
ඉරානයේ මධ්‍යස්ථමතධාරී ජනාධිපති මෙසූඩ් පෙසෙෂ්කියන් සටන් විරාමයකට යෑමට කොන්දේසි තුනක් ඉදිරිපත් කරද්දී, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වී ඉරානයට දෙහි කැපීය. ඒ, අසල්වැසි අරාබි රටවලටත් ජෝර්දානයටත් එල්ල කරන ප්‍රහාර නවත්වන්නැයි බල කරමිනි. ඉරානයට එරෙහිව යෝජනාවක් ද සම්මත විය.
ඉරානයේ අඹ යාළුවන් වන රුසියාව සහ චීනය පැත්තට වී බලා සිටිද්දී, සෙසු රටවල්, (ඉන්දියාව ද ඇතුළුව) ඉරානයට එරෙහි එම යෝජනාවට පක්ෂපාතී විය. ඉරානයට එරෙහි එම යෝජනාව සම්මත වෙද්දී පැත්තනට වුණු රුසියාව, ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගේ පැසසුමට ලක් විය.
රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින් රුසියාවට පනවා තිබුණු සම්බාධකවලින් කොටසක් තාවකාලිකව ඉවත් කිරීමට ද ට්‍රම්ප් පියවර ගත්තේය.
කරුණු කාරණා මෙසේ සිද්ධ වෙද්දී, ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනී සිය පළමු නියෝගය නිකුත් කළේය.
මොජ්ටාබා කමේනී යනු අයතුල්ලා කමේනිගේ දෙවැනි පුතාය. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය පහර දී අයතුල්ලා අලි කමේනී ඝාතනය කළේ පසුගිය 28 වැනිදා යුද්ධය ආරම්භ කළ දිනයේය. එදා එල්ල වුණු මිසයිල ප්‍රහාරයෙන් මොජ්ටාබා ට සිය පියා, මව, වැඩිමල් සහෝදරයා, නැගණිය, නැගණියගේ සැමියා, නැගණියගේ දියණිය අහිමි විය. එපමණක් නොව, මොජ්ටාබාට සිය බිරිඳ ද අහිමි විය.
ප්‍රහාරය එල්ල වෙද්දී, 56 හැවිරිදි මොජ්ටාබාට ද තුවාල සිදුවිය. උත්තරීතර නායකයා ලෙස මොජ්ටාබා කමේනී එම ධුරයට තේරා ගනු ලැබුවත්, තවමත් ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිට නැත. ඔහු සිය පළමු නියෝගය නිකුත් කළේ ප්‍රකාශයක් ලෙස ඉරාන ජාතික රූපවාහිනිය හරහාය. මොජ්ටාබාට බියගුල්ලකු ලෙස සැගවී සිටිනවා යැයි ඊශ්‍රායලය මෙන්ම ඇමෙරිකාව ද පවසා ඇත. ඔවුන් උත්සාහ ගන්නේ මොජ්ටාබා ඝාතනය කිරීමට බව රහසක් නොවෙයි. මොජ්ටාබා ඇමෙරිකාවේ හෝ ඊශ්‍රායලයේ ප්‍රහාරවලින් බේරී සැගවී සිටිනවා විය හැකිය.
එපමණක් නොවෙයි, මොජ්ටාබා කමේනි සිටිනු ඇත්තේ ඇමරිකාව සහ ඊශ්‍රායලය කෙරෙහි දැඩි වෛරයක් සහ පළිගැනීමේ චේතනාවකින් බව ද අමුතුවෙන් කිව යුතු නොවෙයි. සිය පළමු නිල නියෝගය හරහා මොජ්ටාබා, ඇමෙරිකාවට සෘජුවම අභියෝග කළේය.
ගල්ෆ් කලාපයේ අසල්වැසි රටවල ඇති ඇමෙරිකන් හමුදා කඳවුරු වහා ඉවත් කර ගන්නැයි මොජ්ටාබා අණ කළේය. ලෝකයේ බොර තෙල් ප්‍රවාහනයෙන් පහෙන් එකක් (සියයට 20 ක් පමණ) සිදුවන උපාය මාර්ගිකව වැදගත් හෝ සමුද්‍ර සන්ධිය දිගටම වසා තබන්නැයි ද මොජ්ටාබා කමේනී අණ කළේය. මෙය ලෝක තෙල් මිල ඉහළ දැමීමට සහ ගෝලීය බලවතුන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් වනු ඇත.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාව සම්මත කර ගත්තේ, රටවල් 135 ක් එම යෝජනාවට සම අනුග්‍රහය දක්වද්දී වීම විශේෂත්වයකි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය යනු ලෝක සාමය සහ ජාත්‍යන්තර ආරක්ෂාව තහවුරු කිරීමේ ප්‍රධාන වගකීම දරන එම සංවිධානයේ බලවත්ම ආයතනයයි.
එය මුළු සාමාජික රටවල් 15 කින් සමන්විත වන අතර, ඉන් රටවල් 5 ක් ස්ථිර සාමාජිකයෝ වෙති.
ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය, රුසියාව සහ චීනය එම සාමාජිකයන්ය.මෙම ස්ථිර සාමාජික රටවලට ඕනෑම තීරණයක් අත්හිටුවීමේ නිෂේධ බලයක් හිමිවෙයි. ඉතිරි සාමාජික රටවල් 10, මහා මණ්ඩලය විසින් වසර දෙකක කාලසීමාවක් සඳහා තෝරාගනු ලබන අතර, ලෝකයේ විවිධ කලාප නියෝජනය වන පරිදි එම අවස්ථාව හිමි වේ.
ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් 15 ම යෝජනාවට පක්ෂව ඡන්දය දුන් අතර කිසිදු රටක් විරුද්ධ වූයේ නැත. රුසියාව සහ චීනය නිහඩව බලා සිටියා පමණි. ඔවුන් ඉරානයට සහාය දක්වමින්, ඔවුන්ගේ නිෂේධ බලය යොදා යෝජනාවට විරෝධය දැක්වීමක් කළේ ද නැත.
මෙය හුදු ලියවිල්ලක් පමණක් නොවෙයි. ඉරානයේ වත්මන් ක්‍රියාකලාපය පිළිබඳව මුළුමහත් ජාත්‍යන්තර ප්‍රජාව එක හඬින් අප්‍රසාදය පළ කිරීමකි. විශේෂයෙන් ම ගල්ෆ් කලාපයේ සිවිල් වැසියන්ට සහ බලශක්ති පද්ධතිවලට එල්ලවන ප්‍රහාර තවදුරටත් ඉවසා සිටීමට ලෝකය සූදානම් නැති බව මෙයින් පැහැදිලි විය.
දිනෙන් දින ඔඩුදුවන මෙම අර්බුදය හේතුවෙන් මේ වනවිට මැද පෙරදිග කලාපය තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇත.
ආරම්භ වුණු යුද ගැටුම්, දශක කිහිපයකට පසු පළමු වතාවට, ගෝලීය වෙළඳපොළවල සමඟ පවතින සබඳතා සහ ස්ථාවර වෙළඳාම මත යැපෙන ඩුබායි, දෝහා වැනි ගල්ෆ් කලාපීය නගරවල ආර්ථික ස්ථාවරත්වයට දැඩි අවදානමක් එල්ල වී ඇත. ගුවන් සීමා පැනවීම් සහ කලාපීය ගැටුම් හේතුවෙන් ගුවන් ගමන් මාර්ග වෙනස් කිරීමට හෝ ගුවන් ගමන් අත්හිටුවීමට ගුවන් සමාගම්වලට සිදුවී ඇත. මේ නිසා, විදේශීය ආයෝජකයන් ද දැන් මෙම කලාපයේ ආයෝජන සුරක්ෂිතභාවය පිළිබඳව දෙවරක් සිතන්නට පටන් ගෙන අවසන්ය.
පසුගිය වසර 20 පුරා ගොඩ නඟන ලද ගල්ෆ් රටවල ආර්ථික ආකෘතියට මෙම යුද්ධය දැන් විශාල අභියෝගයක් වී ඇත.
ඩුබායි, දෝහා සහ මනාමා වැනි නගර ගොඩනැගුණේ, කලාපීය දේශපාලන නොසන්සුන්තා මධ්‍යයේ වුවත්, ස්ථාවරත්වය පවත්වා ගනිමින් ගෝලීය ආයෝජන ආකර්ෂණය කරගැනීමේ අපේක්ෂාව මතය. වර්තමාන අර්බුදයත් සමග එම පදනම දැන් බරපතල අනතුරකට ලක්ව ඇත.
ගුවන්තොටුපළවල සීමිත ධාරිතාවයකින් ක්‍රියාත්මක වන අතර, ආරක්ෂක හේතූන්මත ගුවන් සමාගම් තම ගුවන් යානා වෙනත් ස්ථාන කරා ගෙන ගොස් අවසන්ය. බහරේනය පවා ආරක්ෂිත පියවරක් ලෙස ඔවුන්ගේ සිවිල් ගුවන් යානා විදේශවල රඳවා ඇති බව වාර්තා වේ.
ඉරානයෙන් අද අසල්වැසි ගල්ෆ් රටවලට ප්‍රහාර එල්ල වන්නේ, එම රටවල ඇති ඇමෙරිකන් හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමිනි.
මැදපෙරදිග කලාපයේ නිර්මාණය වුණු අර්බුදය නිසි ලෙස තේරුම් ගැනීමට නම්, 2020 වසර දෙස ආපසු හැරී බැලිය යුතුයි යැයි ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
එදා ඇමෙරිකා ජනාධිපති ලෙස කටයුතු කළේ ද ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ඒ, ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයේ අවසන් දින කීපයයි. ට්‍රම්ප්ගේ අණ පරිදි, ඉරාන විප්ලවීය හමුදාවේ කුද්ස් නමැති අතිරේක බලඇණියට නායකත්වය දුන් කාසෙම් සුලෙයිමානී, ඉරාකයේ දී ඝාතනය කෙරුණි. ඒ ඇමෙරිකන් බුද්ධි අංශ සහ ඊශ්‍රායල බුද්ධි අංශ එක් වෙමිනි. ප්‍රහාරය එල්ල කළේ ඇමෙරිකන් හමුදාව ඔවුන්ගේ ඩ්‍රෝන යානයක් යොදා ගනිමිනි.
ලෝකයේ හමුදා දෙකක් ඇති එකම රට වන්නේ ඉරානයයි. ඉරානය ෂියා මුස්ලිම්ය. ඉරානයේ ඉස්ලාමීය පාලනය ස්ථාපිත වූයේ 1979 වසරේ ඉරාන ඉස්ලාමීය විප්ලවයෙන් පසුවය. ඒ වනවිට රටේ පැවැති හමුදාව දිගටම පැවැති අතර, ඉරාන ඉස්ලාමීය රජයට පක්ෂපාතීව වෙනම හමුදාවක් පිහිටුවීය. විප්ලවීය හමුදාව යනු මෙයයි.
වොෂින්ටනය සහ තෙහෙරානය අතර ගැටුමේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය වූයේ කුද්ස් බලඇණියේ අණ දෙන නිලධාරියේ කාසෙම් සුලෙයිමානී ඝාතනයයි. සුලෙයිමානී ඝාතනයෙන් පසු ඉරාන නායකත්වය පෙරට වඩා සැලකිය යුතු ලෙස දැඩි සුපරීක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කිරීමට පෙළෙඹුණු බව ඇමෙරිකන් විශ්ලේෂකයන්ගේ අදහසය.
ඇමෙරිකාව, ඉරානය ත්‍රස්තවාදී රාජ්‍යයක් ලෙස චෝදනා කරන්නේ හේතුවක් ඇතිවය. සුලෙයිමානී ඝාතනයට පෙර, ඉරානය කලාපයේ ඔවුන්ට හිතවත් සන්නද්ධ කණ්ඩායම් (හිස්බුල්ලා, හවුති සහ ඉරාකයේ සන්නද්ධ කණ්ඩායම්) සමඟ එක් වී, ඉතා සූක්ෂම ලෙස කලාපයේ ඇමෙරිකන් ඉලක්කවලට ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාර මෙහෙය වීම කළේ සුලෙයිමාන්ය.
සෞදිය ඔවුන්ගේ තෙල් ගනුදෙනු සිදු කරන්නේ ඇමෙරිකාවටය.
2019 සැප්තැම්බර් මාසයේදී සෞදි අරාබියේ අමාකෝ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ඊට හොඳම උදාහරණයකි. මෙය ඇමෙරිකාවට එරෙහිව කළ ප්‍රහාරයක් බව අමුතුවෙන් කිව යුතු නොවෙයි. ප්‍රහාරයේ වගකීම බාරගත්තේ ඉරාන විප්ලවීය හමුදාවේ අනුග්‍රහය ලබන යේමනයේ හවුති සටන්කාමීන්ය.
2019 වසර අවසානයේ දී, ඉරාකයේ බෑග්ඩෑඩ් නුවර ඇමෙරිකන් තානාපති කාර්යාලයට කඩාවැදීමට සන්න්දධ කණ්ඩායම් උත්සාහ කළේය. ඒ, ඉරාකයේ ඉරාන හිතවාදී සටන්කාමීන්ය. අමාකෝ තෙල් පිරිපහදුවට පහර දීම සහ බෑග්ඩෑඩ් ඇමෙරිකන් තානාපති කාර්යාලයට කඩා වැදීමට ගත් එම උත්සාහය පසුපස සිටිමින් ඒවා මෙහෙය වූයේ ඉරාන විප්ලවීය හමුදාවේ සුලෙයිමානිගේ කුද්ස් බලඇණියයි.
සුලෙයිමානි ඝාතනයඉරානයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ විශාල හිඩැසක් ඇති කළේ යැයි බටහිර දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.
ඉරාන විප්ලවීය හමුදාව තුළ මෙන්ම හමුදා නායකයන් අතර ද සුලෙයිමානිට විශාල අධිකාරී බලයක් තිබූ අතර, අර්බුද කළමනාකරණය කිරීමේ ඔහුගේ හැකියාව පිළිබඳව බොහෝ දෙනා විශ්වාසය තැබූහ. ඔහුගේ මරණයෙන් පසු, ඉරානය වඩාත් ප්‍රවේසම් සහගත වූ අතර ඇමෙරිකාව සමග ගැටුමකට යෑමෙන් වැළකී සිටියේය.
එසේ වුවත්, එම ප්‍රවේසම් සහගතබව ඉරානයේ ක්‍රියාකාරකම් නතර කිරීමට හේතුවක් වූයේ නැත. ඉරානය, ඔවුන්ගේ විප්ලවීය හමුදාව තවත් පුළුල් කළ අතර, මිසයිල අවි ගබඩා වැඩිකර ගනිමින්, ඩ්‍රෝන තාක්ෂණය දියුණු කිරීම වේගවත් කළේය.
මීට වසර පහකට පෙර ආරම්භ වුණු යුක්රේන යුද්ධය, ඉරාන ඩ්‍රෝන යානා සඳහා අත්හදාබැලීමේ පිටියක් බවට පත් විය. මේ අතරතුරේ, ඉරානයේ කලාපීය බලපෑම ද කෙමෙන් අඩු විය.
2024 දෙසැම්බරයේ සිරියාවේ බෂාර් අල්-අසාද් පාලනය අවසන් විය. ඒ සමග ඉරානයේ කලාපීය බල කේන්ද්‍ර ස්ථානයේ ඔවුන්ගේ ප්‍රධාන බල කුලුන ඔවුන්ට අහිමි වුණු බව ඇමෙරිකානු දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.
වසර 40 කට වැඩි කාලයක් පුරා පැවති, ලෙබනනය සහ මධ්‍යධරණී මුහුද දක්වා වූ ඉරානයේ උපාය මාර්ගික සබඳතාවය ඉරානයට අහිමි විය. සිරියාව තවදුරටත් ඉරානයේ උපායමාර්ගික ආරක්ෂක පවුර ලෙස ක්‍රියා නොකළ අතර, එය ක්ෂණිකව කලාපීය මිතුරා භූමිකාව වෙනස් කර කලාපීය පසමිතුරකු දක්වා බවට වෙනස් විය. අද සිරියාවේ ඇත්තේ ඇමෙරිකන් හිතවාදී පාලනයකි. ට්‍රම්ප් පවසන්නේ, සිරියාවේ වත්මන් ජනාධිපතිවරයා එම ධුරයට පත් කළේ තමන් (ඇමෙරිකාව) බවය.
මීට අමතරව, ඉරාකයේ ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායම් කෙරෙහි ඉරානය පවත්වා ගෙන ගිය ග්‍රහණය ද කෙමෙන් කෙමෙන් දුර්වල විය. ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සිය යුධ ශක්තිය රැකගත්ත ද, ඔවුන් සතු උපාය මාර්ගික නිදහස අහිමිවිය. දේශපාලනික වශයෙන් ද හිස්බුල්ලා සංවිධානයට බලපෑම් එල්ල විය.
යේමනයේ හවුති සටන්කාමීන් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වා දෙමින්, ඔවුන්ට එරෙහිව ඇමෙරිකාව පහර දෙන්න විය. එසේ වුවත්, තවමත් හවුති සටන්කාමීන්ඉරානයේ ප්‍රධාන අරමුණුවලට සමීපව රැඳී සිටී. මෙම කාලයේ ඉරානය, රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට විවෘත බව පෙන්වීමට උත්සාහ කළේය.
2023 දී චීනයේ මැදිහත් වීමෙන් සෞදි අරාබිය සමඟ ඇති කරගත් එකඟතාවය මෙහි ප්‍රධාන පියවරකි.
අනෙකුත් ගල්ෆ් රටවල් සහ ඊජිප්තුව සමඟ ද ඉරානයේ සබඳතා සෙමෙන් දියුණු විය. එමෙන්ම ඉරානය, ඇමෙරිකාව සහ අනෙකුත් ප්‍රධාන බලවතුන් සමඟ පරමාණුක සාකච්ඡා වට කිහිපයකට ද සහභාගී විය.
ඉරානයේ අනුග්‍රහය ලබන හිස්බුල්ලා සටන්කාමීන්ගේ සහාය හිමිවන හමාස් සංවිධානය, ඊශ්‍රායලයට පහර දී ගාසා යුද්ධය ආරම්භ වූයේ එම සාකච්ඡා පැවැත්වෙන අතරතුරේය.
එම ගැටුම ඉරානය සිය උපායමාර්ගික තීරණගන්නා ආකාරය වෙනස් කිරීමට හේතුවිය. සුලෙයිමානිගේ මරණයෙන් පසුඅ නුගමනය කළ දැඩි ප්‍රවේශම් සහගතපිළිවෙත, ඉරානයේ සතුරන්ට පෙනී ගියේ ඉරානයේ දුර්වල කමක් ලෙසය.
එසේ වුවත්, ඉරානයේ ඇතැම් පිරිස් එය සැලකුවේ අවාසිදායක තත්ත්වයන් යටතේ සටනකට අවතීර්ණ වීම වැළැක්වීම සඳහා පවත්වාගත් ඉවසීමක් ලෙසිනි
ආරම්භයේ දී, ඉරානය උත්සාහ කළේ ගැටුම වර්ධනය වීම වැළැක්වීමට සහ ඊශ්‍රායලය හෝ ඇමෙරිකාව සමඟ සෘජු සටනකට එළඹීමෙන් වැළකී සිටීමටය.
එසේ වුවත්, ඉරානය පසුබට වූ සෑම අවස්ථාවකම, එයින් වැරදි පණිවිඩයක් නිකුත්වන බවක් පෙනෙන්නට තිබුණි. ඉන්අනතුරුව දින 12 ක යුද්ධය හටගත් අතර, එහිදී හානියට පත්වූ පරමාණුක යටිතලපහසුකම් ඇතුළුව ඉරානයට දැඩි පාඩු සිදුවිය. කෙසේ වෙතත්, එම යුද්ධය අවසන් වූ දා සිට, ඉරානය සිය හමුදාමය හැකියාව, විශේෂයෙන්ම ඩ්‍රෝන නිෂ්පාදනය තව තවත් පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමුක ළ බව පැවසෙයි.
ඉරානය සිය යුද උපාය මාර්ගය වෙනස් කළ අතර, ගැටුම් තම දේශසීමා තුළ තබා ගන්නවා වෙනුවට කලාපය පුරා ව්‍යාප්ත කිරීමට උත්සාහ කරන්න විය. මෙහි ප්‍රධාන අරමුණ හුදෙක් හමුදාමය ප්‍රහාර එල්ල කිරීම පමණක් නොව, ගෝලීය බලශක්ති වෙළඳපොළ සහ නාවික ගමන් මාර්ග අඩාල කරමින් ලෝක ආර්ථිකයට බලපෑම් කළ හැකි ප්‍රබල කඩාකප්පල්කාරී බලවේගයක් ලෙස නැවත නැගී සිටීමය.
ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් අපේක්ෂා කළේ දැඩි පීඩනය හමුවේ ඉරාන පාලනය බිඳ වැටෙනු ඇති බව වුවත්, සිදුව ඇත්තේ එහි අනෙක් පැත්තය. අයතුල්ලා කමේනිගේ අභාවයෙන් පසු ඔහුගේ පුත්‍රයා බලයට පත්වීමත්, රටේ දේශසීමා වෙනස් කරන බවට එල්ලවූ තර්ජනත් නිසා ඉරාන වැසියන් රජය වටා රොක් වී අවසන්ය
හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයේ උතුරු දේශසීමාවෙන් යුද්ධයට අවතීර්ණවීමත් සමඟ ගැටුම් තවත් උත්සන්න වී ඇත.
යේමනයේ සහ ඉරාකයේ සන්නද්ධ කණ්ඩායම් පූර්ණ වශයෙන් යුද්ධයට එක්වුවහොත් සූවස් ඇළ වැනි තීරණාත්මක වෙළඳ මාර්ග අනතුරේ වැටෙනු ඇත.
මේ අතර, ඉරානය පවතින අවුල් සහගත තත්ත්වය ප්‍රයේජනයට ගෙන සිය පළමු න්‍යෂ්ටික අවි පරීක්ෂණ ද සිදු කරනු ඇතැයි ද සැකයක් පවතී. මෙය බරපතල තත්ත්වයකි. එය එසේ වුවහොත්, කලාපයේ පමණක් නොව මුළුලෝකයේම ආරක්ෂක සමතුලිතතාවය වෙනස් කිරීමට හේතුවක් වනු ඇත.
අවසාන වශයෙන් ඇමෙරිකා ජනාධිපතිවරයාට දැන් ඉතා අසීරු තේරීම් කිහිපයකට මුහුණදීමට සිදුව ඇත. එනම් ඉරානයේ පාලනය වෙනස් කිරීමට සම්පූර්ණ යුද්ධයකට යෑම, යම් මට්ටමක සාර්ථකත්වයක් පෙන්වා යුද්ධය නතරකිරීම හෝ ආර්ථික පාඩු විඳගනිමින් දැනට පවතින තත්ත්වය ඉදිරියට ගෙන යෑමය. මේ කුමන තීරණයක් ගත්තද මැදපෙරදිග කලාපයේ අනාගතය මෙයින් සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇත.
ලුසිත ජයමාන්න
BBC ඇසුරිනි