්යබහුල. ඊට අමතරව වෙළඳ දැන්වීම් කීපයකුත් කලා පහුගිය දිනවල ඒවා ළඟදී රිලීස් වේවි.

කලාවට පිවිසීමට පාර කියන්නේත් සඳනිට වෙළඳ දැන්වීම් නේද?
ඇත්තටම ඔව්. මුලදී මම වෙළඳ දැන්වීම් හරහා තමයි කලාවට ටික ටික යොමු වුණේ මුලින්ම මම පෙනී හිටියේ බිස්කට් ඇඩ් එකට. ඊට පස්සේ මට දිගටම වෙළඳ දැන්වීම්වලට ආරාධනා ලැබුණා. 2016 දී වගේ කල වෙළඳ දැන්වීම් ප්‍රේක්ෂකයන් අතර ගොඩක් කතාබහට ලක්වුණා. 

බන්ධනා හි ‘‘මයුමිව’’ මොන විදිහටද ඔබට දැනුණේ? 
මුලින්ම කියන්න ඕන මාව මයුමිට තෝර ගන්නේ බුද්ධිනී ජයවර්ධන අක්කා සහ ස්වර්ණවාහිණී ආයතනයෙන් පිටපත මට දුන්නම මට මයුමිගේ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් කියන විශ්වාසය ආවා. මම හිතුවටත් වඩා ප්‍රතිචාර මයුමිට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙනවා.  මයුමි කියන්නේ අවංක ආදරේ වෙනුවෙන් ඕනම දෙයක් කරන ආදරේ වෙනුවෙන් ඕනම කාලයක් බලා ඉන්න කෙනෙක්. මයුමිගේ ආදරේ ඇතුලේ තියෙන ගති ලක්ෂණ සඳනිටත් තියෙන නිසා ඒ චරිතය ගලපගන්න මට ගොඩක් පහසු වුණා. 
ඉස්සරහට මොනවද අලුත් වැඩ?
ටෙලිනාට්‍ය කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. හැබැයි මේ දවස්වලනම් බන්ධනා ඇරුණම සංගීතය පැත්තෙන් පොඩි වැඩ කිහිපයකට අත ගහලා තියෙනවා. 

ඒ කියන්නේ නිලිකම අතෑරලා ගායන වෘත්තියට යන්නද හදන්නේ? 
අපෝ නැහැ. මම මොන වෘත්තිය කරත් රංගනය අතාරින්නේ නැහැ. සින්දුවක් කරන්න මට කාලයක් තිස්සේ තිබුණා ලොකු හීනයක්. ඒ හීනය පහුගිය දවස්වල සැබෑ කරන්න මට පුළුවන් වුණා. මේක මගේම ගීතයක්. පියත් රාජපක්ෂ සමඟ තමයි ගීතය ගායනා කරන්නේ. ගීතය තමයි ‘‘ආදරේ මා නමින්’’ පියත් රාජපක්ෂගෙන් මට ඒකට ලොකු සහයෝගයක් ලැබුණා. තව මගේ ගීත දෙකක් ඉදිරියේදී එන්න තියෙනවා. 

සඳනිට ගායනයට හිත යන්නේ කොහොමද?
පුංචි කාලේ ඉඳලම සංගීතයට මම හරි ආසයි. පාසල් කාලේ යම්තාක් දුරකට මට ගීත ගයන්නත් හැකියාව තිබුණා. ඒ ආසාව මට ඇතිවෙන්නේ මගේ අයියා නිසා. ඔහු තිළිණ ප්‍රනාන්දු එයත් සංගීත ක්ෂේත්‍රයේ වැඩකරන කෙනෙක්. සංගීතයට තිබුණු ආසාව වැඩිවුණේ ගෙදරින්මයි. පස්සේ මම සංගීතය ගැන ඉගෙන ගත්තා. ඉගෙන ගනිමින් ඉන්න අතරතුර තමයි ගීතයක් කරන්න ඕන කියලා හිතුනේ. 

සඳනි කලාවට එන්නේ අවුරුදු කුමරිය හරහා ඔබේ ආරම්භය ගැනත් මතක් කරමු. 
උසස් පෙළ කරලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න අතරතුර මට වෙළඳ දැන්වීම් නිරූපණයට එකතුවෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ 2016 අවුරුද්දේදී. ඒ අයි.ටී.එන්. අවුරුදු කුමරි තරගයෙන් පස්සේ. ඊට පස්සේ 2017 රූපවාහිනී අවුරුදු කුමාරි ලෙස දෙවන ස්ථානය ලබාගන්නවා. එතනින් පස්සේ මට වෙළඳ දැන්වීම් සහ මියුසික් වීඩියෝවලට ගොඩක් ආරාධනා ලැබුණා. නමුත් මට රංගන ශිල්පිනියක් විදිහට එළියට එන්නේ මගේ පළමු ටෙලි නාට්‍යය ‘‘හාර කෝටිය’’ ටෙලි නාට්‍යයෙන් සද්ධා සර් ශිවා සර් මේ වෙලාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා. මොකද මගේ කලා ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ හාරකෝටිය ටෙලි නාට්‍යය. ඇත්තටම මට නිලියක් වෙන්න ආසාවක් තිබුණේ නැහැ. මම ආස කළේ සංගීත පැත්තෙන් ඉස්සරහට යන්න. ඒත් දෛවය මම ආස කරපු හැමදේම මට අද ලබා දීලා තියෙනවා. 

සඳනිට පුංචි තිරයෙන් ඉල්ලුම තිබුණට සිනමාවෙන් ඉල්ලුම අඩුද?
ඇත්තටම චිත්‍රපට පැත්තෙන් මට ලොකුවට ආරාධනා ලැබිලා නැහැ. අරුණ ජයවර්ධන මහත්මාගේ චිත්‍රපටයකට මට දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. හොඳ චිත්‍රපට පිටපතක් ලැබුණොත් චිත්‍රපටයක රඟපාන්න ඇත්තටම ආසාවෙන් ඉන්නවා. 

සඳනිගේ සැලසුම රංගනය පැත්තෙන් ඉදිරියට යන්නද? 
දැනට මගේ වෘත්තිය රංගනය ඒත් දැන් තියෙන ආර්ථික රටාවත් එක්ක එක රැකියාවක් කරලා ජීවත් වෙන්න අමාරුයි. මම වෙනත් වෘත්තියකට යොමු වුණත් සංගීතය සහ රංගනය මගේ වෘත්තියේ කොටසක් වේවි. සඳනි කිව්වාම ප්‍රේක්ෂකයෝ වශී වෙන දෙයක් තමයි සඳනිගේ කොණ්ඩය ඇත්තටම ගොඩක් ඉන්නේ මගේ කර්ල් කොන්ඩෙට ආදරේ කරන ප්‍රේක්ෂකයෝ. මට ජීවිතේ ගොඩක් තැන්වල වාසනාව ගෙනත් දීලා තියෙන්නෙත් මගේ කොණ්ඩේ. ඒක මට උපතින්ම ලැබුණු දායාදයක්. මගේ අම්මාගේ රූපය පෙනුම තමයි මට ලැබිලා තියෙන්නේ. රංගනයට පිවිසීමට මගේ පෙනුමත් හේතුවක් වුණා කියලා මම විශ්වාස කරනවා. 

පවුලේ විස්තර ටිකකුත් කියමු?
මගේ උපන් ගම මාරවිල. මම ඉගෙන ගත්තේ මීගමුව ජාත්‍යන්තර පාසලක. මගේ පවුලේ අම්මායි, තාත්තයි, අයියයි, අක්කයි මමයි තමයි ඉන්නේ. 
ඉතින් දැන් පරස්ථාවක් කරගන්න හොඳ කාලේ කියලා හිතෙන්නේ නැද්ද?
තව අවුරුදු දෙකකින් විතර තමයි පරස්ථාවක් කරගන්න ප්ලෑන් කරන්නේ. මේ කාලේ බඳින්න තියා තනියම ජීවත් වෙන්නත් අමාරු කාලයක්නේ. මම මේ වෙනකොට පෙම්වතියක්. ඔහුත් සංගීතයට සම්බන්ධ කෙනෙක්. ඔහු මගේ සංගීත වැඩවලට ඒ දේවල් ඉගෙන ගන්න හැම අතකින්ම ලොකු සහයෝගයක් ලබා දෙනවා. 

ගායකයෙක් පෙම්වතා කරගන්න විශේෂ හේතුව සංගීතය තියෙන ආසාව නිසාද?
ඇත්තටම ඔව්. මම ඔහුට කැමති වීමේ විශේෂම හේතුව සංගීතයට තියෙන ආදරය සහ ආසාව නිසාමයි. දැන් මම ආදරේ කරන්නේ ගායකයාට වඩා ඒ පුද්ගලයට. 

සඳනි ගැන කියනවනම් ...
මම ගොඩක් නිශ්ශබ්ද චරිතයක්. ඒත් මම ආඩම්බර කෙනෙක් නෙමෙයි. මම නිශ්ශබ්ද නිසා හැමෝම හිතනවා මම අහංකාරයි ආඩම්බරයි කියලා මම එහෙම නැහැ. 

෴ නදීශා අතුකෝරළ
ඡායාරූප - සජීව ලක්ෂාන් 
හැඩගැන්වීම් - තාරුක් ජයරත්න
උපුටා ගැනීම - සැඳැල්ල

Classified_Ad

Classified_Ad_News_Bottom