හබල් සහ වෙබ් 'මැවීමේ කුලුනු' දුටු හැටි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Oct 22, 2022

හබල් සහ වෙබ් 'මැවීමේ කුලුනු' දුටු හැටි

‘මැවීමේ කුලුනු’ එසේත් නැතිනම් ‘මැවීමේ ස්තම්භ’ Pillars of Creation ගැන දන්නවාද? මේ කියන්න හදන්නේ ඒ ගැන තමයි. මේ සටහන සමඟ ඇති ඡායාරූප දෙකෙන් දිස්වන්නේ ඒවාය. මේ ඡායාරූප දෙක ඉතාමත් සුවිශේෂීය. දෙකෙන් එකක් පැරැණි ඡායාරූපයයි. අනෙක අලුත් ඡායාරූපයයි. ලොව විශාලතම මෙන්ම ප්‍රබලතම අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලබා ගත් අලුත්ම ඡායාරූපයයි. 

‘මැවීමේ කුලුනු’ එසේත් නැතිනම් ‘මැවීමේ ස්තම්භ’ දකින්න ලැබෙන්නේ විශ්වයේ ඈත, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 7,000 ත් දුරිනි. අභ්‍යවකාශයේ දුර ගණනය කිරීමට යොදා ගන්නා මිනුම් ඒකකය ආලෝක වර්ෂය. එක් ආලෝක වර්ෂයක්, සැතපුම් ට්‍රිලියන 5.88 කි. 

‘මැවීමේ කුලුනු’ එසේත් නැතිනම් ‘මැවීමේ ස්තම්භ’ මුලින්ම අපට දකින්න ලැබෙන්නේ ඇමෙරිකාවේ නාසා ආයතනය, පෘථිවි කක්ෂයට ඉහළින් රැඳවූ ‘හබල්’ දුරේක්ෂය ආධාරයෙන් ලබා ගත් ඡායාරූපවලිනි. 1995 දීත්, යළි 2014 දීත් ‘හබල්’ දුරේක්ෂය ‘මැවීමේ කුලුනු’ එසේත් නැතිනම් ‘මැවීමේ ස්තම්භ’ ඡායාරූපයට නැගුවේය. මෙම සටහන සමඟ ඇති පැරැණි ඡායාරූපය ‘හබල්’ දුරේක්ෂය ගත් ඡායාරූපයයි. 
‘හබල්’ ඡායාරූපය
‘මැවීමේ කුලුනු’ එසේත් නැතිනම් ‘මැවීමේ ස්තම්භ’ යළි ඡායාරූපයට නැගුවේ නාසා ආයතනයේ අලුත්ම අභ්‍යවකාශ දුරේක්ෂය ලෙස සැලකෙන ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂයයි. ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂය ලොව විශාලතම අභ්‍යවකාශ දුරේක්ෂය ලෙස ද හැඳින්වෙයි. මෙය රඳවා ඇත්තේ පෘථිවි කක්ෂයට ඉහළින් නොව අභ්‍යවකාශයේය. ‘හබල්’ දුරේක්ෂය හරහා දකින්න ලැබුණු ඡායාරූප මෙන් නොව, ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂය හරහා දකින්න ලැබුණු ඡායාරූපය ඉතා පැහැදිලිය. ඒවා සවිස්තරාත්මකය. 
වෙබ්’  ඡායාරූපය
‘මැවීමේ කුලුනු’ එසේත් නැතිනම් ‘මැවීමේ ස්තම්භ’ යළිත් වරක් ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂයේ ආධාරයෙන් දකින්න ලැබීම ලොව කවුරුත් මවිත කිරීමට හේතුවක් විය. පැරැණි ඡායාරූපය මෙන්ම අලුත් ඡායාරූපය ද සන්සන්දනය කරමින් ලොව ප්‍රධාන පෙළේ පුවත් නාළිකාවල පුවත් පළ වන්න විය.

විශ්වයේ ඈත දිළෙන ලෙළෙන තරු සහ ග්‍රහලෝක අතරේ, හැලී විසිරුණු හැලුණු දියරයක් ලෙස දිස්වන ‘මැවීමේ කුලුනු’ එසේත් නැතිනම් ‘මැවීමේ ස්තම්භ’ දියරක් නොව, වායු (ගෑස්) ධාරාවකි. හරියටම කීවොත් වායු සහ දූවිලි ධාරවකි. බැලූ බැල්මට යෝධ ස්ථම්භ තුනක් නැතිනම් කුලුනු තුනක් වැනිය. එහෙයින් ‘කුලුනු’ එසේත් නැතිනම් ‘ස්තම්භ’ (Pillars) යන නම ඊට යෙදෙයි. 

තරු නිර්මාණය සිදුවන්නේ මෙම වායු (ගෑස්) සහ දුවිලිවලනි. ‘මැවීමේ කුලුනු’ එසේත් නැතිනම් ‘මැවීමේ ස්තම්භ’ යන අර්ථය ඊට යෙදෙන්නේ ඒ අනුවය. ආසන්නයේ ඇති තරු සම්බන්ධයෙන් මෙතෙක් රැස් කළ දැනුම සහ අත්දැකීම් අනුව විද්‍යාඥයන් ඒ බව තහවුරු කරගෙන තිබේ. වායු සහ දූවිලිවල ස්කන්ධය ප්‍රමාණවත් තරමට වැඩිවුණු පසු ඒවායේ බිඳ වැටීමක් සිදුවෙයි. ඒවිට තාපය වැඩිවෙයි. අවසාන ප්‍රතිඵලය වන්නේ තරුවක් නිර්මාණයයි. 

තරුවක් දිළෙන්නේ එය සතු ආලෝකයෙනි. සාමාන්‍යයෙන් තරුවක් වැඩිපුර නිර්මාණය වී ඇත්තේ හයිඩ්‍රජන් වායුවෙනි. මේ වායුව එකට ඇලීගැලී පවතින්නේ තරුවේ ඇති ගුත්ව බලයෙනි. තරුව මැද පිපිරීම් සිදුවෙයි. ඒවා න්‍යෂ්ටික බෝම්බ පුපුරා යනවා මෙන් ප්‍රබලය. අපගේ හිරු ද තරුවකි. 

රෑ අහස දෙස බලද්දී දිළෙමින් ලෙළෙමින් අපට පෙනෙන්නේ ඉතාමත් ඈත පිහිටි තරුය. මිලියන ගණනක් තරු අතරින් අපේ හිරු සාමාන්‍ය තරුවක් ලෙස සැලකිය හැකිය. අපේ සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නයෙන්ම පිහිටා ඇති තරුව ‘ප්‍රොක්සිමා සෙන්චූරි’ ය.

‘මැවීමේ කුලුනු’ එසේත් නැතිනම් ‘මැවීමේ ස්තම්භ’ දකින්න ලැබෙන්නේ ‘ඊගල්’ (රාජාලි) නෙබියුලාවේ, ‘සර්පන්ස්’ (සර්පන්ට් යනු සර්පයා) තරු රටාව තුළය. නෙබියුලාවක් යනු අභ්‍යවකාශයේ ඇති දූවිලි සහ ජලකර වායු වලාවකි. යෝධ පටලයකි. ‘මැවීමේ කුලුනු’ එසේත් නැතිනම් ‘මැවීමේ ස්තම්භ’ එහි කොටසකි. 

‘ඊගල්’ (රාජාලි) නෙබියුලාව, ස්ටාර් ක්වීන් (තරු රාජිනී) නෙබියුලාව යන නමින් ද හැඳින්වෙයි. මෙම නෙබියුලාවේ අලුත් තරුණ තරු පොකුරු ඇත. සර්පිලාකාර අප මන්දාකිණිය හෙවත් ක්ෂීරපථයේ එක් කෙළවරකය. සිංහලෙන් නෙබියුලාව අර්ථ ගැන්වෙන්නේ ‘නීහාරිකාව’ යනුවෙනි. පෙනුම අනුව ‘නීහාරිකා’ වර්ග 4 කට බෙදෙයි. ‘අඳුරු නීහාරිකා’, ‘පරාවර්තන නීහාරිකා’, ‘දීප්ත නිහාරිකා’ සහ ‘ග්‍රහ‌ලෝක නීහාරිකා’ යනු එම හතරයි. 

‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂය, ‘මැවීමේ කුලුනු’ එසේත් නැතිනම් ‘මැවීමේ ස්තම්භ’ ඡායාරූපයට නගා ඇත්තේ ඊට සම්බන්ධ NIRCAM නමැති අති නවීන තාක්ෂණයෙන් පිරුණු කැමරාවෙනි. 2014 වසරේ දී ‘හබල්’ දුරේක්ෂය ගත් ඡායාරූපයේ නොපෙන, සවිස්තරාත්මක දේවල් රැසක් ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂය ලබා ගත් ඡායාරූපයේ දකින්න ලැබේ. 

‘හබල්’ දුරේක්ෂය මෙන් නොව, ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂය සුවිශේෂී එකකි. විද්‍යාඥයන් මෙම දුරේක්ෂක හඳුන්වන්නේ ‘අතීයට නෙත් හෙලන’ දුරේක්ෂය යනුවෙනි. ‘අතීයට නෙත් හෙලනවා’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මේ දුරේක්ෂය කාලතරණය කළ හැකි කාල යන්ත්‍රයක්ද? එක්තරා විදිහකට මෙම ජේම්ස් වෙබ් දුරේක්ෂය කාල යන්ත්‍රයක් වැනිය. 

පෘථිවියේ සිට සැතපුම් මිලියනයක් ඈතින් රැඳවෙන දුරේක්ෂය, පෘථිවිය වටා කක්ෂගත වනු ඇත්තේ තාරකාවලින් සහ මන්දාකිණිවලින් විහිදෙන ආලෝකය ස්කෑන් (පරීක්ෂා) කරමිනි. මෙම දුරේක්ෂයට තාරකාවලින් සහ මන්දාකිණිවලින් විහිදෙන ආලෝකය, ආලෝක වර්ෂ බිලියන 13.7 ක් ආපස්සට නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇත. 
වෙබ් දුරේක්ෂය සහ හබල් දුරේක්ෂය
එසේ කළ හැකි වන්නේ මෙය රඳවා ඇත්තේ පෘථිවියේ සිට බොහෝ ඈත අභ්‍යවකාශයේ නිසාය. ජේම්ස් වෙබ් දුරේක්ෂය ‘හබල්’ දුරේක්ෂයට වඩා තුන් ගුණයකින් විශාලය. හබල් දුරේක්ෂයට වඩා සිය ගුණයකින් ප්‍රබලය. ඒ, ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂයට සවි කර ඇති රත්තරන්වලින් නිර්මාණය කළ දර්පන (කණ්ණාඩි) හේතුවෙනි. දර්පන රැසක් සහ ප්‍රධාන දර්පනයක් ඊට අයත් වෙයි. ප්‍රධාන දර්පනයේ පළල අඩි 21 කි. 

‘වෙබ්’ දුරේක්ෂය පෘථිවි කක්ෂයට යැවීම විශ්වය ගවේෂණයේ සන්ධිස්ථානයක් මෙන්ම ඓතිහාසික සිද්ධියක් වනු නොඅනුමානය. ඉදිරි දශකය පුරාවට, තව තවත් විශ්වයේ මෙතෙක් සොයා නොගත් රහස් රැසක් අනාවරණය කර ගැනීමට ‘වෙබ්’ දුරේක්ෂය උදව් වේවි යැයි නාසා ආයතනය පවසයි. මේ වනවිටත් ‘ජේම්ස් වෙබ්’ විශ්වයේ රහස් බොහොමයක් අපට අනාවරණය කර අවසන්ය. නාසා ආයතනය, ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂය නිපදවීමේ කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ, ඇමෙරිකානු ‘නෝර්ත්රොප් ග්‍රමන්’ සමාගමටය. 

‘නෝර්ත්රොප් ග්‍රමන්’ යනු අභ්‍යවකාශ සහ ආරක්ෂක කටයුතුවලට සම්බන්ධ තාක්ෂණ සමාගමකි. වසර 24 ක් තිස්සේ නොයෙක් බාධා මැද අවසානයේ දුරේක්ෂය නිර්මාණය කර අවසන් වෙද්දී ඒ සඳහා වැයවුණු මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 10 ක් බව පැවැසෙයි. ‘නාසා’, ‘එසා’ සහ ‘සිසා’ අභ්‍යවකාශ ඒජන්සියට අයත් රටවල් 24 ක විද්‍යාඥයන් සහ ඉන්ජිනේරුවෝ දහස් ගණනක් දුරේක්ෂය නිර්මාණය කිරීමට දායක වූහ. 
හබල් දුරේක්ෂය පෘථිවි කක්ෂයට ඉහළින් ද 
වෙබ් දුරේක්ෂය අභ්‍යවකාශයේ ද රඳවා ඇති අයුරු
‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂය අභ්‍යවකාශයට යැවුණේ 2021 දෙසැම්බර් 25 වැනිදාය. විශ්වයේ මූලාරම්භය ගැන තාරකා විද්‍යාඥයන්ට තොරතුරු රැසක් සොයා දුන් ඉතා වැදගත් දුරේක්ෂයක් ලෙස ‘හබල්’ සැලකෙයි. ‘හබල්’ දුරේක්ෂය, 1990 අප්‍රේල් 24 වැනිදා පෘථිවි කක්ෂයට යවා රැඳවීම සිදුවිය. මෙය රඳවා ඇත්තේ කිලෝ මීටර් 535 ක් ඉහළ පෘථිවි කක්ෂයේය. විශ්වයේ ආයු කාලය වර්ෂ බිලියන 13.8 ක් යැයි විද්‍යාඥයන්ට පෙන්වා දුන්නේ හබල් දුරේක්ෂයයි. 

කුරු ග්‍රහයකු ලෙස සැලකෙන ප්ලූටෝ ට ‘නික්ස්’, ‘හයිඩ්‍රා’ යනුවෙන් චන්ද්‍රයන් දෙදෙනකු සිටින බව සොයා දුන්නේ ද හබල් දුරේක්ෂයයි. විශ්වය, ප්‍රසාරණය වෙමින් පවතින බවත්, සෑම ප්‍රධාන මන්දාකිණියකම මැද කළු කුහරයක් ඇති බවත් සොයා දුන්නේ ද හබල් දුරේක්ෂයයි. ‘හබල්’ දුරේක්ෂය තවමත් හොඳින් ක්‍රියාමක වෙයි. නාසා ආයතනය පවසන්නේ 2030 වසර හෝ 2040 වසර වනතුරු ‘හබල්’ දුරේක්ෂයෙන් වැඩ ගැනීමට බලාපොරොත්තු වන බවය.

෴ උපුටා ගැනීම - NASA

Classified_Ad

Classified_Ad_News_Bottom