අභ්‍යවකාශයේ කොතරම් ඈතට ගියත්, අඳුරු සීතල මුහුදු පතුලට යෑම පහසු නැත. ඒ, මුහුදු පතුලේ පීඩනය දරා ගැනීමට නොහැකි බැවිනි. ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීමට සංචාරකයන් ද සමඟ මුහුදු පතුලට ගිය කුඩා සබ්මැරීනය අතුරුදන් බව අපට අසන්න ලැබුණේ පසුගිය ජූනි 19 වැනිදාය.
අතුරුදන් වනවිට සබ්මැරීනයේ ඔක්සිජන් තිබුණේ පැය 96 ක කාලයකට පමණි. ඇමෙරිකාව, කැනඩාව පමණක් නොව, ප්‍රංශය ද එක් වී, සබ්මැරීනය සොයා මෙහෙයුම් ඇරඹුවේය. රේඩාර් සහ සෝනාර් තාක්ෂණය ඒ සඳහා යොදා ගැනුණි. නියමුවන් රහිත රොබෝ කිමිඳුම් යානා ද භාවිත කෙරුණි. එහෙත්, අතුරුදන් සබ්මැරීනය සෙවීම පිදුරු ගොඩක ඉදිකටුවක් සොයනවාටත් වඩා අසීරු විය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjSJtlUTqiIgDf8LP5DRG6G9RLBI4lxd3WXstIUxA0Vl0RJO89-dcckESyJDTs0yACzv0wL1ys55s8BM36iNVj5bc8F351cNpVt-SI0NFkl3sTTexiAtktIuK0I6ccE8gHC8Zn2guablvvkDaAlOLudk-Z5kLC960MFqs5afE-mrFcyf9ddoZWB_2NsekUI/s16000/%E0%B6%B4%E0%B7%9D%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%20%E0%B6%B1%E0%B7%90%E0%B7%80.jpg)
‘පෝලර් ප්‍රින්ස්’ නැව
ජූනි 22 වැනිදා දිනය නිමා වෙද්දී, සබ්මැරීනයේ ඔක්සිජන් ද අවසන් විය. ඒ සමග සිරවුණු පස්දෙනා ගලවා ගැනීමේ බලාපොරොත්තු සුන්විය. ටයිටැනික් නැවේ සුන්බුන් අසලින් සබ්මැරීනයේ කොටස් තිබී හමුවුනේ ඉන් පසුවය. කැබැලි හමුවීමට නම් සබ්මැරීනය පොඩිපට්ටම් වී හැකිලී පුපුරා විනාශ විය යුතුය. එසේ පුපුරා විනාශ වන්න ඇත්තේ මුහුදු පතුළට යද්දී පීඩනයට හසුවීමෙනි.
මුහුදු පතුලේ පීඩනයට ඔරොත්තු දෙන අයුරින් නිපදවූ ‘ටයිටන්’ සබ්මැරීනය මීට පෙර අවස්ථා ගණනාවකදී මුහුදු පතුලට ගොස් තිබේ. එදා ටයිටැනික් සුන්බුන් බලා යද්දී, සබ්මැරීනය පිපිරී විනාශ වූයේ නම් එසේ වන්න ඇත්තේ සබ්මැරීනයේ කොතැනක හෝ කුඩා සිදුරක් හෝ පැල්මක් තිබුණු නිසා යැයි විශේෂඥයෝ පැහැදිලි කරති. ඒ සමඟම සබ්මැරීනයේ ප්‍රමිතිය ගැන ගැටලු මතුවිය. කෙසේ හෝ වේවා අවසානයේ කුඩා සබ්මැරීනය සදහටම, සීතල අඳුරු අත්ලාන්තික් සාගරයේ පතුලේ සැඟවී ගියේය.
“සියල්ල හොඳින්. ටයිටන් ඔබට යන්න පුළුවන්” , ‘පෝලර් ප්‍රින්ස්’ නැවේ පාලන මැදිරියෙන් උපදෙස් ලැබුණි. නැවෙන් රැගෙනැවිත් තිබූ ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනය (කුමුඳුව) ඒ වනවිට නැව අසලම අත්ලාන්තික් සාගරයේ පාවෙමින් තිබුණි. ඒ, තවත් මුහුදු පතුලේ වික්‍රමයකට සූදානමිනි. මීටර් 3,800 ක් පහළින් වූයේ, ටයිටැනික් නැවේ සුන්බුන්ය. ‘ටයිටන්’ සූදානම් වී සිටියේ ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට සංචාරකයන් රැගෙන යෑමටය.
මීටර් 6.7 ක් දිග ආසන නොමැති ‘ටයිටන්’ සබ්මැරීනයේ නියමුවා ද සමඟ පස් දෙනකුට වකුටු වී, ගමන් කළ හැකිය. සබ්මැරීනය තුළ ආසන නැත. සබ්මැරීනයේ නාසය කොටස එහි එකම දොරටුවය. එහි වීදුරු කවුළුවක් ද ඇත. නැරැඹුම් කවුළුව මෙයයි. සබ්මැරීනය නිපදවා ඇත්තේ කාබන් ෆයිබර් සහ ටයිටේනියම්වලිනි. ඒ, මුහුදු පතුලට යද්දී පීඩනයට ඔරොත්තු දීමටය. නියමුවා අසුන් ගන්නේ කවුළුවට මුහුණලා ඉදිරියෙනි. යානය පැදවීම සිදුවන්නේ වීඩියෝ ගේම් ක්‍රීඩා කරද්දී භාවිතයට ගන්නා ආකාරයේ කොන්ට්‍රෝල් උපකරණයකිනි.
පිරිස ඇතුළට ගිය පසු ඉදිරිපස කොටස වසා පිටතින් සීල් කර අගුළු දැමෙයි. අගුළ ඇරීම සිදු කළ හැක්කේ පිටතින් පමණි.
‘ටයිටන්’ සබ්මැරීනයට නොට් (නාවික සැතපුම්) තුනක එසේත් නැතිනම් පැයට සැතපුම් 3.5 ක වේගයකින් අඩි 4,000 ක් මුහුදු පතුලට යාමට හැකිය. ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට සංචාරකයන් රැගෙන යෑමට අමතරව, මුහුදු පතුල සිතියම් ගත කිරීමට, පර්යේෂණ සඳහා දත්ත රැස් කිරීම ද ‘ටයිටන්’ සබ්මැරීනය මීට පෙර යොදා ගෙන තිබුණි. ඊට අමතරව ගැඹුරු මුහුදු පතුලේ අත්හදා බැලීම් සිදු කිරීමටත්, චිත්‍රපට සහ වාර්තා වැඩසටහන් රූගත කිරීමේ කටයුතුවලටත් ‘ටයිටන්’ යොදා ගෙන තිබුණි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgwp8cdEV9z2PTBkkKIhvX-sbOWNMx5U3ht4yJDn39SeQBC15BNqD1_kLcRM7Ta8JcUwQux-TJl8i-azcyHavOLP75qP_dEUz26APs42ydD7SZwmSO7Ms1GKWMU7-TVf_g8Ba5b9AqZb6ZZMt6KpQS6BGpvAUMCBwGiTK90TyjDmDj9wsndy2kLrAiLkHBm/s16000/02.jpg)
පෝල් හෙන්රි නාජොලේ, ස්ටොක්ටන්, හමීෂ් හාර්ඩිං, ෂහ්සාදා දාවුද් සහ පුතු සුලෙයිමාන්
‘පෝලර් ප්‍රින්ස්’ නැවේ පාලන මැදිරියෙන් උපදෙස් ලැබෙද්දී, ‘ටයිටන්’ සබ්මැරීනය තුළ නොඉවසිල්ලෙන් වාඩි වී සිටි පස් දෙනෙකි. “පණිවුඩය ලැබුණා. එහෙනම් අපි පිටත් වෙනවා” යැයි නැවේ පාලන මැදිරියට පිළිතුරු දුන්නේ, පාලන මැදිරිය සමඟ සම්බන්ධ වී සිටි සබ්මැරීනයේ නියමුවා, 77 හැවිරිදි පෝල් හෙන්රි නාජොලේය. පෝල් හෙන්රි, ප්‍රංශ විශ්‍රාමික හමුදා නිලධාරියෙකි. දක්ෂ කිමිඳුම්කරුවෙකි. මුහුදු පතුලේ ගවේෂණවල නියැළී ඇති අත්දැකීම් ඇති අයෙකි. අවස්ථා ගණනාවකදී පෝල් හෙන්රි, ටයිටැනික් නැවේ සුන්බුන් වෙත ගොස් ඇත. ‘ටයිටන්’සබ්මැරීනයේ නියමුවා වීමට ඔහු තරම් දක්ෂයකු වෙන සිටියේ ද නැත.
නාජොලේ අසලින්ම පාද නමා ගෙන වකුටු වී සිටියේ ‘ඕෂන්ගේට් එක්ස්ප්‍රෙස්’ සමාගමේ ප්‍රධානියා ස්ටොක්ටන් රෂ්ය. ‘ටයිටන්’ සබ්මැරීනයත්, ‘පෝලර් ප්‍රින්ස්’ නැවත් අයත් ‘ඕෂන්ගේට් එක්ස්පඩිෂන්ස්’ සමාගමටය. ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට සංචාරකයන් ගෙන යෑමට, ‘ඕෂන්ගේට්’ සමාගම පිඹුරුපත් සකස් කළේ 2017 දීය. ‘ඕෂන්ගේට්’ සමාගමේ සබ්මැරීනයක් පළමුවෙන් ටයිටැනික් සුන්බුන් වෙත ගියේ ඊට වසර 5 කට පසුවය.
ස්ටොක්ටන්ගේ බිරිඳ වෙන්ඩි රෂ් ගැන ද මෙහිදී යමක් කිව යුතුය. ඇය ඉසිඩෝර් සහ අයිඩා නමැති යුවළගේ මී මිණිපිරියයි. ඉසිඩෝර් සහ අයිඩා 1912 වසරේ ටයිටැනික් නැව ගිලෙද්දී එහි ගමන් කරමින් සිට ඇත. ටයිටැනික් නැව ගිලෙද්දී එහි ජීවිතාරක්ෂක බෝට්ටුවලට ගොඩකර ගැනීම සිදු කෙරුණේ කාන්තාවන් සහ දරුවන් පමණි. එදා, ඉසිඩෝර්, අයිඩා බෝට්ටුවට ගොඩ කර නැවේ නතර වූ අතර අවසානයේ නැව සමග ඔහු ද මුහුදට බිලි විය. වසර ගණනාවකට පසු ටයිටැනික් නැව සොයා ගිය ගවේෂණ තුනකට වෙන්ඩි රෂ් ද එක් වූ බව පැවැසෙයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjY4vro2Z5Pc1Zx-Ig7awK8bloYVpeZ0vOFyCeyfmfDBvUwBoT0tf2HHiw8HxCg1DtFOwpbUUTgHq6aSshsRhAd1p7g1Z242ydTSRcD1aAuKtvbRxdcDLUAmn4Wck442aoxK1f1Pdlf1HZ6B_s-KCz5paBiy9tR21hkLyER8EaJuCKI9S9TEdbdQkWGTuSh/s16000/%E0%B6%A7%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%20%E0%B7%83%E0%B6%B6%E0%B7%8A%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%20%E0%B6%9A%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%20%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.jpg)
ටයිටන් කිමිඳීමට සූදානමින් ...
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0b0j9xQhfNlcfZBaFuhvwNHYlgLI9ac47qXsotz7WqA0nspmByWp-Nr5Qz0t3Gr_DULwziCqJcgDSw53nx40-fL227RGNTG4G53fSL7TT72OMYS9eqyKahrxK8bJvTbA0Syr812jM4gdA5cApH9lNTL4hyB9z4ogJDcrROu-15ahj7vnYJON7z-NK3Jpf/s16000/%E0%B6%A7%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%9A%20%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%9C%E0%B7%80%E0%B7%9A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%20%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.jpg)
ටයිටැනික් ගවේෂණය කරන රොබෝ කුමුුඳුවක්
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh1aHg7SmDlPs0Cxu4Vo4XSM8Oat_A3SqiLy0u3jHmmmRSw32rPDfIu8O0rwzRfvlELvtx_UsKDVmo_Q0XxqYcrDKh7zNEhFs2zOOU8RcmDjKS-FZywWqdlrp2KRqbN3TpaWjIgfZoduBquCJPpcDF-kfQ9LzjawYqcyAqKCyzuqk1aOX6DU_UgBxiRTrNk/s16000/%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A%20%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7%20%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%20%E0%B6%A7%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%20%E0%B6%B1%E0%B7%90%E0%B7%80.jpg)
ටයිටැනික් නැව
ශාන්ත ජෝන්ස් කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් ප්‍රාන්තයේ අගනනුවර මෙන්ම විශාලතම නගරයයි. නිව්ෆවුන්ඩ්ලන්ඩ් ඇත්තේ ඇවෙලොන් අර්ධද්වීපයේ කෙළවර, අත්ලාන්තික් සාගරයට මුහුණලාය. ටයිටැනික් නැවේ සුන්බුන් ඇත්තේ ශාන්ත ජෝන්ස් සිට අත්ලාන්තික් සාගරයේ කිලෝ මීටර් 6 ක් දුරිනි. ශාන්ත ජෝන්ස් නගරයෙන් ගමන් අරඹා, සුන්බුන් ඇති ස්ථානය අයත් මුහුදු කලාපයට ගොස්, කුඩා සබ්මැරීනයෙන් කිමිඳී, සුන්බුන් නරඹා ආපසු ඒම, ‘ඕෂන්ගේට්’ සමාගමේ දින අටේ පැකේජයයි. අතමිටසරු ඕනෑ අයකුට ටයිටැනික් සුන්බුන් නැරැඹීමට යා හැකිය. එක් අයකුට වැය වන මුදල ඇමෙරිකන් ඩොලර් 250,000 කි. මෙතරම් මුදලකට ටයිටැනික් සුන්බුන් නැරැඹීමට යන්නේ ලොව බිලියනපතියන් සහ ධනවතුන් හැර වෙන කවුරුන්ද?
ජූනි 18 වැනිදා ඉරිදා, බ්‍රිතාන්‍ය වේලාවෙන් උදෑසන 8 ට, නියමු පෝල් හෙන්රි නාජොලේ සහ ස්ටොක්ටන් රෂ්ට අමතරව, අතමිට සරු සංචාරකයෝ තිදෙනෙක් සබ්මැරීනය තුළ නොඉවසිල්ලෙන් සිටියහ. ඒ, හමීෂ් හාර්ඩිං, ෂහ්සාදා දාවූද් සහ ඔහුගේ 19 හැවිරිදි පුතු සුලෙයිමාන්ය. 58 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික හමීෂ් හාර්ඩිං බිලියනපතියෙකි. හාර්ඩිං ව්‍යාපාරිකයෙකි; ගවේෂකයෙකි. ත්‍රාසජනක වීර වික්‍රමවලට ප්‍රිය කරන්නෙකි. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ස්වභාවික විද්‍යාව සහ රසායනික ඉංජිනේරු විද්‍යාව හැදෑරීමෙන් පසු හාර්ඩිං ගුවන් ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන්, ගුවන් නියමු බලපත්‍රයක් ලබා ගත්තේය. 2022 වසරේ, හමීෂ් හාර්ඩිං, බ්‍රිතාන්‍ය බිලියනපති ජෙෆ් බෙසොස්ගේ ‘බ්ලූ ඔරිජින්’ අභ්‍යවකාශ සමාගමේ පස්වැනි වාණිජ අභ්‍යවකාශ ගමනට සංචාරකයකු ලෙස ද එක් විය. හමීෂ් හාර්ඩිංග් බිලියනපතියකු වූයේ පෞද්ගලික ජෙට් යානා ගනුදෙනුවලිනි. උතුරු සහ දක්ෂිණ ධ්‍රැව පසු කරමින්, පෘථිවිය වටා ගමන් කිරීම සඳහා ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ද හාර්ඩිං ය. ගුවන් යානා විකිණීම් සහ මෙහෙයුම් සම්බන්ධ එමිරේට්ස් රාජ්‍යයේ ඩුබායි හි පිහිටුවූ ‘ඇක්ෂන් ඒවියේෂන්’ ජාත්‍යන්තර සමාගමේ සභාපතිවරයා හාර්ඩිං ය. බීබීසී වාර්තාවකට අනුව, ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට තමන් මුහුදු පතුලට යන බව හමීෂ් හාර්ඩිංග් ට්විටර් පණිවුඩයක් මගින් පළමු වරට ලොවට දැනුම් දුන්නේ පසුගිය පසුගිය වසරේ ජූනි මාසයේය.
48 හැවිරිදි ෂහ්සාදා දාවූද් ‘එන්ග්‍රෝ කෝපරේෂන්’ සමාගමේ උප සභාපතිවරයාය. ආහාර සහ පොහොර පමණක් නොව, බලශක්ති නිෂ්පාදන සමාගමක් ලෙස ද මෙය ප්‍රකටය. ‘හර්කියුලිස් කෝපරේෂන්’ සමාගම ද ඇත්තේ ෂහ්සාදා දාවුද් යටතේය. පාකිස්තානයේ උපන් ෂහ්සාදා බ්‍රිතාන්‍යයේ පදිංචියට පැමිණ ගියේය. ඔහු බකිංහැම් විශ්ව විද්‍යාලයෙන් නීතිය හදාරා තිබේ ‘එන්ග්‍රෝ කෝපරේෂන්’ සමාගමේ සහ ‘දාවුද් හර්කියුලිස් කෝපරේෂන්’ සමාගමේ සභාපති ලෙස කටයුතු කරන්නේ දාවුද්ගේ පියා, 79 හැවිරිදි හුසේන්ය. දාවුද් පවුල පාකිස්තානයේ ධනවතුන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටී. ෂහ්සාදා දාවුද්ගේ බිරිඳ ක්‍රිස්ටිනාය. ඔවුන්ට අලීනා නමින් දියණියක ද සිටී.
‘ටයිටන්’ සබ්මැරීනය තුළ වූ කැමරාවෙන් සජීවී දසුන් ඉහළ නැවේ පාලන මැදිරියට ලැබෙද්දී, ලැබුණු උපදෙස් පිළිපඳිමින්, සබ්මැරීනය සෙමින් සෙමින් ගැඹුරු මුහුදේ අඳුරේ සැඟවිණි. පෝල් හෙන්රි නාජොලේ, ස්ටොක්ටන් රෂ්, හමීෂ් හාර්ඩිංග් සහ පිය පුතු දෙදෙනා ෂහ්සාදා දවූද් සහ සුලෙයිමාන් දකින්න ලැබුණු අවසන් අවස්ථාව එයයි. ටයිටැනික් නැවේ සුන්බුන් ඇති ස්ථානයට ළං වීමට ගතවන කාලය පැය දෙකහමාරකි. 18 ඉරිදා උදෑසන 9.45 වනවිට ‘ටයිටන්’ සබ්මැරීනය, පැය 1 යි මිනිත්තු 40 ක් කාලයක් ගෙවා මුහුදු පතුලට ගමන් කරමින් තිබුණි.
නිමේෂයකින්, ඉහළින් වූ ‘පෝලර් ප්‍රින්ස්’ නැවේ පාලන මැදිරියට සජීවී දසුන් ලැබීම නැවැතිණි. “ටයිටන් මොකද වුණේ? අපට ඔබේ දසුන් පෙනෙන්නේ නැහැ. කැමරාවේ දෝෂයක්ද? මොකද වුණේ” පාලන මැදිරියේ හඬ දෝංකාර දෙන්න පටන් ගත්තේය. පිළිතුරක් නැත. ‘ටයිටන්’ සබ්මැරීනය අඳුරු මුහුදු පතුලේ අතුරුදන් වී තිබුණි.
යළි සොයාගත නොහැකි ලෙස අතුරුදන් වී තිබුණි.
ජූනි 19 වැනිදා, සඳුදා එළිවෙද්දී, එකම යුද්ධයකි. ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීමට සංචාරකයන් රැගෙන ගිය කුඩා සබ්මැරීනය අතුරුදන් යන්න ලොව ප්‍රධාන පුවත විය. ඒ වනවිට ඇමෙරිකන් වෙරළාරක්ෂක නිලධාරීන් සබ්මැරීනය සෙවීමේ මෙහෙයුමට සම්බන්ධ වී සිටියේ කැනඩා වෙරළාරක්ෂකයන්, කැනඩා නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ ද සහාය ඇතිවය. “කුඩා සබ්මැරීනය අතුරුදන්. එහි පස් දෙනකු සිටිනවා. සබ්මැරීනයට සිදුවුණු ඇබැද්දිය අප දන්නේ නැහැ. ඒත් අපි එය සෙවීමට උත්සාහ ගන්නවා. පිරිස කෙසේ හෝ බේරා ගන්න උත්සාහ ගන්නවා” මාධ්‍ය හමුවේ පැවැසුවේ ඇමෙරිකන් වෙරළාරක්ෂක නිලධාරී කපිතාන් ජේමි ෆෙඩ්රික් ය.
ඇමෙරිකා වෙරළාරක්ෂකයන් ඔවුන්ගේ ‘සී 130’ හර්කියුලීස් ගුවන් යානයත්, කැනඩා වෙරළාරක්ෂකයන් ඔවුන් සතු ‘සී 130 ’ හර්කියුලීස් ගුවන් යානයත්, ‘පී8’ ගුවන් යානයත් සබ්මැරීනය සෙවීමට යෙදවිණි. මේ ගුවන් යානා මගීන් යන යානා නොවෙයි. රේඩාර් සහ සෝනාර් තාක්ෂණයෙන් සමන්විත ඒවාය. ඒ අනුව, ගුවනේ සිට, සෝනාර් තාක්ෂණය යොදා ගනිමින් මුහුදු පතුල ‘ස්කෑන්’ කිරීම ඇරැඹිණි. කැනඩා ඇමෙරිකා ප්‍රංශ නැව් 9 ක් සෝදිසියට එක් විණි. ‘ටයිටන්’ සබ්මැරීනය, ටයිටැනික් නැවේ සුන්බුන් අතරේ සිරවුණා යැයි ද අනුමාන කෙරුණි. කෙසේ නමුත්, සබ්මැරීනය සොයා මුහුදේ වර්ග කිලෝ මීටර් 20,000 ක ප්‍රදේශයකට සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ බව ඇමෙරිකන් වෙරළාරක්ෂකයෝ පැවැසූහ.
22 වැනිදාත් 23 වැනිදාත් මුහුදු පතුලෙන් නැගුණු හඬක් සෝනාර් ඔස්සේ අසන්න ලැබුණි. ඒ හඬ ආවේ, ‘ටයිටන්’ සබ්මැරීනයෙන් යැයි සැක කෙරුණත් එය තහවුරු කර ගැනීමක් සිදු නොවිණි. ‘ඔව් අපට හඬක් අසන්න ලැබුණු බව ඇත්ත. ඒත් ඒක ආවේ කොහෙන්දැයි තහවුරු කරගන්න විදියක් නැහැ. ‘සබ්මැරීනයේ සිටින අය කළ උදවු ඉල්ලීමක්දැයි අප දන්නේ නැහැ’ යැයි ඇමෙරිකන් වෙරළාරක්ෂක නිලධාරීහු පැවැසූහ.
පස් දෙනකු සමඟ මුහුදේ සැඟවුණු ‘ටයිටන්’ ගැන කනස්සල්ල පළ කරමින් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කීවේ ඇමෙරිකන් රජය පිරිස බේරා ගන්න හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවය.
ජූනි 21 වැනිදා වනවිට සෝදිසි මෙහෙයුමට තවත් දෙදෙනකු සම්බන්ධ කෙරුණි. ඒ, රොබෝ යානා දෙකකි. ‘සීයූආර්වී21’ සහ ‘ට්‍රයිටන්’ යනු එම රොබෝ යානාය. ‘සීයූආර්වී21’ රොබෝ යානයට මීටර් 7,000 කට වඩා ගැඹුරට යා හැකිය. ‘ට්‍රයිටන්’ යානයට මුහුදේ ගැඹුරුම ස්ථානයට යෑමට ගත වන්නේ පැය 2 1/2 ට වඩා අඩු කාලයකි. ඇමෙරිකාව සහ කැනඩාවට අමතරව ප්‍රංශය ද මෙහෙයුමට එක් විය. ප්‍රංශයට අයත්, මුහුදු පතුලේ කේබල් අතුරන නැවක් අදාළ ස්ථානයට පැමිණියේ පසුගිය ජූනි 21 වැනිදාය. ප්‍රංශ රොබෝ සබ්මැරීනයක් ද අතුරුදන් සබ්මැරීනය සොයා කිමිඳෙන්න විය. මෙම සබ්මැරීනයට මීටර් 6,000 ක් ගැඹුරට යා හැකි බව පැවැසෙයි.
අවසානයේ, ටයිටැනික් නැවට නුදුරින් ‘ටයිටන්’ සබ්මැරීනයේ සුන්බුන් කොටස් සොයා ගැනීමට සමත් වූයේ ‘ඔඩිසියස් 6 කේ’ නමැති ප්‍රංශ රොබෝ සබ්මැරීනයයි. ‘ටයිටන්’ සබ්මැරීනයේ පසුපස වල්ගයේ කොටස් යැයි සැක කළ හැකි සුන්බුන් එහි ඇති බව පැවැසෙයි. ‘ඔඩිසියස් 6 කේ’ සහ සෙසු රොබෝ සබ්මැරීන මුහුදු පතුළට ගියේ, සජීවී දසුන් වෙරළාරක්ෂක නිලධාරීන්ට ලබා දෙමිනි. සුන්බුන් යැයි සැක කෙරෙන කොටස් හමුවෙද්දී, ඇමෙරිකන් නාවික හමුදාව පෙන්වා දුන්නේ, ‘ටයිටන්’ සබ්මැරීනය මුහුදු පතුලට යද්දී, පීඩනයට හසුවී, පොඩිපට්ටම් වී, පුපුරා යන්න ඇති බවය.
මුහුදු පතුලට යෑම බිහිසුණු අත්දැකීමකි. පතුලට යද්දී පීඩනය දරා ගැනීමට නොහැකි වෙයි. ඔක්සිජන් ටැංකි බැඳගත් කිමිඳුම්කරුවන්ට යා හැක්කේ මීටර් 40 ක් ගැඹුරට පමණි. ප්‍රබල ‘වොන්ගාඩ්’ වැනි හමුදා සබ්මැරීන යාත්‍රා කරන්නේ මීටර් 300 සීමාවේය. තවත් පහළට යද්දී, මීටර් 1,000 පසු කළ විට හිරු එළිය නොවැටී යයි. මෙම කලාපය හැඳින්වෙන්නේ ‘මිඩ්නයිට් සෝන්’ යනුවෙනි. මෙතැන් පටන් සාගරය තිත්ත කරුවළය. සීතලය.
‘ටයිටන්’ සබ්මැරීනය අතුරුදන් වුණු අවස්ථාවේ පටන්, ‘ඕෂන්ගේට් එක්ස්පඩිෂන්’ සමාගම විවේචනයට ලක් විය. ඒ සබ්මැරීනයේ ප්‍රමිතිය සහ ආරක්ෂව පිළිබඳවය. ඩේවිඩ් ලොච්රිජ් නමැත්තා මාධ්‍ය හමුවේ අදහස් දැක්වූයේ මේ අතරතුරේය. ඩේවිඩ් ලොච්රිජ්, ‘ඕෂන්ගේට්’ සමාගමේ සබ්මැරීන සම්බන්ධ විශේෂඥයා ලෙස කටයුතු කළ තැනැත්තාය. ‘ටයිටන්’ සබ්මැරීනයේ ආරක්ෂාව පිළිබඳ 2018 දී තමන් ‘ඕෂන්ගේට්’ සමාගමට අනතුරු ඇගවූ බවත්, හමීෂ් හාර්ඩිං එම අනතුරු ඇඟවීම් ගණන් නොගෙන තමන් සේවයෙන් නෙරපා දැමූ බවත් ඩේවිඩ් ලොච්රිජ් මාධ්‍ය හමුවේදී පැහැදිලි කළේය. ඒ සමඟ, ‘ටයිටන්’ සබ්මැරීනයේ ආරක්ෂාව ගැන සැකය වැඩි විය.
ටයිටැනික් නැවේ ඛේදවාචකය ගැන අමුතුවෙන් කිවයුතු නැත. 1912 වසරේ අප්‍රේල් 14 වැනිදා ටයිටැනික් නැව සිය මංගල ගමන ආරම්භ කළේ එංගලන්තයේ සවුත්හැම්ප්ස්ටන් සිටය. ගමනාන්තය වී තිබුණේ ඇමෙරිකාවේ නිව්යෝක් නගරයයි. ඒත් නැව ගමනාන්තයට සේන්දු නොවිණි. අප්‍රේල් 15 වැනිදා ගිල්ලන්න බැරි නැවක් යැයි කි ටයිටැනික්, අයිස් කන්දක හැපී පළුදු වී ගිලුණේ 2,200 දෙනාගෙන් 1,500 දෙනකුගේ ජීවිත බිලි ගනිමිනි. ටයිටැනික් නැව ගිලුණු ස්ථානය සහ එහි සුන්බුන් සොයා ගැනුණේ 1985 වසරේදීය. නැවේ සුන්බුන් සොයා ගැනීමට සමත් වූයේ ඇමෙරිකන් ප්‍රංශ ගවේෂණ කණ්ඩායමකි. 1986 දී ‘ඇල්වින්’ නමැති කුඩා සබ්මැරීනය ටයිටැනික් සුන්බුන් ගවේෂණය කළේය. 1987 දී නැවේ කොටස් කීපයක් සහ බඩුබාහිරාදිය 1,800 ක් එක්රැස් කර ගැනුණි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhPE2BTOY83rkUPUBHpRt-ZonCxlF1KOaS2BwLG8gda3PNGd2XLuXoNHb1RUbj5POhXZZtg4R0mdr5rU_rFk3VEFz403gnXxWzAYuHRJB1tHh095IsXkN1SszsSvBlW0ZuBwXUvCRaJhn4qo4cnN0QWB6prJFMXmO8fcTrGI_IbzFUAnC_9OKOz_-nsA-IS/s16000/Titanic-02.jpg)
ජේම්ස් කැමරන් ටයිටැනික් රූගත කරමින්
‘ටයිටන්’ සබ්මැරීනයට සිදුවුණු අකරතැබ්බ සම්බන්ධයෙන් ප්‍රවීණ හොලිවුඩ් අධ්‍යක්ෂ ජේම්ස් කැමරන්, සිය හඬ අවදි කළේය. ඒ, සබ්මැරීනයේ සිටි පිරිස මියගිය බව තහවුරු වීමෙන් අනතුරුවය. 1997 වසරේ තිරගත වූ, බොක්ස් ඔෆිස් වාර්තා තැබූ ‘ටයිටැනික්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ජේම්ස් කැමරන්ය. ‘ටයිටන්’ සබ්මැරීනයේ ප්‍රමිතිය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂඥයන් අනතුරු අඟවා තිබියදී, සංචාරකයන් රැගෙන යෑමට එය භාවිතයට ගැනීම මෝඩ ක්‍රියාවක් යැයි කැමරන් පෙන්වා දෙයි. ජේම්ස් කැමරන් ද දක්ෂ කිමිඳුම්කරුවෙකි. ඔහු 33 වරක්, ‘ටයිටැනික්’ නැවේ සුන්බුන් ඇති ස්ථානයට ගොස් සුන්බුන් ගවේෂණය කළ සහ රූගත කළ අයෙකි. 1997 වසරේ තිරගත වුණු ටයිටැනික් චිත්‍රපටය නිර්මාණයේ දී භාවිතයට ගැණුනේ රූගත කළ එම දසුන්ය. “1912 වසරේ ටයිටැනික් නැව අවාසනාවන්ත අයුරින් මුහුදේ ගිලී ගියේ නැව ගිල්වන්න බැරි යැයි අවතක්සේරු කළ නිසයි. බොහෝ දෙනා ටයිටැනික් ගැන අනතුරු ඇගෙව්වා. ඒත් කවුරුවත් ගණන් ගත්තේ නැහැ. ටයිටන් සබ්මැරීනයටත් සිදුවුණේ එවැන්නක්. සබ්මැරීනයේ ප්‍රමිතිය ගැන කළ අනතුරු ඇගවීම් ගණන් ගත්තේ නැහැ” යැයි කැමරන් පැහැදිලි කර තිබේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6TiF8GlQpCmILwE_g7iCn4Vq7N4IHn1URFwwg150YacgrlQir0WHvjbT5N0HF6_WodR4J44NnF7EvOAZv_Dq83y3T9LAxiVNjKS7YaJSvo6Zxbs0R_k3Hst1s_DAVGz8sFdmFIkXuirk63VhI7iEtKiDfzobTxk04sxB5tx7m2WYrdgBc0cFgQrZ-E34-/s16000/Titanic-01.jpg)
ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට පළමුවෙන්ම සංචාරකයන් ගියේ 1998 දීය. 2002 සහ 2010 දී සුන්බුන් ගවේෂණ සිදුවිය. සුන්බුන් ඇති මුහුදු පතුල සිතියම් ගත කෙරුණි. 2012 දී සුන්බුන් ඇති මුහුදු පතුල යුනෙස්කෝ සංවිධානය විසින් ආරක්ෂක කලාපයක් ලෙස නම් කෙරුණි. 2020 දී ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ටයිටැනික් සුන්බුන් ආරක්ෂාව වෙනුවෙන් එකඟතාවක් ඇති කර ගත්තේය. ‘ඕෂන්ගේට් එක්ස්පඩිෂන්ස්’ සමාගම පළමු වරට, ටයිටැනික් නැවේ සුන්බුන් වෙත සබ්මැරීනයක් යැව්වේ 2021 දීය. 2023 වසරේ දී ටයිටැනික් නැවේ සුන්බුන් ඩිජිටල් ස්කෑන් පරීක්ෂණයකට ලක් කෙරුණි. මුහුදු පතුල ද සිතියම්ගත කෙරුණි.
෴ ලුසිත ජයමාන්න