දශක පහක, සාහිත්‍ය ජීවිතය පුරා ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩිට හිමිවූයේ පැසැසුම් නොව, ගැරහුම්ය. එම දශක පහ පුරා රුෂ්ඩි ජීවත් වූයේ පොලිස් ආරක්ෂාව යටතේය. දිවි ඇති තෙක්, ඉදිරියටත් එය එසේමය. රුෂ්ඩි ආන්දෝලනාත්මක ලේඛකයෙකි. මුස්ලිම් ලොව උඩු යටිකුරු කළ නවකතාකරුවෙකි.
රුෂ්ඩිගේ නව කතා බොහොමයක් අති සාර්ථකය. 1981 වසරේ ඔහුගේ දෙවැනි නව කතාව, ‘මිඩ්නයිට්ස් චිල්ඩ්රන්’ බුකර් සම්මානයෙන් ද පිදුම් ලැබීය. රුෂ්ඩි ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වූයේ 1988 වසරේදී සිය සිවුවැනි නවකතාව ‘ද සැටනික් වර්සස්’ (සාතන්ගේ කවි) එළිදැක්වීමත් සමගය.
‘ද සැටනික් වර්සස්’ නවකතාව ඉස්ලාම් දහමට නිගරු කිරීමක් යැයි සල්මාන් රුෂ්ඩිට චෝදනා එල්ල වී ඇත.
එදා ඉරානයේ ආධ්‍යාත්මික නායකයා වූයේ අයතුල්ලා රුහොල්ලා කාමේනීය. 1989 වසරේ දී අයතුල්ලා රුහොල්ලා ආඥාවක් (ෆට්වා) නිකුත් කරමින් මුස්ලිම්වරුන්ට පැවැසුවේ ඉස්ලාම් දහමට නිගරු කළ සල්මාන් රුෂ්ඩි ඝාතනය කළ යුතු බවය. රුෂ්ඩි ඝාතනය කරන ඕනෑම අයකුට ඇමෙරිකන් ඩොලර් මිලියන 2.7 ක් ලබා දෙන බව පැවැසිණි. ඒ, ඉරාන ආගමික සංවිධාන මැදිහත් වෙමිනි. 2012 දී එම මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 3.3 ක් විය.
මරණ තර්ජන එල්ල වෙද්දී, රුෂ්ඩි සැඟවුණු දිවියක් ගත කරන්න පටන් ගත්තේය. බ්‍රිතාන්‍ය රජය ඔහුට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දුන්නේය. මුස්ලිම් ප්‍රජාව රුෂ්ඩිට විරෝධය පළ කරද්දී, බටහිර රටවල් සහ බටහිර රටවල ලේඛක ලේඛිකාවන් පමණක් නොව, ලොව පිළිගත් විද්වතුන් ද රුෂ්ඩිට සහාය පළ කරමින් කියා සිටියේ, ඕනෑම ලේඛකයකුට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇති බවය.
බ්‍රිතාන්‍ය ජාතිකයකු වන රුෂ්ඩි, උපත ලැබුවේ ඉන්දියාවේදීය. ඒ, බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ඉන්දියාවට නිදහස හිමිවීමට මාස දෙකකට පෙරය. අවුරුදු 14 දී රුෂ්ඩි එංගලන්තයට බලා ගියේය. ඔහු කේම්බ්‍රිජ් හි කීර්තිමත් කිංග්ස් විද්‍යාලයෙන් ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධියක් හිමි කර ගත්තේය.
බ්‍රිතාන්‍ය පුරවැසියකු වීමෙන් පසු රුෂ්ඩි මුස්ලිම් ඇදහිල්ල අත්හැරියේය.
කෙටි කාලයක් ඔහු රංගන ශිල්පියෙක් ද විය. නවකතා රචනා කරන අතරතුරේ වෙළෙඳ දැන්වීම් පිටපත් රචකයකු ලෙස ද කටයුතු කළේය. රුෂ්ඩිගේ පළමු නවකතාව ‘ග්‍රිමුස්’ ය. මෙය සාර්ථකත්වයක් පෙන්නුම් කළේ නැත. එසේ වුවත්, සාහිත්‍ය විචාරකයන් අනාවැකි කියන්න වූයේ, දක්ෂ නවකතාකරුවකු වීමේ ලක්ෂණ රුෂ්ඩි සතුව ඇති බවය. එම අනාවැකි නිවැරදි විය.
බුකර් සම්මානයෙන් ද පිදුම් ලැබූ ‘මිඩ්නයිට්ස් චිල්ඩ්රන්’ දෙවැනි නවකතාව රචනා කිරීමට රුෂ්ඩිට වසර පහක් ගත වු බව පැවැසෙයි. එහි පිටපත් මිලියනයක් අලෙවි විය.
‘මිඩ්නයිට්ස් චිල්ඩ්රන්’ නවකතාවට පාදක වන්නේ ඉන්දියාවය. රුෂ්ඩිගේ නවකතා බොහොමයකට පාදක වන්නේ ඉන්දියාවය. 1983 දී රුෂ්ඩිගේ ‘ෂේම්’ නව කතාව එළිදැක්විණි. ‘ෂේම්’ සඳහා පාදක වන්නේ පාකිස්තානයයි. සිවු වසරකට පසු, රුෂ්ඩි ‘ද ජගුවා ස්මයිල්’ රචනා කළේ නිකරගුවාවේ කළ සංචාරයකින් අනතුරුවය.
1988 සැප්තැම්බර් මාසයේ ‘සැටනික් වර්සස්’ එළිදැක්වීමත් සමඟ තම ජීවිතය උඩු යටිකුරු වේවි යැයි රුෂ්ඩි සිතන්න නැත.
‘සැටනික් වර්සස්’ පළමුවෙන්ම තහනම් කළ රට ඉන්දියාවය. ඉන්පසු පාකිස්තාන සහ සෙසු මුස්ලිම් රටවල් සහ දකුණු අප්‍රිකාව ද ‘සැටනික් වර්සස්’ නවකතාව තහනම් කළේය. ‘සැටනික් වර්සස්’ සම්බන්ධයෙන්, බටහිර රටවල්, බටහිර ලේඛකයන් සහ විද්වතුන් රුෂ්ඩිට සහාය පළ කරද්දී, මුස්ලිම් රටවල් ගිනි ගන්න විය. මුස්ලිම්වරුන් එක හඩින් කියා සිටියේ, ‘ද සැටනික් වර්සස්’ නවකතාව ඉස්ලාම් දහමට නිගරු කළ බවය.
නබි නායක තුමන්ගේ භාර්යාවන්ගේ නම් පොතේ සඳහන් ගණිකාවන් දෙදෙනකුට යොදා තිබුණි. මුස්ලිම්වරු එය ඉස්ලාමයට සිදුකළ අපහාසයක් ලෙස සැළකූහ. රුෂ්ඩි නවකතාවේ නමට පාදක කරගෙන ඇත්තේ කුරානයෙන් ඉවත් කළ වාක්‍ය ද්විත්වයකි. මෙම වාක්‍ය ලියැවුණේ යක්ෂයාගේ ආනුභාවයෙන්යැ යි විශ්වාස කෙරේ.
1989 ජනවාරි මාසයේදී, බ්‍රැඩ්ෆෝර්ඩ් හි මුස්ලිම්වරුන් චාරිත්‍රානුකූලව ‘ද සැටනික් වර්සස්’ පොතේ පිටපතක් පුළුස්සා දැමූ අතර, පුවත්පත් නියෝජිතයන් වන ‘ඩබ්ලිව්.එච්.ස්මිත්’ සමාගම ‘ද සැටනික් වර්සස්’ නවකතාව ප්‍රදර්ශනය කිරීම නැවැත්වීය. මහම්මත්තුමාට සහ ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි මුස්ලිම් ප්‍රජාව එල්ල කරන චෝදනා රුෂ්ඩි තරයේ ප්‍රතික්ෂේප කරන්න විය.
1989 පෙබරවාරියේදී, රුෂ්ඩිට එරෙහි ඇරැඹි විරෝධතා ප්‍රචණ් විය. කැරැලි කෝලාහල තෙක් වර්ධනය විය. ඉරානයේ තෙහෙරාන් අගනුවර බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට ගල් ප්‍රහාරයක් එල්ල විය. ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා රුහොල්ලා, රුෂ්ඩිට මරණ දඩුවම ලබා දීමට තීරණය කළේත්, ඉරානය රුෂ්ඩිගේ හිසට මිලක් නියම කළේ ඒ අනුවය.
මේවනවිට බ්‍රිතාන්‍ය මුස්ලිම් නායකයන්ගෙන් ඇතැමුන් ඉරාන ආධ්‍යාත්මික නායකයාට සහාය දක්වමින් රුෂ්ඩිට විරෝධය පළ කරන්න වූ අතර ඇතැම් මුස්ලිම් නායකයෝ මධ්‍යස්ථභාවයෙන් කටයුතු කළහ. කෙසේ නමුත් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඕනෑම කෙනෙකුට අයිතිය ඇතැයි පවසමින් බටහිර රටවල්, ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා රුහොල්ලා කළ ප්‍රකාශය හෙළා දුටුවේය.
රුෂ්ඩි සහ බිරිඳ මේවනවිට පොලිස් ආරක්ෂාව යටතේ සැඟවී සිටියහ. තම නවකතාව හේතුවෙන්, මුස්ලිම් ලෝකය කැලැඹීම ගැන සමාව ඉල්ලීමට රුෂ්ඩිට සිදුවිය. ඒත් ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා රුහොල්ලාගෙන් සමාවක් ලැබුණේ නැත. ඔහු රුෂ්ඩිගේ හිස වෙනුවෙන් නිකුත් කළ ආඥාව (ෆට්වා) අලුත් කළේය.
‘ද සැටනික් වර්සස්’ නවකතාවේ ප්‍රකාශකයන් වන වයිකින් පෙන්ගුයින් සමාගමේ ලන්ඩන් සහ නිව්යෝර්ක් කාර්යාලයට මරණ තර්ජන එල්ල විය.
කෙසේ නමුත්, ආන්දෝලනයක් ඇති කළ ‘ද සැටනික් වර්සස්’ බටහිර රටවල උණු කැවුම් මෙන් අලෙවි වන්නට විය. ඉරාන ආධ්‍යාත්මික නායකයා රුෂ්ඩිගේ හිසට මිලක් නියම කිරීම සම්බන්ධයෙන් විරෝධය පෑ ඇතැම් බටහිර රටවල් එදා තෙහෙරාන් නුවරින් තාවකාලිකව ඔවුන්ගේ තානාපතිවරුන් පවා ඉවත් කර ගත්තේය.
‘ද සැටනික් වර්සස්’ කෘතිය සම්බන්ධයෙන්, මරණ තර්ජන එල්ල වූයේ රුෂ්ඩිට පමණක් නොවෙයි.
‘ද සැටනික් වර්සස්’ කෘතිය ජපන් බසට පරිවර්තනය කළ පරිවර්තක මහාචාර්ය හිටෝෂි ඉගරාෂි 1991 ජූලි මාසයේදී ඝාතනය කෙරුණි. ඔහුගේ සිරුර ටෝකියෝවේ ඊසාන දෙසින් පිහිටි ත්සුකුබා විශ්ව විද්‍යාලයෙන් හමුවිය. හිටෝෂි ඉගරාෂි පිහි ප්‍රහාරයකින් ඝාතනය කර තිබුණැයි පොලිසිය පැවැසීය. 1991 ජූලි මාසය මුලදී ‘සැටනික් වර්සස්’ කෘතියේ ඉතාලි පරිවර්තක එටෝර් කැප්‍රියෝලෝට ඒරෙහිව ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් ඔහු දිවි ගලවා ගත්ත ද පසුව මිලාන් නුවර පිහිටි ඔහුගේ මහල් නිවාසයේදී පිහි ප්‍රහාරයකට ලක්විය.
රුෂ්ඩිට මරණ දඩුවම ලබා දිය යුතු යැයි ඉරාන රජය නිල වශයෙන් අනුමත කළේ 1998 දීය.
සාහිත්‍යය සඳහා කළ සේවය වෙනුවෙන්, බ්‍රිතාන්‍ය රජයෙන්, රුෂ්ඩිට නයිට් පදවිය හිමිවූයේ 2007 දීය රුෂ්ඩිගේ නවතම කෘතිය ‘වික්ටරි සිටී’ ලබන පෙබරවාරියේ එළි දැක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.
රුෂ්ඩි, සිවු වතාවක් විවාහ වූවෙකි. ඔහුට දරුවන් දෙදෙනෙකි. ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩි ඇමෙරිකාවේ පදිංචියට ගියේ 2000 වසරේදීය.
පසුගිය 12 වැනිදා උදෑසන 10.45 ට පමණ, නිව්යෝක් ජනපදයේ, ෂිටෝකා අධ්‍යාපන ආයතනයේ දේශනයකට සහභාගී වෙද්දී 75 හැවිරිදි ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩි පිහි ප්‍රහාරයකට ලක් විය. පිහි ප්‍රහාරය එල්ල කළේ, දේශනයට සවන් දීමට පැමිණි පිරිස අතරේ සිටි 24 හැවිරිදි තරුණයෙකි. මුස්ලිම් සම්භවයක් ඇති මෙම තරුණයා රුෂ්ඩි දේශනය ආරම්භ කිරීමට අසුන් ගත් සැණින්, වේදිකාවට කඩා වැදී ප්‍රහාරය එල්ල කළේ යැයි සිද්ධිය දුටුවෝ පවසති.
හදි මටාර් නිව් ජර්සි ප්‍රාන්තයේ ෆෙයාර්විව් නගරයේ පදිංචිකරුවෙකි.
හදි මටාර් අල්ලා ගත් අවස්ථාව
හදි මටාර්, ඇමෙරිකාවේ උපත ලැබූවකු වන නමුත් ඔහුගේ මාපියන් ලෙබනනයේ යරූන් නමැති නගරයේ සිට ඇමෙරිකාවට ආ සංක්‍රමණිකයන්ය. ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඉරාන හිතවාදී සංවිධානයකි. හදි මටාර්, ඉරාන විප්ලවීය හමුදාවට සහාය පළ කරන අයෙකු බව පැවැසුණත්, ඔහු සහ ඉරානය අතර හෝ ඉරාන විප්ලවීය හමුදාව අතර හෝ ලෙබනන් හිස්බුල්ලා සංවිධානය අතර හෝ කිසිදු සම්බන්ධයක් නැතැයි ඇමෙරිකන් ආරක්ෂක අංශ පවසයි.
හදි මටාර්, 15 වතාවක් රුෂ්ඩිට පිහි ප්‍රහාර එල්ල කර ඇති අතර, රුෂ්ඩිගේ ගෙලට, උදරයට, එක් අතකට සහ ඇසකට තුවාල සිදුවිය. වෛද්‍යවරුන් පවසා ඇත්තේ රුෂ්ඩිගේ ඇසකට හානි වී ඇති බැවින්, ඔහුට එම ඇස අහිමි වනු ඇති බවත්ය. උදරයට එල්ල වුණු ප්‍රහාරයෙන් අක්මාව තුවාල විය. අතට එල්ල කළ ප්‍රහාරයෙන් අතේ නහර කැපී ඇති බව ද පැවැසිණි. දේශනය මෙහෙය වූයේ හෙන්රි රීස් ය. ඔහුගේ හිසට ද පිහි ප්‍රහාරයක් එල්ල වී ඇත.
රැස්ව සිටි පිරිස සහ ආරක්ෂක අංශ නිලධාරීන් හදි මටාර් වෙත කඩා පැන ඔහු මෙල්ල කර ගනිද්දී, දේශන ශාලාවේ සිටි වෛද්‍යවරයකු වහා රුෂ්ඩිට අවශ්‍ය ප්‍රථමාධාර ලබා දුන්නේය. පොලිසිය පැමිණ හදි මටාර් අත්අඩංගුවට ගනිද්දී, වෛද්‍ය ආධාරකරුවන් වහා පැමිණ රුෂ්ඩිට අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබා දී ගුවන් මගින් ඔහු ළඟම පිහිටි රෝහලට ගෙන ගියේය. ඒ, හෙලිකොප්ටරයකිනි.
පැය 24 ක් ගතවීමටත් පෙර රුෂ්ඩි ඝාතනය කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා එල්ල වූ හදි මටාර් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. හදි මටාර් සම්බන්ධයෙන් පෙර වැරැදි කිසිවක් නොමැති බව පොලිසිය පවසා තිබේ.
ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩි අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටි ලේඛකයකු යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසා තිබේ.
රුෂ්ඩි, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් පමණක් නොව, ආගමික සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් ද පෙනී සිටි අයකු යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා වැඩි දුරටත් පැවැසුවේ රුෂ්ඩිට ඉක්මන් සුව පතමිනි. රුෂ්ඩිට එල්ල වූ පිහි ප්‍රහාරය හෙලා දකිමින් බ්‍රිතාන්‍යයේ වැඩ බලන අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇතුළු බටහිර රටවල රාජ්‍ය නායකයෝ අප්‍රසාදය පළ කළහ.
ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ද සල්මාන් රුෂ්ඩිට එල්ල වූ ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.
මේ අතර, ඉස්ලාම් දහමට සහ මහම්මත්තුමාට අපහාස කළේ යැයි චෝදනා ලැබූ බ්‍රිතාන්‍ය ලේඛක රුෂ්ඩිට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයේ ජාතික පුවත්පත් ප්‍රශංසා පළ කර ඇතැයි වාර්තා වේ. ඉරාන ජාතික පුවත්පත් බොහොමයක කතුවැකි වෙන්වී ඇත්තේ ද සල්මාන් රුෂ්ඩි එල්ල වූ ප්‍රහාරය ගැන ගුණ වයමිණි.
ප්‍රධාන පෙළේ ඉරාන රාජ්‍ය පුවත්පතක් වන ‘කයාන් නිවුස්’ පුවත්පත කතු වැකිය පළ කර තිබුණේ දෙවියන්ට අපහාස කළ ලේඛකයාට නිසි දඬුවම් හිමිවුණු බව පෙන්වා දෙමිනි. ‘අසාර්’, ‘කොරසාන්’, ‘වටාන් එම්රෝස්’ යන පුවත්පත් ද සල්මාන් රුෂ්ඩිට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශංසා කර තිබේ.
ඉරාන වැසියන් ද රුෂ්ඩිට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ ඉස්ලාම් දහමට සහ දෙවියන්ට අපහාස කළ කෙනකුට නිසි දඩුවම් හිමිවිය යුතු බවය.
සල්මාන් රුෂ්ඩිට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයට චෝදනා කිරීමට කිසිවකුටවත් අයිතියක් නැතැයි ඉරාන රජය පැවැසුවේ ප්‍රහාරයෙන් දින කීපයකට පසුවය.
ඉරානය රුෂ්ඩිට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයක් කළ පළමු අවස්ථාව මෙයයි. රුෂ්ඩි, ඉස්ලාම් දහමට සහ මහම්මත්තුමන්ට අපහාස කළ අයකු බවත්, ඔහුට ප්‍රහාරයක් එල්ල වූයේ ඔහු කළ වරද නිසා බවත් ඉරාන විදේශ කටයුතු අමත්‍යාංශයේ ප්‍රකාශක නසාර් කනානී පවසා තිබේ.
෴ උපුටා ගැනීම - BBC