![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnG2d6cmvbTcTkfLosfcmyUJZlznKsTKmbShoCn3ZCJrUYPR1QyOdY5AmX6Ec_c9WnXNza95YAEkdcR2QKUCdecHrzF_X63UITRvDThRiov_wtsEZoJjACYocgIXo97xHlWWQE52dl_YUDbiTVBF7ogHn7uMBzpV0dy3Q4YyD79sW3wtNRQzJVf-6YzvTa/s16000/Adithya_L1-01.jpg)
‘චන්ද්‍රයාන් 3’ මෙහයෙුමේ සාර්ථකත්වයෙන් පසු, ඉන්දිය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් හිරු ගවේෂණයට රොපෝ යානයක් පිටත් කර හැරියේය. රොබෝ යානය ‘ආධිත්‍යා එල් 1’ ලෙස නම් කර තිබේ.
‘ආධිත්‍යා එල් 1’ යානය, සැප්තැම්බර් 2 වැනිදා උදෑසන 11.50 ට, පෘථිවි කක්ෂය බලා ගියේ, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ ‘පී.එස්.එල්.වී.’ රොකට්ටුවේ ආධාරයෙනි.
රොකට්ටුව උඩු ගුවන බලා පිටත්ව ගියේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ, ශ්‍රීහරිකොත, ‘සතිෂ් ධවාන්’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. ‘ආධිත්‍යා එල් 1’ රොබෝ යානය රැගත් ‘පී.එස්.එල්.වී.’ රොකට්ටුව, උඩු ගුවන බලා යද්දී, නියමිත පරිදි, අදියරෙන් අදියර එහි කොටස් වෙන් විය. වෙන් වුණු කොටස් මුහුදට පතිත විය.
අවසානයේ පෘථිවි කක්ෂයට ගියේ, ‘ආධිත්‍යා එල් 1’ රොබෝ යානය රැගත් රොකට්ටුවේ ඉහළ කොටසය. ‘ආධිත්‍යා එල් 1’ රොබෝ යානය, එයින් මිදී පෘථිවියේ පහළ කක්ෂයකට පිවිසුණේය. පෘථිවියේ පහළ කක්ෂයට පිවිසුණු යානය, පෘථිවිය වටා යමින් අවශ්‍ය ප්‍රවේගය ලබාගෙන, ඉන්පසු පෘථිවිය සහ හිරු අතර ඇති, තාරකා විද්‍යාඥයන් විසින් ‘ලග්‍රාන්ජ් පොයිට් එල් 1’ (ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය) යනුවෙන් හැඳින්වෙන ස්ථානය බලා යනු ඇත.
මෙම ස්ථානය ඇත්තේ, පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5 ක දුරකිනි. යානයට එහි යෑමට ගතවන කාලය දින 125 කි. යානය හිරු ගවේෂණය සිදු කරනු ඇත්තේ මෙම ‘ලග්‍රාන්ජ් පොයිට් එල් 1’ ස්ථානයේ රැඳෙමිනි.
ඉන්දියාව හිරු ගවේෂණයට යානයක් යවන පළමු අවස්ථාව මෙයයි.
මීට පෙර ඉන්දියාව, අඟහරු ග්‍රහයා ගවේෂණයට යානයක් යවා ඇත. එම යානය අඟහරු කක්ෂයට පිවිසියේ 2014 වසරේදීය. එම යානය හැඳින්වෙන්නේ ‘මංගල්‍යාන්’ යනුවෙනි.
‘ලග්‍රාන්ජ් පොයින්ට්’ යනුවෙන් තාරකා විද්‍යාඥයන් හඳුන්වන්නේ, හිරු සහ පෘථිවිය යන ග්‍රහ වස්තූන් දෙකේ ගුරුත්වාකර්ෂණයන්ගේ බලපෑමෙන්, ආකර්ෂණයත් විකර්ෂණයත් දෙකම එක විට ඇති අභ්‍යවකාශයේ ඇති ස්ථානයකි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF5rt9FKj_wVanK1B2xfxiQ-0oP-vs11pG5u8kzF3g3mPurHmPzZILdH0sJqnpv9A63x2hX-yVXJmyu9jUTuKam6u0B16UCiPOpNPa1jEwR31M9hY1SyMGoS9X_PBIsdRqypOa5NF_7dUoUhGigc8xXRH5P5D1r761Vx2T0lL0Clj7D9HKFeY-eIvS1dhT/s16000/Adithya_L1-02.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGXR420nfU1n6BOmshN8mRh6MeKaIz83BLnQuekdxHMXy0PXgSGTFyIEDx3qfxfWP_M7wPhwFr9EDbcQf6iqTqmJSUEqcFB1nejetCgrZYgYQJUnpwsyq3TpcfveOVmd-SX4qWMCNxHsnJLsk7kMdE64Fsb8Qlndk_CEQ6Y2CeO3Z_PY5S_o8Rh0BMyAvP/s16000/Adithya_L1-03.jpg)
ඒ අනුව, මෙවැනි ‘ලග්‍රාන්ජ් පොයින්ට්’ ස්ථානයේ අභ්‍යවකාශ යානයක් ආයාසයකින් තොරව අභ්‍යවකාශ යානයක් රැඳවීම කළ හැකිය. ‘එල්1’, ‘එල්2’ සහ ‘එල්3’ ආදී වශයෙන්, ‘ලග්‍රාන්ජ් පොයින්ට්’ ස්ථාන 3 ක් විද්‍යාඥයන් විසින් හඳුනාගනු ලැබ තිබේ.
ඉන්දියාවේ ‘ආධිත්‍යා එල් 1’ යානය, ගුරුත්ව බලයට හසුවී, හිරු දෙසට හෝ පෘථිවිය දෙසට හෝ ඇදී යෑමක් නොමැතිව, කක්ෂයෙහි වෙනස් වීමක් සිදු නොකර, ‘ලග්‍රාන්ජ් පොයින්ට් 1’ ස්ථානයේ රැඳවෙයි.
ඇමෙරිකාවේ නාසා ආයතනය, ඔවුන්ගේ අති ප්‍රබල ‘ජේම්ස් වෙබ්’ අභ්‍යවකාශ දුරේක්ෂ රඳවා ඇත්තේ ද මෙම ‘ලග්‍රාන්ජ් පොයින්ට් 1’ ස්ථානයේය. ‘ලග්‍රාන්ජ් පොයින්ට්’ එම නමින් නම් කර ඇත්තේ ඒවා සොයා ගත් ජෝසප් ලුවී ලග්‍රාන්ජ් නම් කීර්තිමත් ඉතාලි-ප්‍රංශ ගණිතඥයා සිහිගන්වමිනි.
‘ලග්‍රාන්ජ් පොයින්ට් 1’ ස්ථානයේ රැඳවෙන ‘ආධිත්‍යා එල් 1’ රොබෝ යානය, හිරුගේ රැස් වළල්ල, (හිරුගේ බාහිර වායුමය වැස්ම. ඉංග්‍රීසියෙන් කොරෝනා යනුවෙන් හැඳින්වෙන්නේ මෙයයි.) සූර්ය සුළං ආදිය ගවේෂණය කිරීම සිදු කරනු ඇත. එමෙන්ම, ඒවායින් පෘථිවියට එල්ල වන බලපෑම් අධ්‍යයනය කරනු ඇත.
ඉන්දීය විද්‍යාඥයන් පවසා ඇත්තේ, වෙන ‘ආධිත්‍යා එල් 1’ රොබෝ යානය, නියමිතව ස්ථානගත වීමෙන් පසු දිනකට හිරුගේ ඡායාරූප 1,440 ක් පමණ පෘථිවියට එවීමට කටයුතු කරනු ඇති බවය. ඉන්දීය විද්‍යාඥයන්, ‘ආධිත්‍යා එල් 1’ රොබෝ යානය, නිපදවීම ආරම්භ කර ඇත්තේ 2008 වසරේදීය. ඒ සඳහා වැයවුණු මුදල ඉන්දීය රුපියල් කෝටි 300 කි.
෴ ලුසිත ජයමාන්න