ඇමෙරිකාවේ ඇත් සොහොන - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 18, 2023

ඇමෙරිකාවේ ඇත් සොහොන

ලෝකයේ සෑම සත්ව උද්‍යානයකම පාහේ අලි ඇතුන් දකින්න ලැබුණත්, වන අලි ඇතුන් දකින්න ලැබෙන්නේ රටවල් කීපයක පමණි. අලි ඇතුන් වර්ග දෙකකි. ලොකු කන් සහ ලොකු සිරුරක් ඇත්තේ අප්‍රිකානු අලි ඇතුන්ටය. අප්‍රිකානු අලි ඇතුන් ජීවත් වන්නේ අප්‍රිකා මහද්වීපයට අයත් රටවල වනාන්තරවලය. ආසියානු අලි ඇතුන් ජීවත් වන්නේ ආසියානු රටවලය. සෙසු මහද්වීපවලට අයත් රටවල වනාන්තවල අලි ඇතුන් නැත. ඇමෙරිකාවේ ද සත්වෝද්‍යානවල හැර අලි ඇතුන් නැත. එහෙත්, පසුගියදා ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ, ගේන්ස්විල් අසල, මොන්ට්බෲක් පළාතේ සිදු කළ කැණීමකදී පුරා විද්‍යාඥයන් කණ්ඩායමකට යෝධ සතුන්ගේ පොසිල අස්ථි හමුවිය. වසර දස දහස් ගණනකට පෙර ඈත අතීතයේ මෙම ස්ථානයේ ගංගාවක් තිබුණි. සිදු කළ කැණීම්වලදී හමුවුණු අස්ථි කොටස් බොහොමයකි. ඒවා එකම සතකුගේ බව අනාවරණය විය. ඩයිනසෝරයන්ගේ යැයි මුලින් සිතුවත්, අස්ථිවල ස්වභාවයත්, කාල නිර්ණයත් අනුව පැහැදිලි වූයේ එම අස්ථි අලි ඇතුන්ගේ බවය. පුරා විද්‍යාඥයන්ට හමුවී තිබුණේ ඇත් සොහොනකි. ඒ අනුව, ඇමෙරිකාවෙන් ඇත් සොහොනක් ගැන වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි. 

ආදීතමයෝ
පුරා විද්‍යාඥයන්ට කැණීම් කරද්දී හමුවී තිබුණේ අද අපට දකින අලි ඇතුන්ගේ අස්ථි නම් නොවෙයි. අද අපට දකින්න ලැබෙන අලි ඇතුන්ගේ ආදිතම ඥාතියකු යැයි සත්ව විද්‍යාඥයන් විසින් හ‍දුනාගනු ලැබ ඇති ‘ගොම්ෆොතෙරස්’ නමැති දැවැන්තයන්ගේ අස්ථිය. ‘ගොම්ෆොතෙරස්’ ජීවත් වූයේ මීට වසර මිලියන 5.5 කට පමණ පෙර, මයෝසීන යුගයේය. වසර දස දහස් ගණනක් අතීතයේ ජිවත් වුණු මැමතුන් පෙනුමින් අලි ඇතුන්ට සමානය. මැමත් පොසිල ගණනාවක් අද වන විට සයිබීරියාවෙන් හමුවී තිබේ. පස් තට්ටු යට අයිස් අතරේ මිදුණු මේ මැමත් සිරුරු බොහොමයක් හොඳ තත්ත්වයේ පවතී. විද්‍යාඥයන් පැහැදිලි කරන ආකාරයට, අලි ඇතුන්ට වඩාත් සමීප ඥාතියා මැමතා නොව, ‘ගොම්ෆොතෙරස්’ ය. 

ගොම්ෆොතෙරස්
කැණීම් කරමින් අස්ථි සොයා ගත් පුරා විද්‍යාඥ කණ්ඩායමට නායකත්වය දුන් ෆ්ලොරිඩා ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ මහාචාර්ය ජොනතන් බ්ලොච් හමුවුණු සොයා ගැනීම ගැන මෙසේ කියයි. “අපට මීට පෙර මෙම කැණීම් භූමියෙන් ‘ගොම්ෆොතෙරස්’ පොසිල අස්ථි හමුවී තිබෙනවා. ඒත් තනි තනිව. ඒත් එක තැනකදී ගොම්ෆොතෙරස් සතුන් බොහොමකගේ පොසිල අස්ථි හමුවීම සුවිශේෂයි. නූතන අලි ඇතුන්ගේ ඇත් සොහොන් ගැන අපට අසන්න දකින්න ලැබී තිබෙනවා. ඒ හා සමානව අතීතයේ, මයෝසීන යුගයේ ගොම්ෆොතෙරස් සත්වයන්ගේ ද ඇත් සොහොනක් තිබෙන්න ඇත. අපට හමුවුණේ එයයි.” 

ආයු කාලය
අලි ඇතුන්ගේ සාමාන්‍ය ආයු කාලය මනුෂ්‍යයකුගේ ආයු කාලයට සමානය. හීලා අලි ඇතුන් සාමාන්‍යයෙන් අවුරුදු 65-75 අතර කාලයක් මෙන්ම, වනාන්තරයේ සිටින අලි ඇත්තු අවුරුදු 70-80 අතර කාලයක් ජීවත් වන බව පර්යේෂණ මගින් තහවුරු වී තිබේ. අලි ඇතුන්ගේ වයස නිර්ණය කරන්නේ දත්වල වර්ධනය අනුවය. ඇතකුගේ නම් සැලකිල්ලට ගැනෙන්නේ දළ දෙකේ වර්ධනය සහ පරිධියයි. ආසියානු අලින්ගේ වයස නිර්ණය කිරීමට වයස සමඟ සිරුරේ ඇතිවන ගෝමර උදවු වෙයි. කබර මෙන් දකින්න ලැබෙන්නේ මේවාය. වයසට යද්දී අලි ඇතුන්ගේ මුහුණ ගිලා බැහැපු ස්වභාවයක් පෙන්වයි. කන් පෙතිවල පෘෂ්ටිමත් භාවය නැතිවෙයි. ඇස්වල දීප්තිය අඩුවෙයි. ඇතුන්ගේ දළය තුළ ඇති ගජමුතු ගැලවී සෙලවීමට පටන් ගන්නා බැවින්, එම ගජමුතු පෙරළෙන හඬ ඇසෙයි. වයසට ගිය පසු අලි ඇත්තු රළු ආහාර වලින් ඉවත් වෙති. 
මොන්ට්බෲක් පළාතේ කැණීම්

ඇත් සොහොන‍
ඇත් සොහොනක් යනු අලි ඇතුන් වයසට ගොස් මියයෑමට ළං වූ විට උන් පැමිණෙන ස්ථානයක් යැයි ප්‍රවාදයක් තිබේ. ආසියාවේ මෙන්ම අප්‍රිකාවේ ද අලි ඇතුන්ගේ ඇත් සොහොන් ගැන වාර්තා වී තිබේ. එක්දහස් එක් රැය අරාබි නිසොල්ලාසයේ සින්බෑඩ් නම් නැවියාට ද ඇත් සොහොනක් හමුවෙයි. එය සාහිත්‍යයේ ඇත් සොහොනක් ගැන කියවෙන එක් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ආසියානු සහ අප්‍රිකානු අලි ඇතුන් දෙවර්ගයේ ම ඇත් සොහොන් හමුවී ඇත්තේ වතුර වැඩිපුර ඇති උස තෘණ වර්ගවලින් පිරුණු ස්ථානයකය. වයෝවෘද්ධ වී දුර්වල වෙද්දී, අලි ඇත්තු තෘණ වර්ග ආහාරයට ගැනීමට වැඩියෙන් යොමු වෙති. එවැනි උස තෘණ ඇති ස්ථානයක් ඔවුන්ගේ අවසන් සුසුම් හෙළන ස්ථානය ලෙස තෝරා ගැනෙයි. ඇත් සොහොන නිර්මාණය වන්නේ ඒ අනුවය. 

බොරුවක්ද?
කෙසේ නමුත්, අලි ඇතුන් ගැන ලෝ පතල විශේෂඥයකු වූ ඩෙස්මන්ඩ් මොරිස් කියන්නේ එය ප්‍රවාදයක් පමණක් බවය. ඩෙස්මන්ඩ් මොරිස් ට අනුව අලි ඇත්තු වයස් ගත වූ විට කෙළින් ම සිටි ඉරියව්වෙන් ම මැරී වැටෙති. ඔවුහු කිසි විටෙකත් සොහොනක් සොයා නොයති. ලොව පුරා ඇත් සොහොන් පරීක්ෂා කර ඇති ඩෙස්මන්ඩ් මොරිස් පැහැදිලි කර ඇත්තේ එම ස්ථානවලින් හමුවුණු එම අස්ථි අතර විවිධ වයස්වල අලි ඇතුන්ගේ අස්ථි ඇති බවය. ඒ අනුව, ඔහුගේ නිගමනය දළ ලබා ගැනීමට මිනිසා කළ සංහාරවල ප්‍රතිඵල නිසා ඇති වූ ඒවා බවය. 

අපේ ඇත් සොහොන
කෙසේ හෝ වේවා ඇත් සොහොන හා සම්බන්ධ වන්නේ වනාන්තරවල ජීවත්වන අලි ඇතුන්ය. සමනල කන්දේ ධර්මරාජ ගල කිට්ටුවෙන් මහ වනාන්තරය ඇතුළට යද්දී ඇත් සොහොනක් තිබුණු බවට වාර්තා පළ වී ඇත. අලි ඇතුන්ට නම්, ඇත් සොහොන යනු පූජනීය ස්ථානයක් යැයි විශ්වාස කෙරේ. මරණ මංචකයේ සිටින ඇතැම් අලි ඇතුන් සිටගෙන සිටිනවා නම්, රංචුවේ සෙසු අලි ඇත්තු පැමිණ, හේත්තු වී, ඒ සතා වට කර ගන්නේ වැටෙන්න නොදී ආධාරකයක් වෙමිනි. ඔවුන් එම අලියාගෙන් හෝ ඇතාගෙන් ඉවත් වන්නේ අවසන් සුසුම් හෙළීමෙන් පසුවය. මියගිය පසු අලි ඇතුන්ගේ සිරුරු ආහාරයට ගන්නේ කසළ භක්ෂකයන් ය. ඉතිරිවන මස් ද දියවී යයි. මියගිය සතාගේ දල තියෙනව නම්, ඒවා එක්කෝ පුපුරා කැඩී බිඳී යයි. 

මියයෑමට හේතුව
අලි ඇත්තු මියයෑමට හේතුවන කාරණා බොහොමය. ආහාර නොදිරවීම එයින් එකකි. කොතරම් සෞඛ්‍ය සම්පන්නව හිටියත්, දත් ගැලවී ගොස් ආහාර අනුභවය අපහසු වුවහොත්, තෘණ වර්ග කොළ වර්ග ආදිය හපා කෑම අසීරු වෙයි. ආහාර නිසි ලෙස නොලැබීමෙන් මන්දපෝෂණයට ලක් වෙයි. අලි ඇතුන් ද රෝගී වෙයි. හෘද සනාල රෝග ඒ අතකරින් කැපී පෙනෙයි. කොලෙස්ටෙරෝල් තැන්පත් වී හෘදයේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙයි. ආතරයිටිස්, ක්ෂය රෝගය, ජලභීතිකාව, පිටගැස්ම, නිව්මෝනියාව, ආමාශ ප්‍රදාහය, මුඛය සහ පාද ඉදිමීම ආදී රෝග අලි ඇතුන්ට පොදුය. අපට පැපොල (චිකන් පොක්ස්) ආසාදනය වන ආකාරයට, අලි ඇතුන්ට එලිෆන්ට් පොක්ස් ආසාදනය වෙයි. ආහාර මාර්ගයේ පනුවන් බෝ වෙයි. උන් ලේ උරා බොයි. එවැනි තත්ත්වයක් මාරක විය හැකිය. පසුගිය ‘කොවිඩ් 19’ සමයේ සත්වෝද්‍යානවල අලි ඇතුන් කොරෝනා ආසාදිතයන් වූ බව ද වාර්තා විය. ගැහැනු සතුන් වෙනුවෙන් පිරිමි අලි ඇතුන් සටන් කරද්දී, තුවාල ලැබීමෙන් ද ජීවිත අහිමි වන අවස්ථා ද ඇත. අලියකු හෝ ඇතකු කැලයේ සිටිද්දී, දිනකට කිලෝ මීටර් 30 හෝ 40 අතර දුරක් ඇවිදියි. හීලෑ අලි ඇතුන්ට වඩා වන අලි ඇතුන් හෘද සනාල රෝගවලට ගොදුරු වීම අඩු යැයි සත්ව විද්‍යාඥයෝ පැහැදිලි කරති.

෴ ලුසිත ජයමාන්න 
Live Science ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom