උඳුවප් පොහෝ දිනය මෙරට බෞද්ධ ජනතාවට වැදගත්වීමට සිරිපා වන්දනා සමය ඇරඹීම ද හේතුවකි. රට ජනතාව මෙන්ම විදේශියෝ ද සිරිපා වන්දනා සමයේ දී එහි පැමිණ සම්බුදු සිරි පා වැඳපුදාගැනීම මෙන්ම සිරිපා අඩවියේ සුන්දරත්වය විඳගැනීම ද සිදුකරති.
ශ්‍රී පාදස්ථානය දෙස් විදෙස් ජනතාවගේ වන්දනාවට පත්වූ පුදබිමක් මෙන්ම මෙන්ම ජෛව විද්‍යත්මකවද ඉතා ඉහල වටිනාකමක් හිමි කරගත් සුවිශේෂී පරිසර පද්ධතියකි. කඳුකර තෙත් වනාන්තරයන්ගෙන් සමන්විත ඉහළ ජෛව විවිධත්වයකින් යුත් අතිශය සංවේදී ජලපෝෂිත ප්‍රදේශයක් වන මෙම පරිසර පද්ධතිය වෙතින් මෙරටට ජීවය දෙන ප්‍රධාන ගංගා රැසක් ආරම්භ වන අතර ශාක හා සත්ත්ව විවිධත්වය අතින්ද සමනල කන්දට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂි වර්ග 24 ක් ඇතුළුව පක්ෂීන් වර්ග 160 ක්, ආවේණික උරග වර්ග 40 ක් සහ උභයජීවීන් වර්ග 21 ක් පමණ එහි ජීවත්වෙති. මෙහි ජීවත්වන මෙරටට ආවේණික පක්ෂීන වර්ග 18 ක්ම වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති පක්ෂීන් ලෙස රතු දත්ත ලැයිස්තුවට ද ඇතුළත් කර ඇත.
එවන් ජෛව විවිධත්වයක් ඇති මෙම පරිසර පද්ධතිය ආර්කෂා කරගැනීමේ වැදගත්කම අමුතුවෙන් කිව යුතු නැත.
එසේ වුවත් සිරිපා වන්දනා සමයේදී මෙම පරිසර පද්ධතියක් වෙත අධික කැලි කසල ප්‍රමාණයක් එකතු වීම නිසා එයට අහිතකර බලපෑම් එල්ල වෙමින් තිබේ.
විශේෂයෙන්ම දිරිපත් නොවන ප්ලාස්ටික්, පොලිතීන් විශාල ප්‍රමාණයක් සිරිපා වන්දනා සමයේ දී එක් රැස්වන අතර එමගින් එහි ජෛව විවිධත්වයට සහ පරිසර සංවේදීතාවයට දැඩි බලපෑම් එල්ල වේ. පොලිතින් සහ ප්ලාස්ටික්වලට අමතරව දැන් මුහුණු ආවරණ ද මෙම කසල අතරට එක්ව ඇත.
එමෙන්ම සීත ගඟුලේ දිය නෑමේදී සබන් හා ෂැම්පු භාවිතය නිසාත් ෂැම්පු පැකට් එහි දැමීම නිසාත් ගෙම්බන් ඇතුළු උභයජීවී වර්ග විනාශවීමට හේතු වී ඇත.
බුදුරජාණන් වහන්සේගේ පා පහසින් පුද ලද මේ පින්බිම වන්දනා කිරීමට පැමිණෙන පිරිස් තමන් අතින් සිදුවන මේ පරිසර විනාශය සම්බන්ධයෙන් සංවේදී නොවීම සැබැවින්ම කණගාටුවට කරුණකි.
ශ්‍රී පාදස්ථානය වෙත ගමන්ගන්නා මාර්ගයේ කසල බඳුන් තබා ඇතත් ඇතැමුන් තැන් තැන්වල කසල දමා යනු දක්නට ලැබේ. බිස්කට් ආදී ආහාර වර්ග සහිත පැකට්, ජල හා බීම බෝතල් ආදිය බරට බරේ ඔසවාගෙන සිරිපා වන්දනාවේ යන ඔබට ආපසු එනවිට හිස්ව කිසිඳු බරක් නොමැති පොලිතින් පැකට්, ජල බෝතල් ආපසු රැගෙනඒම එතරම් අපහසු දෙයක් නොවේ.
එබැවින් ඒවා යළි රැගෙන ගොස් විධිමත් ලෙස බැහැර කිරීමට කටයුතු කළ හැකි නම් එය ඔබට කළ හැකි මහඟු මෙහෙවරකි.
එසේ නොකරන විට සිරිපා වන්දනා සමයේ දී දිනපතා එහි පැමිණෙන විශාල පිරිසක් කසල විශාල වශයෙන් බැහැර කිරීමත්, දුෂ්කර කදු මුදුනක කසල එක් රැස් වීම නිසා ඒවා ඉවත් කිරීම අපහසුවීමත් නිසා මෙම පරිසර පද්ධතියේ පැවැත්මට දැඩි බලපෑමක් එල්ල වේ.
එයින් ශ්‍රී පාදය ආශ්‍රිත ශාක හා සත්ව ප්‍රජාවට මෙන්ම රටටම ජලය සපයන ජල මුලාශ්‍රයන්ට ද හානි සිදුවේ.
එබැවින් එම කසල ඉවත් කිරීම අතිශය වැදගත් කාර්යයකි. ඒ සඳහා සේවක පිරිසක් යොදවා ඇතත් දිනපතා දහස් ගණනක් දමා එන කසල කඳු මුදුනේ සිට පහළට රැගෙනඒම ඔවුන්ට පහසු නැත. මේ නිසා සිරිපා අඩවියේ තැනින් තැන එක්වන කසල ගොඩවල් වාරයේදී මෙන්ම අවාරයේදීද දක්නට ලැබේ. කොතරම් දුෂ්කර කටයුත්තක් වුව ද මෙරට පිළිගත් ජෛව විවිධත්ව අධ්‍යනය සංගමයක් වන ශ්‍රී ලංකා තරුණ ජීවවේදීන්ගේ සංගමය වාර්ෂිකව මෙම කසල ඉවත් කිරීමේ කාර්ය සඳහා දායකත්වය ලබා දෙන්නේද මෙම පරිසර පද්ධතිය රැක ගැනීම අතිශය වැදගත් බැවිනි.
සංගමය මේ වන විට වසර 8ක් පමණ මෙම කාර්‍යයට උර දී ඇති අතර, ශ්‍රී පාද අඩවියේ එක්රැස් වන කැලි කසල ඉවත් කොට සුන්දර පරිසර පද්ධතියක් සහ බැතිබර ආගමික ස්ථානයක් බිහිකිරීම එහි අරමුණයි. සිරිපා වන්දනා සමය අතරතුර මාර්තු මාසයේදී පමණ ශ්‍රී ලංකා තරුණ ජීවවේදීන්ගේ සංගමය විවිධ ආයතනවල ද සහය ඇතිව මෙම කසල ඉවත් කිරීම සිදුකරන අතර මෙවරද එම වැඩසටහන සැලසුම් කර ඇත.
කසල කිලෝග්‍රෑම් 800 ක පමණ එක් සිරිපා වාරයකදී ඉවත්කිරීම සිදුවන අතර, එයට දෙස් විදෙස් 250ක පමණ පිරිසක් දායකත්වය ලබාදෙති. නමුත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අතැර එන කැලිකසල සියල්ල සිරිපා අඩවියෙන් ඉවත්කිරීම පහසු නැත. එබැවින් සම්බුදු සිරිපා නමදින්නට යන ඔබ මෙවර සිරිපා වන්දනා සමයේ සිටවත් රැගෙන යන කිසිවක් එහි දමා නොපැමිණෙන්නේ නම් එය ද කුසලයක් වනු ඇත.
සිරිපා වන්දනා කර කුසලයක් රැස්කරගැනීමට යන ඔබ අතැර එන මුහුණු ආවරණයකින් හෝ පොලිතීන් බෑගයකින් එහි ජීවත්වන අහිංසක සතෙකුගේ ජීවිතයට හානියක් වන්නේ නම් එය ඔබ නොදැනුවත්ව හෝ රැස්කරගන්නා අකුසලයක් වනු ඇත. එබැවින් මෙවර වන්දනා සමයේ සිටවත් ඔබේ කසල එහි දමා නොඑන්නට අධිෂ්ඨාන කරගත හැකිනම් එය එම පරිසර පද්ධතියට මෙන්ම රටේ අනාගත පරපුර වෙනුවෙන්ද ඔබ කරන මෙහෙවරකි.
දුලංජය චමල්
අනුශාසක සහ හිටපු සභාපති
ශ්‍රී ලංකා තරුණ ජීවවේදීන්ගේ සංගමය
෴ ඩයනා උදයංගනී
උපුටා ගැනීම - ලංකාදීප