අභ්‍යවකාශයට ගිය අම්මයි දුවයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 20, 2023

අභ්‍යවකාශයට ගිය අම්මයි දුවයි

බ්‍රිතාන්‍ය බිලියනපති රිචඩ් බ්‍රැන්සන්ගේ ‘වර්ජින් ගැලෙක්ටික්’ Virgin Galactic සමාගමේ පළමු වාණිජ ගගන සංචාරය පසුගියදා  සාර්ථකව නිමාවට පත් විය. ‘වර්ජින් ගැලෙක්ටික්’ සමාගම, ගගන සංචාර ආරම්භ කර ඇත්තේ අතමිටසරු සංචාරකයන් පෘථිවි කක්ෂයට ගෙන ගොස්, ආපසු පෘථිවියට රැගෙන ඒමටය.

මෙය සිදුවන්නේ ‘වර්ජින් ගැලෙක්ටික්’ සමාගමේ යූ.එස්.එස්. යුනිටි VSS Unity නමැති විශේෂ ගුවන් යානය යොදා ගනිමිනි. පසුගිය දා සිදුවුණු ගගන සංචාරය සුවිශේෂී එකක් විය. එය පුවත් මැවීමට ද සමත් විය. එම සංචාරයට සංචාරකයන් තිදෙනෙක් සහභාගී වූහ. ඔවුන්ගෙන් දෙදෙනකු මවක සහ දියණියකි. ඒ අනුව, මවක සහ දියණියක අභ්‍යවකාශයට ගිය පළමු අවස්ථාව මෙයයි.

මේ මව සහ දියණිය ඇන්ටිගුවා ජාතිකයන්ය. ඇන්ටිගුවා යනු බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වී නිදහස ලබා අද පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් කැරිබියානු දූපත් රාජ්‍යයකි. අභ්‍යවකාශයට ගිය පළමු ඇන්ටිගුවා ජාතිකයන් දෙදෙනා වන්නේ ද මෙම මව සහ දියණියයි. මවගේ නම කීෂා ෂාහෝෆ්ය. ඇගේ වයස අවුරුදු 46 කි. කීෂා, පෝෂණවේදිනියකි. ශරීර සුවතා පිළිබඳ උපදේශකවරියකි. 

18 හැවිරිදි දියණිය ඇනෙස්ටාෂියා මේයර්ස්ය. ඇය තවමත් පාසල් අධ්‍යාපනය ලබන්නීය. කීෂා සහ ඇනෙස්ටාෂියා දෙදෙනාට යූ.එස්.එස්. යුනිටි ගුවන් යානයේ ගමන් කිරීමට අවස්ථාව උදා වූයේ දිනුම් ඇදීමකින් ජයග්‍රහණය කළ බැවිනි. ‘ස්පේස් ෆෝ හියුමෑනිටි’ නමැති සමාගම අරමුදල් රැස් කිරීමට මෙම දිනුම් ඇදීම කර තිබේ. දිනුම් ඇදීමෙන් ජයග්‍රහණය කළේ  කීෂා ෂාහෝෆ් ය. ඇයට තවත් එක් අයකු රැගෙන යෑමට අවස්ථාව ලැබුණි. ඒ අනුව, කීෂා සිය දියණිය තෝරා ගත්තාය. මව සහ දියණිය අභ්‍යවකාශයට ගොස් ආපසු ආවේ ඉන්පසුවය. කීෂා සහ ඇනෙස්ටාෂියා ට අමතරව,

මෙම ගමනට සහභාගී වූ අනෙක් තැනැත්තා, 80 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ඔලිම්පික් ‘කැනූ’ ඔරු පැදීමේ ශූරයෙකි. ජොන් ගුඩ්වින් නමැති ඔහු පාකින්සන් රෝගියකු බව ද පැවැසෙයි. ජෝන් ගුඩ්වින්, මෙම ගමනට එක් වූයේ ඔහුගේ අසුන වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් 250,000 ක මුදලක් ගෙවමිනි. ජෝන් ගුඩ්වින්, මෙම අභ්‍යවකාශ සංචාරය සඳහා ටිකට්පත මිලදී ගෙන ඇත්තේ අද ඊයේ නොවෙයි, 2005 දීය. අද වනවිට ආසනයක් වෙනුවෙන් මිල 450,000 පසු කර ඇතැයි ‘වර්ජින් ගැලෙක්ටික්’ සමාගම පැහැදිලි කර තිබේ.
වී.එස්.එස්. යුනිටි VSS Unity යානය, පෘථිවි කක්ෂයට යෑමට තල්ලුව දෙන්නේ, ‘වර්ජින් ගැලෙක්ටික්’ වී.එම්.එස්. ඊව් VMS Eve මවු යානයයි. සංචාරකයන් සහ නියමුවා යුනිටි යානයේ අසුන් ගන්නා අතර, ඊව් මවු යානය, යුනිටි යානය සමඟ ගුවන්ගත වී අඩි 40,000 ක් ඉහළට යයි. 

අඩි 40,000 ක් ඉහළ දී යුනිටි යානය, මවු යානයෙන් වෙන් වී, එහි ඇති රොකට් ඇන්ජිම පණ ගන්වා පෘථිවි කක්ෂයට එසේත් නැතිනම් අභ්‍යවකාශය අද්දරට යයි. ශුන්‍ය ගුරුත්වයේ රැඳී සිටීමෙන් පසු ආපසු එයි. පැය කීපයක අභ්‍යවකාශ වික්‍රමය නිමා වෙන්නේ ඉන්පසුවය. යුනිටි යානය රැගත්, ඊව් මවු යානය, පිටත්ව ගියේ ඇමෙරිකාවේ මෙක්සිකෝ ජනපදයේ ඉදි කර ඇති ‘වර්ජින් ගැලෙක්ටික්’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. යුනිටි යානය ආපසු ගුවන් යානයක් ආකාරයට ගොඩබෑවේ ද මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානයටය.

෴ ලුසිත ජයමාන්න
උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom