රංගනයට ආ පෙර පාසල් ගුරුවරිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mar 7, 2026

රංගනයට ආ පෙර පාසල් ගුරුවරිය

කොටු ටෙලි නාට්‍යයේ විලාසි දිල්හාරා ලෙස ඔබේ ආලින්දයට එන ඇය මේ වනවිට නව පරපුරේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනියකි. රංගනයට මෙන්ම සංගීතයට සහ නර්තනයටත් දස්කම් පාන ඇය නමින් සුජානි මධුවන්තිය.

 ඔබ ඔබව හඳුන්වන්නේ කොහොමද? 
මගේ නම සුජානි මධුවන්ති. ගම ගිරිඋල්ල. මම වෘත්තිය විදිහට රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරගෙන යනවා. රංගන ක්ෂේත්‍රයට එන්න කලින් මම පෙර පාසල් ගුරුවරියක් විදිහටත් වැඩ කළා. 
මේ දවස්වල වැඩ කටයුතු?
මේ දවස්වල නම් කොටු සහ පිරිමි ළමයි ටෙලිඩ්‍රාමාවල තමයි වැඩිපුර සම්බන්ධ වෙලා ඉන්නේ. ඊට අමතරව රංගන ක්ෂේත්‍රයේ තවත් විවිධ වැඩවලට සම්බන්ධ වෙලා ඉන්නවා. 

ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ කොහොමද? 
රංගන ශිල්පිනියක් විදිහට මට ක්ෂේත්‍රයට එන්න හේතුව වුණේ සද්ධාමංගල සූරියබණ්ඩාර සර්. නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය ඉවර වෙන්න ඔන්න මෙන්න වගේ තියෙද්දි ඔහු ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දාලා තිබුණා ඊළඟට පටන් ගන්න අලුත් ටෙලි ඩ්‍රාමාඑකට සාම්ප්‍රදායික නර්තනය පුළුවන් ගෑනු ළමයි හොයනවා කියලා. මගේ යාළුවෙක් ඒ පෝස්ට් එක මට එවුවා. මම ඒකට පොටෝ එකක් යැවුවම එයාල මට එන්න කිවුවා. ගියාට පස්සේ පොඩි ඔඩිෂන් එකක් තියලා ස්ක්‍රිප්ට් එකක් අතට දීලා ඒක කරල පෙන්නන්න කිවුවා. මං ඒක කරලා පෙන්නුවා. ඊට පස්සේ ආ මෙයාව හදලා ගන්න පුළුවන් කියලා ඔහුගේ බිරිය චේතනී විජේතුංග මිස් කිවුවා .ඊට පස්සේ සරුයි මිසුයි දෙන්නම කිවුවා මෙයාව ගන්න පුළුවන් අපේ වැඩේට කියලා ඕකේ කළා. ඒ වෙලාවේ පහළ තට්ටුවේ ඩාන්සින් අයිටම් එකක් පුරුදු වෙවී හිටියා. මගෙන් ඇහුවා ඒකත් පුරුදු වෙලා පෙන්නන්න පුළුවන්ද කියලා. ඉතින් මං ඒකටත් හා කියලා පුරුදු වෙලා පෙන්නුවා. ඊට පස්සේ තමයි මට ආ හොඳයි කියලා ඊළඟ දවසේ ඉඳන් ෂූටින් එන්න පුළුවන්ද ඇහුවා. ඒ විදිහට තමයි මම මුලින්ම කෝලම් කූට්ටම ටෙලි නිර්මාණයට සම්බන්ධ වුණේ.
පළමු රංගන අත්දැකීම ගැන කියනවා නම් ... 
පළමුවැනි රංගන අත්දැකීම සාම්ප්‍රදායික නර්තනය දන්න ගෑනු ළමයෙක්ගේ චරිතයක්. රංගනය ගැන කිසිම හැදෑරීමක්, දැනුමක් නැති නිසා හරිම බයකින් ගියේ. ගොඩක් ප්‍රවීණ අය එක්ක තමයි වැඩ කරන්න ලැබුණේ. සමහර අවස්ථාවල මං නිසා ඔවුන් ගොඩක් අපහසුතාවට පත්වුණා. ඒ ඩ්‍රාමා එකෙන්ම ටික ටික අත්දැකීම් ලබන ගමන් එයාලාගෙන්ම ඉගෙනගත්තා. ඒ අත්දැකීම මට ගොඩක්ම වටිනවා. ඒ හින්ද තමයි අද මම මෙතන ඉන්නේ.

පිරිමි ළමයි නාට්‍යයේ දිල්හාරට ලැබෙන ප්‍රතිචාර?
ඒ චරිතයට ගොඩක් මිනිස්සු බණිනවා. ඒ වගේම ඒ චරිතයට ආදරේ කරන පිරිසකුත් ඉන්නවා. මගේ ඇක්ටින්වලට ගොඩක් හොඳ කියද්දි මට ගොඩක් ආසයි. ඒ වගේමයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් මට කතා කරල මගේ ඇක්ටින්වලට හොඳ කියනවා. ඒකත් මට ලොකු සතුටක්. බැණ්නත්, හොඳ කිවුවත් ඒ මොන විදිහෙන් ප්‍රතිචාර ලැබුණත් මං ආදරෙන් භාරගන්නවා. 

ඉදිරියේදී රංගනයෙන් දායක වෙන්න කැමති මොන වගේ චරිතද?
කටුක ජීවිතයක් ගෙවන, ඕනම දේකට මුහුණ දෙන්න ආත්ම ශක්තියක් තියෙන, අඬන්නෙ දොඩන්නෙ නැති ගැහැනියකගේ ඒ කියන්නේ යකඩ ගැහැනියකගේ චරිතයක් කරන්න ගොඩක් කැමැතියි. ඒ වගේම ලංකාවේ එක එක පළාත්වල තියෙන විවිධ භාෂා කතා කරන වෙනස් විධි ඒ කියන්නේ ඔය පරණ කාලෙ කතා කරන විදිහේ චරිත කරන්න හරි ආසයි. එක එක වෙලාවට එක එක විදිහට ආස හිතෙනවා. දැනට නම් ඒ වගේ චරිත දෙකක් තමයි හිතේ තියෙන්නේ. එහෙම චරිත ආවොත් ආසාවෙන් කරනවා. 
චරිතයක් තෝරා ගැනීමේදී සලකා බලන්නේ මොන වගේ දේවල්ද?
දැනට නම් එහෙම චරිත තෝර බේරගෙන කරල නැහැ. මොකද දැනට මට ආපු කිසිම වැඩක මේක හොඳ නැහැ. මේක කරන්න බෑ කියලා හිතෙන මට්ටමට චරිත ආවේ නැහැ. ඒ හින්ද මම තාම එහෙම දෙයක් හිතුවෙවත් නැහැ. ඉස්සරහට එහෙම කරන්න හිතන්නෙත් නැති වේවි. මොකද අධ්‍යක්ෂවරයෙක් අපට චරිතයක් දෙන්නේ එයාලගේ හිතේ තියෙන මොකක් හරි අපෙන් කරවගන්නනේ. එහෙම නැතුව අපිට ඕන ඕන ඒවා කරන්න නෙවෙයි කියලයි මම හිතන්නේ. ඒ නිසා දැනට එහෙම තෝරාබේරා ගැනීමක් කරන්න අදහසක් නෑ. 

මෙතෙක් රඟපෑ චරිත අතරින් ඔබට වඩාත්ම අභියෝගාත්මක වුණේ මොනවගේ චරිතද? 
මම මෙතෙක් කරපු චරිතවල පුංචි පුංචි වෙනස්කම් තිබුණා. සුජානිගේ නොවන දෙයක් චරිතය ඇතුළෙ තියෙනවනම් ඒක ඇත්තටම අභියෝගයක් කියලයි මට හිතෙන්නේ. ඒ නිසා ඉතින් හැම චරිතයක්ම මට අභියෝගයක්.
අනාගත බලාපොරොත්තු සැලසුම් මොන වගේද? 
ලංකාවේ දක්ෂ නිළිය කියන කැටකරි එකට වැටෙන්න තමයි කැමැති. ඒක තමයි ලොකුම බලාපොරොත්තුව. ඒත් එක්කම මියුසික් පැත්තෙන් දෙයක් කරන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මියුසික් පැත්තෙන් කරන වැඩවලට දැනටමත් පොඩි ස්ටෙප් දෙක තුනක් සැලසුම් කරලයි තියෙන්නේ. ඉතින් එහෙම තමයි වැඩ ටික වෙන්නේ

ඡායාරූප - මුහුණු පොතෙන්

Classified_Ad