අප සෞරග්‍රහ මණ්ඩලයේ පාෂාණීය ග්‍රහයන් Rocky Planets සිවුදෙනෙකි. බුද, සිකුරු, පෘථිවිය සහ අඟහරු යනු ඒවාය. මේ පාෂාණීය ග්‍රහයන් සියල්ල අතරින් අප පෘථිවිය මුළුමනින්ම වෙනස් එකකි. ඒ, පෘථිවියේ මතුපිට ද්‍රව ජලයෙන් පිරුණු මහා සාගර ඇති නිසාය. පෘථිවියේ ජීවය බිහිවූයේ ද මේ ද්‍රව ජලය නිසා බව අමුතුවෙන් කිවයුතු නැත. ඒත් පෘථිවියට මුලින්ම ජලය ලැබුණේ කෙසේද? පෘථිවියට ජලය ආවේ කෙසේද? මෙය විද්‍යාඥයන්ට ප්‍රහේලිකාවක් වී තිබුණි.
ජලය ආ හැටි
විද්‍යාඥයන් මේ වනතුරු සිතා සිටියේ පෘථිවි වායු ගෝලය පසාරු කරමින් පැමිණි, දැඩි තාපය නිසා උණුවුණු උල්කාශ්මවලින් Meteorites පෘථිවියේ ජලය නිර්මාණය වෙන්න ඇතැයි කියාය. ඒත් දැන්, ‘ජේම්ස් වෙබ්’ අභ්‍යවකාශ දුරේක්ෂයේ ආධාරයෙන්, නාසා විද්‍යාඥයන් පෘථිවියට ජලය ලැබුණේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් අලුත් අදහසක් ඉදිරිපත් කර තිබේ. විද්‍යාඥයන් මෙම අලුත් අදහස ඉදිරිපත් කර ඇත්තේ ‘ජේම්ස් වෙබ්’ අභ්‍යවකාශ දුරේක්ෂයේ ආධාරයෙන්, වල්ගා තරුවක් අධ්‍යයනය කිරීමෙන් පසුවය. මේ වල්ගා තරුව, අඟහරු සහ බෘහස්පති කක්ෂයන් අතරේ ඇති ප්‍රධාන ග්‍රහක වළල්ලට අයත් එකකි.
වල්ගා තරුව
තාරකා විද්‍යාඥයන් ජේම්ස් වෙබ් දුරේක්ෂය ආධාරයෙන් අධ්‍යයනය කළේ 238P/Read නමැති වල්ගා තරුවය. මෙම වල්ගා තරුව වටා වලාකුළක් මෙන් ජල වාෂ්ප දකින්න ලැබේ. වල්ගා තරුවක් වටා මේ අයුරින් ජල වාෂ්ප ඇති බව සොයා ගත් පළමු අවස්ථාව මෙයයි. විද්‍යාඥයන් වල්ගා තරුවේ ඇති මෙම ජල වාෂ්ප වලාකුළ නම් කර ඇත්තේ ‘කෝමා’Coma යනුවෙනි. ජල වාෂ්ප මෙසේ වලාකුළක් ලෙස දකින්න ලැබෙන්නේ, වල්ගාතරුව එහි කක්ෂය හරහා හිරු ආසන්නයෙන් යද්දී එහි ඇති අයිස් දියවීම හේතුවෙනි. 238P/Read වල්ගාතරුව ගැන අලුත් තොරතුරු ජේම්ස් වෙබ් දුරේක්ෂය ලබා දුන්නත්, 238P/Read වල්ගාතරුව විද්‍යාඥයන් මුලින්ම සොයා ගත්තේ 2005 ඔක්තෝබර් 24 වැනිදාය.
ග්‍රහක වළල්ල
අඟහරු සහ බෘහස්පති කක්ෂයන් අතරේ ඇති ප්‍රධාන ග්‍රහක වළල්ල යනු පෘථිවියට ආසන්නයෙන්ම ඇති ග්‍රහක වළල්ලය. ඒ අනුව, ඈත අතීතයේ, පෘථිවියට ආසන්නයෙන් ඇති වල්ගා තරුවකින් ජලය හමුවීමෙන් තහවුරු වන්නේ වල්ගා තරුවලින් පෘථිවියට ජලය ලැබෙන්න ඇති බවය. මේ බව ලොවට අනාවරණය කළේ නාසා ආයතනයේ විද්‍යාඥයන් සහ මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් එක් වෙමිනි.
අදහසක්
විද්‍යාඥයන් පැහැදිලි කරන ආකාරයට 238P/Read වල්ගා තරුව ඇතුළේ ‘අයිස් ජලය’ තිබිය යුතුය. හුමාලය මෙන් විහිදෙන්නේ මෙම අයිස් ජලයයි. ඒ එය වේගයෙන් අභ්‍යවකාශය හරහා ඇදී යද්දීය. “අපගේ පෘථිවිය ජලයෙන් පිරුණු ලෝකයක්. පෘථිවියෙන් සියයට 80 ක් ඇත්තේ යි. මහා සාගර. ජීවයේ ආරම්භයට, පැවැත්මට ජලය අවශ්‍යයි. ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය ප්‍රධාන සාධකයක් වන්නේ ජලයයි. විශ්වයේ අප දන්නා තරමින් ජීවය පවතින එකම සුවිශේෂී ග්‍රහලෝකය අප පෘථිවියයි. පෘථිවියේ ජලය සියල්ල ආවේ කෙසේදැයි අප දන්නේ නැහැ. ඒත්, පෘථිවියේ ජලයනිර්මාණය වූයේ කෙසේද යන්න අබිරහසක් වුණා. ඒත් දැන් අපට ඒ සම්බන්ධයෙන් කිසියම් හෝ හෝඩුවාවක් ලැබී තිබෙනවා” යැයි නාසා ගොඩාඩ් ගගන පියසැරි ඒකකයේ විද්‍යාඥවරියක වන ස්ටෙෆනී මිලාම් පවසන්නීය.
තරුවේ වල්ගය
වල්ගා තරු නිර්මාණය වී ඇත්තේ අයිස්, දූවිලි සහ පාෂාණ කොටස්වලිනි. වල්ගා තරු ඇස්ට්‍රොයිඩ හෙවත් ග්‍රහකවලින් වෙනස් වෙයි. ග්‍රහකවල ඇත්තේ ලෝහ සහ ලෝහමය අමුද්‍රව්‍යයන්ය. වල්ගා තරුවක් හිරුට ළං වෙද්දී එහි ඇති අයිස් සහ දූවිලි වාෂ්ප වීමට පටන් ගනී. වල්ගා තරුවේ වල්ගය ලෙස දකින්න ලැබෙන්නේ එසේ වාෂ්ප වී විහිදෙන අයිස් සහ දූවිල් අංශුය. අයිස් නොමැති බැවින් ග්‍රහකවලට වල්ගයක්නැත.
ජේම්ස් වෙබ්
අදවනවිට තාරකා විද්‍යාඥයන් විශ්වය ගැන හරි අපූරු දේවල් දැන ගන්නේ ‘ජේම්ස් වෙබ්’ අභ්‍යවකාශ දුරේක්ෂයට පිංසිදු වෙන්නැයි කීවොත් එය නිවැරදිය. පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන එකහමාරක් දුරින් රඳවා ඇති මෙම දුරේක්ෂය, පෘථිවිය වටා කක්ෂයක ගමන් කරන්නේ, තාරකාවලින් සහ මන්දාකිණිවලින් විහිදෙන ආලෝකය ‘ස්කෑන්’ (පරිලෝකනය)කරමිනි. නාසා ආයතනය, දුරේක්ෂය නිපදවීමේ කොන්ත්‍රාත්තුව ලබා දී තිබුණේ, ඇමෙරිකානු ‘නෝර්ත්රොප් ග්‍රමන්’ සමාගමටය. ‘නෝර්ත්රොප් ග්‍රමන්’ යනු අභ්‍යවකාශ සහ ආරක්ෂක කටයුතුවලට සම්බන්ධ තාක්ෂණ සමාගමකි. වසර 24 ක් තිස්සේ නොයෙක් බාධා මැද අවසානයේ දුරේක්ෂය නිර්මාණය කර අවසන් වෙද්දී ඒ සඳහා වැයවුණු මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 10 ක් බව පැවැසෙයි. ‘නාසා’, ‘එසා’ සහ ‘සිසා’ අභ්‍යවකාශ ඒජන්සිවලට අයත් රටවල් 24 ක විද්‍යාඥයන් සහ ඉන්ජිනේරුවෝ දහස් ගණනක් දුරේක්ෂය නිර්මාණය කිරීමට දායක වූහ.
කාල යන්ත්‍රයක්
මේ වෙබ් දුරේක්ෂය කාලතරණය කළ හැකි කාල යන්ත්‍රයක්ද? එක්තරා විදිහකට මෙම ජේම්ස් වෙබ් දුරේක්ෂය කාල යන්ත්‍රයක් වැනිය. දුරේක්ෂයට තාරකාවලින් සහ මන්දාකිණිවලින් විහිදෙන ආලෝකය, ආලෝක වර්ෂ බිලියන 13.7 ක් ආපස්සට නිරීක්ෂණය කිරීමේ හැකියාව ද ඇත. එසේ කළ හැකි වන්නේ මෙය රඳවා ඇත්තේ පෘථිවියේ සිට බොහෝ ඈත අභ්‍යවකාශයේ නිසාය. ජේම්ස් වෙබ් දුරේක්ෂයට, රත්තරන් අලේපකොට නිර්මාණය කළ දර්පන (කැඩපත්) සවි කර තිබේ. මේ දර්පන රැසක් සහ ප්‍රධාන දර්පනයක් ඊට අයත් වෙයි. ප්‍රධාන දර්පනයේ පළල අඩි 21 කි. ජේම්ස් වෙබ් දුරේක්ෂය විශ්වයේ රැඳවීම විශ්වය ගවේෂණයේ සන්ධිස්ථානයකි. ඉදිරි දශකය පුරා, මෙතෙක් සොයා නොගත්,විශ්වයේ තව තවත් රහස් රැසක් අනාවරණය කර ගැනීමට මේ වෙබ් දුරේක්ෂයේ සහය ලැබේවි යැයි නාසා විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.
කැමරාව
ජේම්ස් වෙබ් දුරේක්ෂයෙහි අධෝරක්ත වර්ණාවලී කැමරාවක් ඇත. මෙය කෙටියෙන් හැඳින්වෙන්නේ NIRSpec (Near Infarred Spectrograph) යනුවෙනි. එකවර ආකාශ වස්තූන් 100 ක වර්ණාවලී ස්කෑන් කර බැලීමට මෙම කැමරාවට හැකියාව ඇත. 238P/Read වල්ගා තරුවෙන් විහිදෙන ජල වාෂ්ප නිරීක්ෂණය කිරීමට සමත් වූයේ මෙම කැමරාවය. ප්‍රධාන ග්‍රහක වළල්ලට අයත් 238P/Read වල්ගා තරුවේ ‘කෝමා’Coma වට අයත් වන්නේ ජල අංශු පමණක් බවත් කාබන් ඩයොක්සයිඩ් වායුව එහි අන්තර්ගත නොවන බවත් නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති. සාමාන්‍යයෙන් වල්ගා තරුවල කාබන් ඩයොක්සයිඩ් වායුව දකින්නට ලැබේ. ඒ අනුව, 238P/Read වල්ගා තරුව අනෙක් වල්ගා තරුවලින් වෙනස් සුවිශේෂ එකක් බව ද නාසා විද්‍යාඥයෝ කියති.
