ප්‍රාග්යාන් මෙහෙයුම අවසන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Sep 3, 2023

ප්‍රාග්යාන් මෙහෙයුම අවසන්

‘චන්ද්‍රයාන් 3‘ මෙහෙයුමට යටතේ සඳුගේ දක්ෂිණ ධ්‍රැවයට පතිත කළ රෝබෝ යානා දෙකෙන් එකක් වන ‘ප්‍රාග්යාන්‘ රෝවර් යානය, ඊට පැවැරුණු මෙහෙයුම් සියල්ල සාර්ථකව සම්පූර්ණ කළ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතන පවසයි. ඒ අනුව, ‘ප්‍රාග්යාන්‘ රෝවර් යානයේ මෙහෙයුම් අවසන් බවත්, රෝවර් යානය අක්‍රිය කර දමන බවත් ඉන්දීය විද්‍යාඥයන් පැහැදිලි කර තිබේ. 

 රෝවර් යානයක් යනු රෝදවලින් සමන්විත එහෙ මෙහෙ යමින් ගවේෂණ කටයුතු කරන යානාය. ‘ප්‍රාග්යාන්‘ රෝවර් යානයට බලය සැපයීම සිදුවූයේ එහි සූර්ය පැනල ආධාරයෙනි. අක්‍රිය කර දැමුණත් රෝවරයේ බැටරි තවමත් හොඳින් ආරෝපණය වී ඇතැයි ද ඉන්දීය විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති. 

‘චන්ද්‍රයාන් 3‘ මෙහෙයුම යටතේ යානා සඳුගේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩබෑ ඉන්දීය යානා වන්නේ ‘වික්‍රම්‘ සහ ‘ප්‍රාග්යාන්’ ය. සඳුගේ දක්ෂිණ ධ්‍රැවයට රොබෝ යානා පතිත කළ පළමු රට ලෙස සැලකෙන්නේ ද ඉන්දියාවය. ‘ප්‍රාග්යාන්’ සඳ මත එහෙමෙහෙ යමින් වැදගත් විද්‍යාත්මක පර්යේෂණ රැසක් සිදු කළේය.

සඳේ දක්ෂිණ ධ්‍රැවයේ පස් පරීක්ෂා කළේය. එම පස්වල සල්ෆර් (ගෙන්දගම්) සහ තවත් මූලද්‍රව්‍ය කීපයක් ඇති බව තහවුරු කර ගත්තේය. සඳේ පස්වල සල්ෆර් තිබීමෙන් අදහස් වන්නේ ද්‍රව අයිස් ඇති බව යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති. සඳ මතුපිට ජල අංශු ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ. 

එම සොයා ගැනීම කළේ 2008 වසරේ ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 1’ මෙහෙයුම යටතේය. එදා නාසා ආයතනය පවා පුදුම කිරීමට ඉන්දීය විද්‍යාඥයන් සමත් විය.

෴ ලුසිත ජයමාන්න
උපුටා ගැනීම - NDTV

Classified_Ad