
ඇමෙරිකාව-ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුදමය ගැටුම මැදපෙරදිග කලාපයෙන් ඔබ්බට ගොස්, ඉන්දීය සාගරය දක්වා වර්ධනය වූයේ, පසුගිය දා ඉන්දීය සාගරයේ, දියේගෝ ගාසියා දූපතේ පිහිටි ඇමෙරිකා සහ බ්‍රිතාන්‍ය හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කිරීමත් සමගය. ඇමෙරිකා හමුදාව මෙතෙක් පවසා තිබුණේ ඉරානයට ඇත්තේ කිලෝ මීටර් 2,000 ක දුරක් විදිය හැකි මිසයිල පමණක් කියාය.
දියේගෝ ගාසියා දූපත පිහිටා ඇත්තේ ඉරානයේ සිට කිලෝමීටර් 4,000ක් දුරින් ඉන්දීය සාගරයේය. ඉරානය එම දූපතේ ඇමෙරිකන් සහ බ්‍රිතාන්‍ය කඳවුර ඉලක්ක කර ගනිමින් එල්ල කළ බැලැස්ටික් මිසයිලවලට කිලෝමීටර් 4,000 ක හෝ ඊට වැඩි දුරක් යෑමට හැකි විය. මෙය ඉරානය ඔවුන්ගේ බැලැස්ටික් මිසයිල ශක්තිය ඇමෙරිකාවට සහ සෙසු ලොවට පෙන්වීමකි.
දියේගෝ ගාසියා යනු ඉන්දියන් සාගරයේ පිහිටි ඉතාම උපායමාර්ගික වැදගත්කමක් සහිත දූපතකි. මෙය මධ්‍යම ඉන්දියන් සාගරයේ පිහිටි චාගෝස් නමැති දූපත් සමූහයට අයත් විශාලතම දූපත වෙයි. භූගෝලීය වශයෙන් ගත් කළ මෙය ශ්‍රී ලංකාවට ආසන්නයෙන්ම පිහිටි දූපතක් නම් නොවේ. එසේ වුවත්, සතුරු මිසයිලයක් දශමයකින් හෝ ගමන් මග වැරදී අප වෙත ඒමට ඉඩ ඇත. එය එසේ විය නොහැකි යැයි කිව හැක්කේ කාටද?
දියේගෝ ගාසියා ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට දළ වශයෙන් කිලෝමීටර් 1,700ක් (සැතපුම් 1,000ක් පමණ) ඈතිනි. දියේගෝ ගාසියා අප ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවේ දකුණු වෙරළට දකුණු දෙසින් පිහිටා තිබේ. දියේගෝ ගාසියා දූපතේ දේශපාලනික ඉතිහාසය ඉතා සංකීර්ණ සහ මතභේදකාරී එකකි.
1960 දශකයේදී බ්‍රිතාන්‍යය විසින් දියේගෝ ගාසියා ද ඇතුළු චාගෝස් දූපත් සමූහයේ පදිංචිව සිටි ස්වදේශික ජනතාව බලහත්කාරයෙන් ඉවත් කොට, දියේගෝ ගාසියා දූපත ඇමරිකානු එක්සත් ජනපදයට යුද කඳවුරක් පවත්වාගෙන යාම සඳහා බදු දෙන ලදී.
වසර ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර නීතිමය සටන්වලින් පසු, මෙම දූපත් සමූහයේ ස්වෛරීභාවය මුරුසි රාජ්‍යයට හිමිවිය යුතු බව තහවුරු විය. කෙසේ වෙතත්, එහි පවතින ඇමෙරිකානු යුද කඳවුරේ අවශ්‍යතාව මත, දූපතේ අයිතිය පිළිබඳ ගිවිසුම් තවමත් සංකීර්ණ ලෙස ක්‍රියාත්මක වේ.
යුදමය වශයෙන් දියේගෝ ගාසියා ලෝකයේ අතිශය වැදගත් ස්ථානයකි. ඇමෙරිකානු ගුවන් සහ නාවික හමුදා විසින් මෙම දූපතේ කඳවුරක් පවත්වාගෙන යනු ලබන්නේ මැදපෙරදිග, දකුණු ආසියාව සහ අප්‍රිකානු කලාපයේ සිදුවන ඕනෑම ක්‍රියාකාරකමක් ඉතා ඉක්මනින් නිරීක්ෂණය කිරීමට සහ මැදිහත් වීමට පහසු වන පරිදිය.
එහි සිටින ජනගහනය ප්‍රධාන වශයෙන්ම යුද කඳවුරේ සේවය කරන්නේ ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන්ගෙන් සමන්විත වන අතර, සිවිල් ජනාවාසයක් නොමැත.
මුරුසි දූපත් රාජ්‍යය පිහිටා ඇත්තේ අප්‍රිකාව, ආසියාව සහ ඕස්ට්‍රේලියාව යා කරන ප්‍රධාන නාවික මාර්ගවලට ආසන්නවය.
එනිසා, කලාපයේ නාවික ආරක්ෂාව සහ බලපෑම තහවුරු කර ගැනීමට ලෝක බලවතුන් මුරුසිය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි. මුරුසියේ සිට චාගෝස් දූපත් සමූහයේ උතුරු කෙළවර දක්වා ඇති දුර කිලෝමීටර් 2,000ත් 2,200ත් අතර ප්‍රමාණයකි.
බ්‍රිතාන්‍ය පාලන සමයේදී මුරුසිය සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙකම පාලනය වූයේ එකම කලාපීය පද්ධතියක් යටතේය. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙකු වූ රොබට් බ්‍රවුන්රිග් වැනි නිලධාරීන් මුරුසියේ සේවය කර පසුව ලංකාවට පැමිණි අය වෙති.
ඇහැලේපොළ මහා අධිකාරම් පිටුවහල් කෙරුණේ ද මුරුසි දූපතටය. ඒ, 1818 දීය. ඇහැලේපොළ මහා අධිකාරම් සිය ජීවිතයේ අවසාන කාලය ගත කළේ මුරුසියේ වන අතර, 1829 දී එහිදී අභාවප්‍රාප්ත විය. ඔහුගේ ස්මාරකයක් අදටත් මුරුසියේ පොම්පල්මූසස් උද්‍යානය අසල දැකගත හැකිය.
16 වන සියවසේදී පෘතුගීසීන් විසින් සොයාගත් දියේගෝ ගාසියා, 18 වන සියවසේදී ප්‍රංශ පාලනය යටතට පත් විය. එකල මෙහි පොල් වගාවන් සඳහා අප්‍රිකානු සහ ඉන්දියානු ශ්‍රමිකයන් පදිංචි කරවා ගත් අතර, ඔවුන් ‘චාගෝසියානුවන්’ ලෙස හැඳින්විණි.
1814 වසරේදී ඇති වූ ජාත්‍යන්තර ගිවිසුම් අනුව දූපත්වල පාලනය බ්‍රිතාන්‍යයට පැවරිණි. කෙසේ වෙතත්, 1966 වසරේදී බ්‍රිතාන්‍යය විසින් මෙම දූපත ඇමෙරිකානු හමුදා කඳවුරක් ඉදිකිරීම සඳහා බදු පදනම මත ලබා දීම, දූපතේ ඉරණම වෙනස් කළ සන්ධිස්ථානයක් විය.
යුද කඳවුරේ ඉදිකිරීම් ඇරඹීමත් සමඟ, බ්‍රිතාන්‍යය විසින් 1960 සහ 70 දශකවලදී එහි පදිංචිව සිටි දේශීය චාගෝසියානු වැසියන් 2,000 කට අධික පිරිසක් බලහත්කාරයෙන් දූපතෙන් ඉවත් කරන ලදී.
කිසිදු වන්දි මුදලක් හෝ නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළක් නොමැතිව ඔවුන් පිටුවහල් කිරීම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක් විය. තම මව්බිමට යළි පැමිණීමේ අයිතිය වෙනුවෙන් ඔවුහු වසර ගණනාවක් පුරා නීතිමය සටන්වල නිරත වූයේ ඉන් අනතුරුවය.
1968 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමේදී චාගෝස් දූපත් වෙන් කර තබා ගැනීම නීතිවිරෝධී බව මුරුසි රාජ්‍යයේ දැඩි ස්ථාවරයයි. මෑතකදී ඇති වූ දේශපාලන එකඟතා අනුව, බ්‍රිතාන්‍යය චාගෝස් දූපත්වල ස්වෛරීභාවය මොරිෂස් රාජ්‍යයට පැවරීමට එකඟ වුණු අතර, මෙය ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි විරෝධයට හේතුවක් විය.
මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් අතරේ ද පසුගිය කාලයේ බහින්බස්වීම් පවා පැවැතිණි. කෙසේ නමුත්, දියේගෝ ගාසියාවේ පිහිටි ඇමෙරිකානු යුද කඳවුරේ පාලනය තවත් වසර 99ක කාලයක් බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව සතු වන පරිදි ගිවිසුම්ගතව පවතී.
ලුසිත ජයමාන්න
BBC ඇසුරිනි