ක්ෂුද්‍ර ග්‍රහයෝ
අඟහරු සහ බෘහස්පති අතරේ පිහිටි ග්‍රහක වළල්ලේ බහුලව දකින්න ලැබෙන ලොකු කුඩා විවිධ හැඩයන්ගෙන් යුත් පාෂාණ කැබලි රැසක් ඇත. වල්ගාතරු මෙන්ම මේවා ද හිරු වටා යයි. ක්ෂුද්‍ර ග්‍රහයන් ලෙස හැඳින්වෙන්නේ මේ නිසාය. ප්‍රමාණයෙන් විශාල මේවා හැඳින්වෙන්නේ ‘ඇස්ට්‍රොයිඩ’ එසේත් නැතිනම් ග්‍රහක ලෙසිනි. (සිංහල භාෂාවට අනුව ග්‍රාහක යනු ග්‍රහණය කර ගැනීමයි. එහෙයින් ඇස්ට්‍රොයිඩ් යන වදනට සිංහල අරුත ‘ග්‍රාහක’ නොව, ‘ග්‍රහ’ක විය යුතුය) අප සෞරග්‍රහ මණ්ඩලය ආරම්භයේ සිදුවුණු හැල හැප්පීම්වලින් ඉතිරි වුණු පාෂාණ කැබැලි එක්ව මේ ග්‍රහක වළල්ල සෑදුණේය යන්න තාරකා විද්‍යාඥයන්ගේ අදහසය.
ධූම කේතු
ධූම කේතු හෙවත් වල්ගාතරු ද සෞරග්‍රහ මණ්ඩලයේ සාමාජිකයෙකි. වල්ගා තරුවක් හිරු වටා යන්නේඉතා දිගට ඇදුණු ඉලිප්සීය කක්ෂයකය. තුනී වායු වලාවකින් සමන්විත වල්ගා තරු ඉතාමත් කුඩා දූවිලි අංශවලින් නිර්මාණය වී තිබේ. විශාල වල්ගා තරුවකට හිසක්, න්‍යෂ්ටියක්, පිටතට විහිදෙන දිගු වල්ගයක් ඇත. මෙම වල්ගය දීප්තිමත්ය. වල්ගා නැති කුඩා වල්ගා තරු ද ඇත. වල්ගා තරුවක් අපට පෙනෙන්නේ එහි හිස හිරු දෙසට යොමු වී ඇති විට පමණි. හිරු එළිය නිසා එහි වල්ගය ඈතට විහිදී ඇති බව අපට පෙනෙයි. වල්ගා තරුවකට, සාමාන්‍ය තරුවකට මෙන් තමා තුළින් නිපදවෙන දිප්තියක් නැත. ඒ නිසාවල්ගා තරුවක් දිළෙන්නේ සැමවිටම හිරුගේ ආලෝකපරාවර්තනය කිරීමෙනි.
උල්කාශ්ම
පෘථිවි වායුගෝලයට ඇතුළු වෙද්දී දහනයට ලක්වෙමින්ආලෝකයක් නිකුත් කරන කුඩා පාෂාණ කැබලි උල්කා Meteor ලෙස හැඳින්වෙයි. වායු ගෝලයට ඇතුළු වෙද්දී සම්පූර්ණයෙන් ම දහනය නොවී, ශේෂයන් ලෙස පහළට ඇදී එන ඒවා උල්කාපාත Meteoroid නම් වෙයි. පෘථිවි වායුගෝලය පසාරු කරමින් පැමිණ, දහනයෙන් පසුකැබලි වශයෙන් පොළොවට පතිත වන ඒවා උල්කාශ්ම Meteoroids ලෙස හැඳින්වෙයි. උල්කා, උල්කාපාත සහ උල්කාශ්ම සාමාන්‍යයෙන් ග්‍රහක සහ වල්ගා තරුවල කැබලිය.
෴ ලුසිත ජයමාන්න