දිය යටින් එන මාරයා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mar 7, 2026

දිය යටින් එන මාරයා

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී ආරම්භ කළ යුද්ධයට අපේ රට, ශ්‍රී ලංකාව ද පැටලුණි. ඒ, ඉරාන යුද නැව් දෙකක් ශ්‍රී ලංකාවට ඔබ්බෙන් මුහුදේ දී අනතුරට පත් වීමත් සමඟය. මේ ඉරාන යුද නැව් දෙකම අපෙන් උදවු ඉල්ලුවේය. පළමුවෙන්ම උදවු ඉල්ලුවේ අයි.ආර්.අයි.එස්. ඩේනා (IRIS Dena) ය. උදවු ඉල්ලන විටත් මෙය ඇමෙරිකන් සබ්මැරීනයක ටෝපීඩො ප්‍රහාරයකට ලක් වී විනාශ වී මුහුදුබත් වෙමින් තිබුණි. දෙවැනි ඉරාන යුද නැව, අයි.ආර්.අයි.එස්. බෂීර් (IRIS Bushehr) ය. මෙම අපෙන් උදවු ඉල්ලා සිටියේ නෞකාවේ ඇන්ජින් අක්‍රිය වීම නිසාය. ගොඩවිම සටන් වලදීත්, ගුවනේ සටන්වලදීත් මිසයිල භාවිතයට ගනී. සබ්මැරීන ද මිසයිලවලින් සමන්විතය. ඊට අමතරව ඔවුන් සතුව දිය යටින් ගමන් කරමින්, ඉලක්කවලට පහර දෙන මිසයිල වර්ගයක් ඇත. ටෝපීඩෝ යනු මේවාය. සිය යටින් එන මාරයා වන්නේ ටෝපීඩෝය. 

සරලව පැහැදිලි කළොත්, ටෝපිඩෝවක් යනු දිය යටදී ස්වයංක්‍රීයව ගමන් කළ හැකි, ඉලක්කයක් හඳුනාගෙන එය හා ගැටී පුපුරා යෑමට සැලසුම් කළ නාවික අවියකි. මේවා සබ්මැරීන, යුද නැව් හෝ ගුවන් යානා මගින් පවා මුදා හැරිය හැකි අතර, නූතන නාවික යුද උපක්‍රමවලදී සතුරකුට එල්ල කළ හැකි මාරාන්තික ප්‍රහාරයක් ලෙස මෙය සැලකේ. ඉරාන නැවට ටෝපීඩෝ ප්‍රහාරය එල්ල වන අයුරු සහ එය මුළුමනින්ම විනාශ වන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ඊට හොඳම ආසන්නතම උදාහරණයයි. ටෝපිඩෝවක් මූලික වශයෙන් කොටස් කිහිපයකින් සමන්විත වේ.

අනෙකුත් මිසයිලවල මෙන්ම ටෝපීඩෝවක ඉදිරිපස කොටසේ අධිබල පුපුරණ ද්‍රව්‍ය අඩංගු සවි කිරීමට කොටසක් ඇත. මෙය ටෝපීඩෝවේ හිසය. ටෝපීඩෝවේ මැද කොටසෙහි ඉන්ධන හෝ බැටරි ඇතුළත් බලශක්ති පද්ධතිය පිහිටා ඇත. වල්ගය වැනි කොටස එන්ජිම සහ ටෝපිඩෝව හසුරුවන පාලක පද්ධතියෙන් (Guidance System) සමන්විත වේ. 

ටෝපිඩෝවක් ක්‍රියා කිරීමේ තාක්ෂණය ඉතා සංකීර්ණ වේ. මුල් කාලීන ටෝපිඩෝ සරල රේඛාවක ගමන් කළත්, නූතන ටෝපිඩෝ සතුව සෝනාර් (Sonar) තාක්ෂණය පවතී. මේ හරහා ටෝපිඩෝව මගින් ශබ්ද තරංග නිකුත් කර සතුරු නෞකාව තිබෙන ස්ථානය නිවැරදිව හඳුනාගෙන ඒ දෙසට ගමන් කරයි. සමහර ටෝපිඩෝ සිහින් වයර් මගින් මව් නෞකාව සමඟ සම්බන්ධ වී පවතින අතර, එමගින් පාලක මැදිරියේ සිටින නිලධාරීන්ට එහි ගමන් මාර්ගය වෙනස් කිරීමට හැකියාව ලැබේ.

ඇතැම් ටෝපීඩෝ, සතුරු නැව්වලින් නිකුත් වන තාපය හෝ ශබ්දය හඹා යමින් ඉලක්කය කරා ගමන් කරයි. ටෝපිඩෝවක වේගය සහ දිශාව පාලනය කිරීම සඳහා එහි පසුපස ඇති කුඩා වරල් (Fins) සහ ප්‍රොපෙලර් පද්ධතිය භාවිතා වේ. ප්‍රධාන වශයෙන් ටෝපිඩෝ වර්ග දෙකක් හඳුනාගත හැකිය. ඒ, සැහැල්ලු ටෝපිඩෝ (Lightweight torpedoes) සහ බර ටෝපිඩෝ (Heavyweight torpedoes) වශයෙනි. 

සැහැල්ලු ටෝපිඩෝ සාමාන්‍යයෙන් හෙලිකොප්ටර් හෝ කුඩා නැව් මගින් සබ්මැරීන විනාශ කිරීමට යොදා ගනී. බර ටෝපිඩෝ සබ්මැරීන මගින් විශාල යුද නැව් විනාශ කිරීම සඳහා භාවිතා කෙරේ. මීට අමතරව සුපර්කැවිටේටින් (Supercavitating) නම් විශේෂ තාක්ෂණය භාවිතා කරන ටෝපිඩෝ ද පවතී. මේවා ජලය යටදී වායු බුබුලක් නිර්මාණය කර ගනිමින් ජලයේ ඇති ප්‍රතිරෝධය අඩු කර අතිමහත් වේගයකින් ගමන් කිරීමට සමත් වේ. 

රුසියාව සතු ෂ්ක්වාල් (Shkval) යනු එවැනි ඉතා වේගවත් ටෝපිඩෝ වර්ගයකි. ලෝකයේ බලගතු හමුදා සතු ටෝපිඩෝ පද්ධති අතර ඇමරිකා එක්සත් ජනපදය ඉදිරියෙන් සිටී. ඇමරිකානු නාවික හමුදාව ප්‍රධාන වශයෙන් Mk 48 (මාර්ක් 48) නම් බර ටෝපිඩෝව භාවිතා කරයි. මෙය සබ්මැරීන මගින් මුදා හරින අතර, එයට ඕනෑම ගැඹුරක ඇති සතුරු ඉලක්කයක් විනාශ කිරීමේ හැකියාව ඇත. එසේම ඔවුන් සතු Mk 54 සැහැල්ලු ටෝපිඩෝව ගුවන් යානා සහ නැව් මගින් සබ්මැරීන දඩයම් කිරීමට යොදා ගැනේ. 
රුසියාව, චීනය සහ එක්සත් රාජධානිය වැනි රටවල් ද ඉතා දියුණු ටෝපිඩෝ තාක්ෂණයන් පවත්වාගෙන යයි. උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍යයේ ස්පියර්ෆිෂ් (Spearfish) ටෝපිඩෝව එහි ඇති අතිවිශාල වේගය සහ නිරවද්‍යතාවය නිසා ලෝකයේ ප්‍රබලතම අවියක් ලෙස සැලකේ. ලෝකයේ බලවත්ම නාවික හමුදා සතු ටෝපිඩෝ තාක්ෂණයන් එකිනෙකට වෙනස් විශේෂත්වයන්ගෙන් යුක්ත වේ. 

ඇමෙරිකා එක්සත් ජනපදය සතු Mk 48 ADCAP (Advanced Capability) ටෝපිඩෝව ලෝකයේ වඩාත්ම විශ්වාසදායක සහ දියුණුම අවියක් ලෙස සැලකේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඉලක්කය මගහැරීමට සතුරා දියත් කරන ඕනෑම ආකාරයක ප්‍රති-උපක්‍රම (Countermeasures) හඳුනාගෙන ඒවා මර්දනය කරමින් සතුරු සබ්මැරීනය හෝ නැව නිවැරදිව හඹා යාමට ඇති හැකියාවය. 

ඇමෙරිකානු තාක්ෂණය වැඩිපුරම අවධානය යොමු කර ඇත්තේ ඉතා ගැඹුරු මුහුදේදී මෙන්ම නොගැඹුරු මුහුදේදී ද එකසේ ඉලක්කය සපුරා ගැනීමට සහ සන්නිවේදන පද්ධතිවල නිරවද්‍යතාවය ඉහළ නැංවීමටය. රුසියාවේ ටෝපිඩෝ තාක්ෂණය ඇමරිකාවට වඩා වෙනස් මාවතක ගමන් කරයි. රුසියාව සතු VA-111 ෂ්ක්වාල් ටෝපිඩෝව ලෝකයේ වේගවත්ම ටෝපිඩෝවක් ලෙස සැලකෙන්නේ එහි ඇති සුපර්කැවිටේෂන් (Supercavitation) තාක්ෂණය නිසාය. 

සාමාන්‍ය ටෝපිඩෝවක් ජලය යටදී ගමන් කරන විට ජලයේ ප්‍රතිරෝධය නිසා වේගය සීමා වුවද, රුසියානු ෂ්ක්වාල් ටෝපිඩෝව එහි තුඩෙන් වායු බුබුලක් නිකුත් කරමින් ඒ මැදින් ගමන් කරයි. එවිට ටෝපිඩෝව ජලය සමඟ ගැටෙන්නේ නැති නිසා පැයට කිලෝමීටර් 370කට වඩා වැඩි වේගයකින් සතුරා වෙත ළඟා වීමට එයට හැකියාව ලැබේ. 

මෙය ඇමෙරිකානු ටෝපිඩෝවලට වඩා වේගවත් වුවත්, එහි ශබ්දය වැඩි නිසා සතුරාට එය කලින් හඳුනාගැනීමේ අවස්ථාවක් පවතී. බ්‍රිතාන්‍යය සතු ස්පියර්ෆිෂ් ටෝපිඩෝව යුරෝපයේ බලවත්ම නාවික අවියක් ලෙස පිළිගැනේ. එහි විශේෂත්වය වන්නේ එහි ඇති අධි බලැති එන්ජිම සහ ඉන්ධන පද්ධතියයි. 

මෙය සාමාන්‍ය ටෝපිඩෝවකට වඩා වැඩි දුරක් සහ වැඩි වේගයකින් ගමන් කිරීමට සමත් වන අතර, එය සබ්මැරීනයකින් මුදා හැරීමෙන් පසු මව් නෞකාව සමඟ ෆයිබර් ඔප්ටික් (Fiber Optic) වයර් මගින් සම්බන්ධ වී පවතී. එමගින් ඉතාමත් සංකීර්ණ දත්ත හුවමාරු කර ගනිමින් අවසාන මොහොත දක්වාම ප්‍රහාරය පාලනය කිරීමට බ්‍රිතාන්‍ය නාවිකයින්ට හැකියාව ලැබේ. 

චීනය ද සිය Yu-7 සහ Yu-10 වැනි මාදිලි හරහා ඇමෙරිකානු සහ රුසියානු තාක්ෂණයන් මුසු කරමින් ඉතා දියුණු පද්ධති නිපදවා ඇති අතර, ඒවා විශේෂයෙන්ම දකුණු චීන මුහුද වැනි ප්‍රදේශවල ක්‍රියාත්මක වීමට විශේෂයෙන්ම සැලසුම් කර ඇත. මෙම ටෝපිඩෝ වර්ග අතර ප්‍රධාන වෙනස පවතින්නේ ඒවා ක්‍රියාත්මක වන ආකාරය සහ ඒවායේ අරමුණු මතයි.

ඇමරිකානු ටෝපිඩෝ ‘බුද්ධිමත්’ බැවින් සහ ඉලක්කය හඹා යාමේ නිරවද්‍යතාවයෙන් ඉදිරියෙන් සිටින අතර, රුසියානු ටෝපිඩෝ වේගය සහ සතුරාට ප්‍රතිචාර දැක්වීමට කාලය නොදීම යන කරුණු මත පදනම් වේ. බ්‍රිතාන්‍ය මාදිලි පාලනය කිරීමේ හැකියාව සහ දිගු දුර ප්‍රහාර සඳහා ප්‍රසිද්ධය. මේ සියලු තාක්ෂණයන් නිරන්තරයෙන් යාවත්කාලීන වන අතර, වර්තමානය වන විට කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කරමින් ස්වාධීනව තීරණ ගත හැකි ටෝපිඩෝ පද්ධති පිළිබඳවද මෙම රටවල් පර්යේෂණ සිදු කරමින් පවතී. 

ලුසිත ජයමාන්න 
Live Science ඇසුරිනි

Classified_Ad