ඉන්දීය ජනපති වූ ගෝත්‍රික කාන්තාව - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 7, 2022

ඉන්දීය ජනපති වූ ගෝත්‍රික කාන්තාව

අද තරාණි තුඩුට තවත් එක් උදෑසනකි. ඔහුගේ වැඩිමල් සොහොයුරිය ද්‍රෞපදී මුර්මු අද ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත් ව සිටින්නීය. වෙනදා මෙන් අදත් උදෑසන ඔහු සිරිත් පරිදි වෙ‍ළෙඳ පොළට ගියේය. ද්‍රෞපදී මුර්මු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ අපේක්ෂිකාව ලෙසයි.

අද ඇගේ නිවහන වී තිබෙන්නේ දිල්ලියේ රාෂ්ට්‍රපතිභවන්, සෙකුන්දර්බාද්හී රාෂ්ට්‍රපති නිලයම් හා ෂිම්ලාහී ජනපති විවේක මැඳුරයි.පොදු රාජ්‍ය මණ්ඩලය තුළ ඇයට නිල වශයෙන් ඇමතිය යුත්තේ ගෞර්වාර්හ ද්‍රෞපදී මුර්මු කියා ය; ලොව අනිත් රටවල අය එතුමිය ඇමතිය යුත්තේ උත්තමාව කියා ය. 

එහෙත් තරාණි තුඩුට ඒ කිසිවක් නැත. ඔහුසිය නිවසේ කළයුතු රාජකාරිබොහොමය. ඔහුගේ ඔළුවේ තිබුණේ එකම අරමුණකි. ඒ පොළෙන් මිලට ගත් එළවලු මල්ල වෙලාවට මුළුතැන්ගෙට ගෙන ගොස් දීම පමණකි. ඒ නිසා ඔහු රයිරැන්පූර්නගරයේ රැස්ව සිටි මාධ්‍යවේදීන් මඟ හැර හැකිතාක් ඉක්මනින් සිය ගියර් රහිත කුඩා ස්කූටරය පදවා ගෙනගියේ ය. ඔහු ජීවත් වූ ඒ කුඩා නගරය පිහිටියේ ඔඩිෂා ප්‍රාන්තයට අයත්මයුර්භාංජ් දිස්ත්‍රික්කයේය. 

නිවස ඉදිරිපස රැඳී සිටි ආරක්ෂක භට පිරිස් පසු කරමින් ගොස් ස්කූටරය මුල්ලක නවත්වා ඇන්ජිම නතර කළේය. ඉන්පසු එළවලු මල්ල ද රැගෙන මුළුතැන්ගෙට ගියේය. ඒ වනවිටත් ඔහුගේ බිරිඳ දිවා ආහාරය පිසිමින් සිටියා ය. 'අතුපතු ගාන උයන පිහින වැඩ කරන්නේ ඇයයි; කඩේ යන්නේ මමයි' තරාණි පවසයි. 

මෙවැනි ම දෙයක් රයිරැන්පූර් නගරයේ සිට කිලෝ මීටර් 20 ක් පමණ දුරින් පිහිටි දුන්ගර්සාහී නමැති ගම්මානයේ සිදුවෙමින් තිබුණේය. කුඩා ජනගහනයක් විසූ එයඝන වනාන්තරය අද්දර පිහිටියකි. කටුමැටි නිවෙස්වලින් සමන්විත මෙම කුඩා ගම්මානය ගෝත්‍රික වැසියන්ට පමණක් සීමා වූවකි. 

දුන්ගර්සාහී තෙක් දිවෙන මාර්ගය අවට දසුන් සුන්දරය; සාමාන්‍යයෙන් හුදෙකලා පාළු ස්වභාවයක් උසුලයි.එහෙත් අද මෙම මාර්ගයෙහි වෙනදා නැති වාහන තදබදයක් තිබේ.කහ පැහැති ආරක්ෂක හිස්වැසුම් පැලඳි විදුලි දෙපාර්තමේන්තුවේ සේවකයන් දහ දොළෙස් දෙනෙක් ඒ කටුමැටි බිත්තිවලින් යුත් ඒ කුඩා නිවෙස්වලට විදුලිය ලබා දීමේ කටයුතුවල නියැළෙමින් සිටිති. 

චුඩාමුණි තුඩුට අයත් ලොකු දුම්රිය මැදිරියක් තරම් විශාල වූ, කාමර දෙකකින් යුත් නිවස ද ඒ අතර වෙයි. චුඩාමුණිගේ මියගිය සැමියා භගත් චරන් තුඩු, මුර්මුගේ අනෙක් සොහොයුරාය. දුන්ගර්සාහී ගම්මානයට විදුලිය යනු අලුත් අත්දැකීමකි. අහල පහළ පොඩිත්තන් මෙන්ම වැඩිහිටියෝ ද එම අලුත් අත්දැකීම දැක බලා ගැනීමට ගම්මානයට එක්රොක් වී සිටිති. 

රූපවාහිනී මාධ්‍යවේදියකු පිරිස මැද්දෙන් මතුවූයේ සිය මයික්‍රෝෆෝනය ද අතැතිවය. නිවස ඉදිරිපිටට පැමිණි ඔහු කැමරාවට හසුවන ආකාරයට නිවස ඉදිරිපිට සිටගත යුත්තේ කෙසේදැයි කාන්තාවන්ට කියා දෙන්නට විය. රැස්ව සිටි කාන්තාවන්ට එය අපූරු අත්දැකීමක් පමණක් නොව මහ පුදුමයකි. ඔවුන් හසුරුවන්නට සිදුවීම මාධ්‍යවේදියාට හිසරදයක් වූ බව ඔහුගේ මුහුණෙන් පැහැදිලි විය.

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී, නිවසේ හිමිකාරිය චුඩාමුණි, සියනිවසට පැමිණි සියලුම දෙනා වෙනුවෙන් දිවා ආහාරය පිළියෙළ කරන්නට වූවාය. චුඩාමුණිට හෝ ගමේ වෙන කිසිවකුට හෝ ගෑස් නැත. කෑම පිසීම සිදුවන්නේ දරවලිනි. චුඩාමුණි නිවස පිටුපස දර ලිප් කීපයකි. ඇය දර සොයා ගන්නේ ගම්මානය අද්දර වනාන්තරයෙනි. බොහෝ වෙලාවට දර පමණක් නොව, පානීය ජලය ගෙන ඒමට ද ඇය බොහෝ දුරක් ඇවිදීමට සිදුවෙයි. ඒ වන අලි තර්ජන මැදය. 'මේවා අපට හුරුපුරුදු දේවල්' ඇය කියයි. 

තරාණි සහ චූඩාමුණි, මුර්මු හඳුන්වන්නේ'පුතී' යන සුරතල් නාමයෙනි. ප්‍රතිභා පාතිල්ගෙන් පසු, ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත්වුණු දෙවැනි කාන්තාව මුර්මු ය. නවදිල්ලියේ රාෂ්ට්‍රපතිභවන් මන්දිරය මුර්මුගේ නිවහන බවට පත්වෙද්දී, තරාණි සහ චූඩාමුණිගේ ජීවිත ද වෙනස් වෙමින් පවතී. මේ වන විට තරාණිගේ නිවසට කොමාන්ඩෝ ආරක්ෂාවක් ලැබී තිබේ. 

මහුල්දියා මාර්ගයේ පිහිටි ඒ නිවස කොටස් දෙකකින් යුක්තය. රාෂ්ට්‍රපතිභවන් මන්දිරයට යෑමට පෙර මුර්මු ජීවත් වූයේ එහි එක් කොටසකය. නිවසේ පිටත කොළ, කහ සහ දම් පාටින් වර්ණ ගන්වා ඇත. නිවසේ පිටත බිත්තිවල ගෝත්‍රික වැසියන්ගේ සිතුවම්ය. නිවසේ මුල්ලක ගොඩ ගසා ඇති ප්ලාස්ටික් පුටුතොගය බොහෝ දෙනා එහි ආ ගිය බව පෙන්වයි. මුර්මු දේශපාලනයට විත් වසර 25ක් වඩා නැත.

ඒ කාලය තුළ ඇය මන්ත්‍රීවරියක, ඇමැතිවරියක සහ ආණ්ඩුකාරවරියක වූවාය. අවසානයේ දැන් ඇය රටේ ජනාධිපතිවරියයි; ඉන්දියාවේ ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරමින්, ජනාධිපති පුටුවට පැමිණි පළමු වැන්නී ඇයයි. ඇගේ පවුලේ අයට ඇය ගැන ආඩම්බර වීමට ඊට වඩා හේතුවක් නැත. 

නිවසේ සිටිද්දී, 64 හැවිරිදි මුර්මුගේ ජීවන පුරුදු ඒකාකාරී යැයි තරාණි කියයි. ඇය අලුයම 3 ට පමණ අවදි වී භාවනා කරන්න පටන් ගනියි. උදෑසන ඇය කිලෝ මීටර් පහක් ඇවිදියි. ඉන්පසු යෝග ව්‍යායාමවල යෙදෙයි. පාතරාසය ගැනීමෙන් පසු ඇය යළි භාවනා කරයි. ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස භාරතීය ජනතා පක්ෂය පසුගිය ජූනි 20 වැනිදා මුර්මුගේ නම යෝජනා කළ අවස්ථාවේ මුර්මු ඊට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද? ‘ඇය දෑත් එක්කොට ඇස් පියා ගනිමින් ශිව දෙවියන්ට නමස්කාරය කළා.’ තරාණි කියයි. 

 එළවළු පමණක් ආහාරයට ගන්නා මුර්මු‍,සුදු ලූනු හෝ රතු ලූනු ආහාරයට එක් කර ගන්නේ ද නැත. ඇය පවුලේ වැඩි දෙනෙකු ද නිර්මාංශ ආහාරය හුරු කරවා ඇත. ඇය ස්මාර්ට් ජංගම දුරකතනයක් භාවිත කරන්නීය. ඒ, අමතන්න සහ ඇමැතුම් ලබා ගන්න පමණි. ඇබ්බැහිවනසුලුයෙදවුම් භාවිත කරන්නේ නැත. ඇය රූපවාහිනිය නරඹන්නේ කලාතුරකිනි. රූපවාහිනියේ ඇය නරඹන්නේ සංගීත වැඩසටහන් සහ කුඩා දරුවන් සහභාගී වන රියැලිටි වැඩසටහන් පමණි. මුර්මු සන්තාල් ගෝත්‍රික කාන්තාවකි. 

ඇය සන්තාල් ගෝත්‍රිකයන්ගේ සාම්ප්‍රදායික නර්තනය ප්‍රගුණ කර තිබේ. විශේෂ උත්සව අවස්ථාවලදීත් සැණකෙළි අවස්ථාවලදීත් ඇය නර්තන අංග ඉදිරිපත් කර තිබේ. මුර්මු උපන්නේත්, හැදී වැඩුණේත් උපර්බේදා නමැති ගම්මානයේය. මෙම ගම්මානය ඇත්තේ රයිරැන්පූර් සිට කිලෝ මීටර් 15ක් දුරිනි. ඇගේ පියා බිරණ්චි නාරායන් තුඩු නම් ගම්මුලාදෑනියාය. 

ගමෙන් නගරයට ගියත් මුර්මු ගම අමතක කළේ නැත. 'මීට මාස කීපයකට කලිනුත් ඇය මෙහෙ ආවා. ඇය ආවේ වෙන දේකට නොවෙයි, සුපුරුදු පරිදි මාගේ සුවදුක් විමසන්න.' යැයි චූඩාමුණි කියයි. රයිරැන්පූර් සිට කිලෝ මීටර් 20 ක් දුරින්, ටෙන්ටෝපෝසි ගම්මානය පිහිටයි. බාසු මාස්ටර් හෙවත් බාසුදේව් බේරා ජීවත්වන්නේ මෙම ගම්මානයේය. 

බාසු මාස්ටර් මේ පළාතේ ගෞරවාදරයට පාත්‍ර වූ ගුරු පියෙකි. උපර්බෙදා ද්විතීයික පාසලේ 6 සහ 7 පන්තිවල දී මුර්මුගේ ගුරුවරයා වූයේ බාසු මාස්ටර්ය. මාධ්‍යවේදීන් මුර්මුගේ පාසල් දිවිය ගැන අතීත තොරතුරු විමසද්දී බාසු මාස්ටර් මහත් උජාරුවෙන් කට හඬ අවදි කළේය.

තමන්ට ආවේණික ඔඩියා බසින් මෙන්ම ඉංග්‍රීසි සහ කැඩුණු හින්දියෙන් කතා කළේය. පාසල් අවදියේ පටන් ම, මුර්මු නායකත්ව ලක්ෂණ පෙන්නුම් කළේ යැයි පැවසූ ඔහු, “දවසක් පන්තියේ කළු ලෑල්ල පිසින්න ඩස්ටරයක් තිබුණේ නැහැ. මුර්මු ගෙදර ගියාට පස්සේ ඇගේ අතින්ම ඩස්ටර තුනක් මසාගෙන ඇවිත් පසුවදා උදේ මට දුන්නා. මට පුදුම හිතුනා, ඇය පසුවදා ම ඒ ගැටලුවට විසඳුමක් අරන් ආ ඉක්මන ගැන.” යැයි නිදසුන් වශයෙන් කීවේය. 

ඔහු කීවේ පන්තියේ නායිකාව වශයෙන් මුර්මු, ගැහැනු ළමයින්ට වඩා ගණනින් වැඩි පිරිස වූ පිරිමි ළමයින් ද පාලනය කර ගැනීමට ද සමත් වූ බවය. ගුරුවරයකු නැති විට හෝ පමා වූ විට පන්තිය බලා ගැනීම පැවරුණේ ඇයටය. ඇය එම කටයුත්ත හරි අපූරුවට කළාය.

“ඇය හොඳ තරඟකාරියක්. ඕනෑම දේකට සහභගි වෙනවා. නිදහස් දින සැමරුම් වැනි විශේෂ උත්සවවලට සහභාගිවී ගී ගයන්නට නො පැකිළ ඉදිරිපත් වෙනවා.” යැයි බාසු මාස්ටර් කීවේ තේ කෝප්පයක් තොල ගාමිනි. ඒ වන විට බාසු මාස්ටර්ට පරිවර්තනයෙන් ස්වේච්ඡාවෙන් සහාය වන්නට ගම්වැසියෝ දුසිමක් පමණ වට වී සිටියහ. 

මුර්මු උසස් අධ්‍යාපන කටයුතු සඳහා බුබනේෂ්වර්හීඋසස් බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණාය.ඇය ඇගේ උපාධිය ලබා ගත්තේ රාමාදේවි බාලිකා විද්‍යාලයෙනි. අනතුරුව, බැංකු නිලධාරියකු වූ ශ්‍යාම් චරන් මුර්මු සමඟ විවාහ වූ ඇයට, ප්‍රාන්ත වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ලිපිකාරිණියක ලෙස රැකියාවක් ලැබුණේය.

සැමියාට රයිරැන්පූර් නුදුරු බැංකුවකට මාරුවක් ලැබීමත් සමඟ මුර්මු ඇගේ රැකියාවට සමු දී දරු තිදෙනා ද සමඟ යළිත්රයිරැන්පූර් බලා පැමිණියාය. නිකරුණේ කාලය නාස්ති කිරීමට අකමැති වූ ඇය ඒ පළාතේ එකම පෞද්ගලික පාසල වූ ශ්‍රී අවුරෝබිංදෝ පුර්ණ අධ්‍යාපන ආයතනයට ගුරුවරියක ලෙසින් බැඳුණාය.

“ඇය ඉගැන්වීම ගැන තදින් සිටි සැබෑ ගුරුවරියක්. දරුවන් පාලනය කර ගන්න ඇය හරිම දක්ෂයි. කිසිම දරුවකුට ගහනවා හෝ බණිනවා මං දැකලා නැහැ. තදින් හොඳ නරක පෙන්වා දෙනවා.”යැයි කියන්නේ සිනමා නළුහා චිත්‍රපට අධ්‍යක්ෂ අභිෂේක් ෂර්මාය. අභිෂේක්හත්වැනි පන්තියේ දී අධ්‍යාපනය ලැබුවේ මුර්මුගෙනි. 

“ජනාධිපති ධුරය සඳහා නාම යෝජනා ප්‍රකාශයට පත් වූ දා රෑ මා ගියා ඇගේ නිවස සොයා ගෙන. නිවස ඉදිරිපිට සෙනග පිරිලා හිටියා. මම ඒපිරිස අතරේ සිටියා. හැමෝම ඇයට සුබ පතනවා. ඇය දැක්කා, පිරිස අතරේ මා සිටිනවා. ඇය මට නම කියලා කතා කළා. ඇයට තවමත් මාව මතකයි” කියා 38 හැවිරිදි අභිෂේක් කීවේ මහත් ආඩම්බරයෙනි. මුර්මු සිය දේශපාලන ගමන ආරම්භ කළේ 1997 වසරේ රයිරැන්පූර්වලිනි. පළමුවෙන් ඇය නගරසභාවට තේරී පත් වූවාය. නගරසභාවේ සනීපාරක්ෂක කමිටුවේ උප සභාපති ධුරය ඇයට හිමිවිය. 

එදා මුර්මු ඇගේ කුඩා ‘මරුටි 800’ මෝටර් රියේ නැගී නගරසභා සේවක සේවිකාවන් හරිහැටි ඔවුන්ගේ රාජකාරි කරනවාදැයි බැලීමට නගරය පුරා නිරීක්ෂණ චාරිකාවල නියැළුණාය. ඇය රාජකාරිය වෙනුවෙන් කැපවුණු තැනැත්තියක බව කීමට මෙය හොඳ උදාහරණයකි. 

රයිරැන්පූර් නගර වැසියන් ඒ බව සිහිපත් කරන්නේ ඇය කෙරෙහි මහත් ගෞරවයෙනි. 2000 වසරේදීත් 2004 වසරේදීත් මුර්මු රයිරැන්පූර් මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් ප්‍රාන්ත මන්ත්‍රණ සභාවට තේරී පත්වූවාය. ඇය ප්‍රාන්තයේ ‘බයිජු ජනතා දාල්’ සහ ‘භාරතීය ජනතා පක්ෂය’ එක් වී පිහිටුවූ රජයේ මන්ත්‍රීවරියක වූවාය. 

මුර්මු, මාර්ග සංවර්ධන කටයුතු පිළිබඳ කාර්යාලයක් විවෘත කළාය. ගෝත්‍රික විරුවකු ලෙස සැලකෙන ‘බිර්සා මුන්දු’ගේ ප්‍රතිමාවක් නගර මධ්‍යයේ ස්ථාපිත කළාය. මුර්මු යනු90 දශකයේ මැද භාගයේඔඩිෂා ප්‍රාන්තයේ පැවති දේශපාලනය ගතිකයෙන් මතු වූ චරිතයකි. ‘ජාර්කාන්ද් මුක්ති මෝචා’ හා ‘කොංග්‍රස්’ යන පක්ෂ ගෝත්‍රික ප්‍රජාව විසූ ප්‍රාන්තවලබලය හිමි කරගෙන තිබුණු අතර ‘භාරතීය ජනතා පක්ෂය’ ජනප්‍රිය පැවතියේ ඒ ප්‍රදේශවලට ආ හින්දි කථා කරන සංක්‍රමණික පිරිස් හා මාවරි ප්‍රජාව අතර පමණ ය. 

ඒ නිසා ගෝත්‍රිකප්‍රජාවගේ විශ්වාසය දිනා ගනිමින් මැතිවරණ ජයග්‍රහණය කිරී‍මේ අභියෝගයටමුහුණ දුන් ‘භාරතීය ජනතා පක්ෂය’ ඒ සඳහා සුදුසු එකම පුද්ගලයා ලෙස තෝරා ගත්තේ මුර්මු ය. “අපට මුර්මුගේ නම යෝජනා කළේ දිවාකර් මොහන්තෝ නමැති පාසල් ගුරුවරයයා. ඔහු භාරතීය ජනතා පක්ෂ ආධාරකරුවෙක්” යැයි පසුව මුර්මුගේ සමීපතමයකු බවට පත් වුණු මොරද ප්‍රාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්කිෂෝර් දාස් අතීතය සිහිපත් කරමින් කීවේය.

“අපට සන්තාල් ගෝත්‍රය නියෝජනය කිරීමට කෙනකු හිටියේ නැහැ. අප කෙනකු සොයමින් සිටියේ. මුර්මු තරම් ඊට සුදුස්සකු නොමැති බව අපට වැටහුණේ ඇය හමුවීමෙන් පසුවයි”රාජ්කිෂෝර් දාස් වැඩිදුරටත් කියා සිටියේය. මුර්මු, රයිරැන්පූර් නගරසභාවේ සනීපාරක්ෂක කමිටුවේ උප සභාපති ධුරය හොබවද්දී සභාපති ලෙස කටයුතු කළේ රාජ්කිෂෝර් දාස් ය. 

මුර්මු නිසා මයුර්බන්ජි දිස්ත්‍රික්කයේ ගෝත්‍රික වැසියන්ගේ ඡන්ද සියයට 50 ක් භාරතීය ජනතා පක්ෂයට හිමිවිය. අද වනවිට රාජ්කිෂෝර් දාස් නියෝජනය කරන්නේ ‘බයිජු ජනතා දාල්’ පක්ෂය වුවත්, ඔහු තවමත් මුර්මු සමග යහපත් සබඳතා පවත්වයි. “ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන එවැනි නායිකාවක මට කිසි දිනෙක හමුවී නැතැයි” ඔහුසැමවිටම මුර්මු වර්ණනා කරයි. 2000 සිට 2004 තෙක් කාලයේ මුර්මුට ධීවර, සත්ව සම්පත් සංවර්ධනය, වානිජ හා ප්‍රවාහන වැනි අමාත්‍යංශ කීපයක් හිමිවිය. 

ඒ අමාත්‍යාංශවලින් සිය දක්ෂා දැක්වුවත්, දෙවන වර පාර්ලිමේන්තුවට පත්ව ආ වේලේ ඇයට කැබිනට් අමාත්‍ය ධුරයක් හිමි නොවීය. “නොලැබුණු දේ අභියෝගයක් කර ගනිමින්, ඇය තව තවත් මහජන සේවයට කැපවූවාය. ඒ නිසා ම හොඳම මහජන නියෝජිතවරිය ලෙස මුර්මු සම්මානයට ද පාත්‍ර වූවාය. ඒ අතර වෙනත් පක්ෂ ඇය ඩැහැ ගැනීමට තැත් කළ ද ඇය ඊට එකඟ වූයේ නැතැයි” බිකාශ් චන්ද්‍ර මොහන්තෝ කියයි. ඔහු ඇය ජාර්කාන්ද් ආණ්ඩුකාර පදවිය හොබවද්දී ඇගේ පුද්ගලික සහකාර වශයෙන් කටයුතු කළ අයෙකි. 

 මහජන නියෝජිතවරියක ලෙස දෙවැනි ධුර කාලයේ කටයුතු කරමින් සිටිද්දී, අභියෝගයකට මුහුණ දීමට මුර්මුටසිදුවිය. 2006 දී කාලිංගනගර්හි ටාටා වානේ කම්හලක් ඉදි ‍‍කිරීමට එරෙහිව විරෝධතා පැවැත්වූ ගෝත්‍රික වැසියන් පිරිසකට පොලිසිය වෙඩි තැබීය. 

එයින් ගෝත්‍රික වැසියන් පිරිසකට ජීවිත අහිමි විය. ගෝත්‍රික වැසියෝ අවි අමෝරා ගත්හ. ඒ වනවිට මුර්මු, භාරතීය ජනතා පක්ෂය සැලසුම් කළ ප්‍රාන්ත ගෝත්‍රික රැලියේ සභාපතිවරිය ලෙස කටයුතු කරමින් සිටියාය. ඇය එම අවස්ථාවට මුහුණ දුන් ආකාරය ගැන දාස් සිහිපත් කළේය. 

“ඒකඉතාමත් බරපතල සිදුවීමක්.” යැයී කී ඔහු, “සිදුවූ බරපතල හානියට පිළියමක් වශයෙන්භාරතීය ජනතා පක්ෂයගෝත්‍රික ප්‍රජාව වෙනුවෙන් නියෝජිතයකු රාජ්‍ය සභාවට යැවීමට කටයුතු කළා. ඒත් එහිදී ගෝත්‍රික ප්‍රජාවගෙන් නැඟුණු කෝපයට පිළියම් යෙදිය යුතු වුණා. ඒක සමථයකට පත් කිරීමට මැදිහත් වීමට සිදු වූයේ මුර්මුටයි. ඒ ඇය ආණ්ඩු පාර්ශ්වයේ නියෝජිතයා ‍වගේම ආදිවාසීන්ගේ නියෝජිතයා ද වූ නිසා. ඇය ගෝත්‍රික ප්‍රජාව හා කතාබහ කොට අර්බුදය ඉන් ඔබ්බට යා නොදී සමථයකට පත් කර ගැනීමට සමත් වුණා.” 

 රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ දෙවැනි ධුර කාලයේදී, මුර්මුට අවාසනාවන්ත සිදුවීම් කීපයකට මුහුණ දීමට සිදු විය.ඇය 2009 මැයි මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත් විය. 

ඊට මාස පහකට පසු සිදු වූ ඇගේ පුතු ලක්ෂ්මන්ගේහදිසි වියෝව ඇයට දරාගත නොහැකි වූ නිසාඊට පිළියමක් වශයෙන් ඇගේ හිතවතුන් විසින් ඇය රයිරැන්පූර්හි බ්‍රහ්ම කුමාරි ආශ්‍රමයට යොමු කරනු ලැබිය. බ්‍රහ්ම කුමාරි ආශ්‍රමයේ පාලිකා බී.කේ.මිනාති, මුර්මු ගැන කීවේ මෙසේයි:

“ඇය හරියටම උදේ 7 වෙද්දී ආශ්‍රමයට එනවා. මුල් පස් වසරේ ඇය දිනපතාම වාගේ ආවා. ඇය මිනිත්තුවක් හෝ ප්‍රමාද වුණේ නැහැ.” බ්‍රහ්ම කුමාරි ආශ්‍රමයට මුර්මු ආ මුල් දවස් ගැන ආශ්‍රමයේ සාමාජික සාමාජිකාවන්ට අද වගේ මතකය. ඇය සිටියේ පුතුගේ වියෝවෙන් දුක් වෙමිනි. ඇයට සති ගණනක් හරිහැටි නින්දක් තිබුණේ නැත; හඬන්න කඳුළු තිබුණේ ද නැත. 

ඔවුන් කීවේ ඇගේ හදවතට සැනසීමලැබුණේ භාවනාව නිසා බවයි. මිනාති කියන්නේ මුර්මුගේ නිවසේ බ්‍රහ්ම කුමාරි ආශ්‍රමයේ නිර්මාතෘ ලේක්රාජ් දාදාගේ දැවැන්ත ඡායාරූපයක් එල්ලා ඇත්තේ ද ඒ නිසාය. 2013 වසරේ දී මාර්ග අනතුරකින් ඇගේ දෙවන පුතා ද ඇයට අහිමි විය. ඇය ඒ දුක දරා ගනිමින් ඊට මුහුණ දුන්නාය. 

ඊට වසරකට පසු සැමියා ශ්‍යාම් ද ජීවිතයෙන් සමුගත්තේය. ඒ හෘදයාබාධයකිනි. මුර්මුට ඉතිරි වූයේ දියණිය ඉතිශ්‍රී පමණි. ඇය බැංකු සේවිකාවක වන අතර ඇය විවාහ වී සිටින්නේ ගනේෂ් හෙම්බ්‍රාම් නමැති රග්බි ක්‍රීඩකයා සමගය. මුර්මු සිය දරු දෙදෙනා සහ සැමියා අහිමි වූ ශෝකය යටපත් කර ගත්තේ ඔවුන් සිහිපත් කරමින් ඔහුගේ ගම වූ පහදපූර්හි පාසලක් පිහිටුවීමට මුර්මු කටයුතු කිරීමෙනි. 

නවීන පන්නයේ උසස් විදුහලක් වූ එහි අද සිසුන් 60 කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබති. 2015 දී මුර්මුට අනපේක්ෂිත අන්දමින් දුරකතන ඇමැතුමක් ලැබුණේය. ඒ අවස්ථාවේ මුර්මු, භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සමග මංගල උත්සවයකට සහභාගී වෙමින් සිටියාය. 

ඇමැතුම ලැබුණේ භාරතීය ජනතා පක්ෂ නායකත්ව මණ්ඩලයෙනි. ඉන් කියැවුණේ ජාර්කාන්ද් ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය ලෙස ඇගේ නම යෝජනා වූ බවය. එම පුවත අසා ඇය හැඬුවාය. ඒ තමන් ලැබූ ජයග්‍රහණ දැකීමට තම සැමියා හෝ පුතුන් දෙදෙනා ළඟ නැතැයි පවසමිනි. 

“මුර්මු කියන්නේ හැමෝටම හිතවත් තැනැත්තියක්. දක්ෂ දේශපාලන නායිකාවක්. අපට මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අප කතා කරන්නේ ඇයටයි. ඇයයි අපගේ පිහිට” මෙසේ පවසන්නේ මුර්මුගේ ඥාති සොහොයුරකු වන බක්තෝබන්දෝ තුඩු ය. ඔහු පදිංචිවී සිටින්නේ මුර්මු කුඩා කළ ජීවත් වුණු ඇගේ පවුලේ පැරණි නිවසේය. 

‘මම වසර ගණනකට කලින් හොඳටම අසනීප වුණා. ඇය ආවා මාව බලන්න. මට සුවය ලබනතුරු ඇය මට හොඳ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න මැදිහත් වුණා. අද මා නිරෝගීව සිටින්නේ ඇය නිසයි.’ යැයි බක්තුබන්දෝ තුඩු පවසයි. 

මුර්මු සැමවිටම නැගී සිටින්නේත්, ඉදිරිපත් වන්නේත්, ගෝත්‍රික ප්‍රජාව වෙනුවෙනි. දේශපාලනඥයකු වී සිටිද්දී කොතරම් ඉහළින් බලපෑම් එල්ල වුවත්, ඇය ගෝත්‍රික ප්‍රජාවට අසාධාරණයක් වීමට ඉඩ තැබුවේ නැත; ඉඩ තබන්නේ ද නැත. 

ඉන්දියාවේ ආදිවාසී ජනතාව නියෝජනය කරමින්, ගෝත්‍රික නායිකාවක ලෙස මුර්මු, ඉන්දීය ජනාධිපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් සමස්ත ඉන්දියාවම කතා කරන්නේ ආඩම්බරයෙනි. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මුර්මුට සහාය හිමිවන්නේ එහෙයිනි. 

 The Week ඉන්දීය සගරාව 
මුර්මු වෙනුවෙන් පළ කළ 
විශේෂාංගයක් ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom