
මිසයිලයක් යනු කිසියම් ඉලක්කයක් වෙත පුපුරණ ද්‍රව්‍ය රැගෙන යෑම සඳහා ස්වයංක්‍රීයව බලගැන්වෙන සහ ගමන් මග පාලනය කළ හැකි නවීන අවියයි. මෙය සරල රොකට්ටුවකට වඩා වෙනස් වන්නේ එහි ඇති මගපෙන්වීමේ පද්ධතිය (Guidance System) මගින් පියාසර කරන අතරතුර වුවද ගමන් මග නිවැරදි කරගනිමින් නිශ්චිත ඉලක්කය වෙතම ළඟා වීමට ඇති හැකියාව නිසාය.
රොකට් එන්ජිමක් හෝ ජෙට් එන්ජිමක් මගින් ක්‍රියාත්මක වන මිසයිල, ගොඩබිම, මුහුද හෝ ගුවන් යානයක සිට විදිය හැකි අතර, ඒවායේ ප්‍රමාණය සහ වේගය අදාළ යුදමය අවශ්‍යතාව අනුව විවිධ වේ.
ගමන් මග සහ ක්‍රියාකාරීත්වය අනුව මිසයිල ප්‍රධාන වර්ග දෙකකි. ඇමෙරිකාව, ඉරානයේ ඉලක්කවලට පහර දීමට බහුලව යොදා ගන්නා බව පැවැසෙන්නේ, ටොමහෝක් (Tomahawk) මිසයිලය.
ටොමහෝක් යනු ලොව වඩාත්ම දියුණු, ඉතා නිවැරදි ලෙස ඉලක්කයට යා හැකි කෲස් (Cruise Missile) මිසයිලයකි. මිසයිල තාක්ෂණය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. ඒ, කෲස් මිසයිල සහ බැලස්ටික මිසයිල (Ballistic Missiles) ආදී වශයෙනි.
1983 වසරේ සිට ඇමෙරිකානු හමුදාව සතු ප්‍රධානතම අවියක් ලෙස ටොමහෝක් මිසයිල හඳුන්වා දිය හැක.
ටොමහෝක් මිසයිල සාමාන්‍ය මිසයිලයක් මෙන් නොව, කුඩා ජෙට් යානයක් මෙන් පියාපත් දිගහැර ඉතා පහත් මට්ටමකින් (පොළොවට ආසන්නයෙන්) ගමන් කරයි.
මේ නිසා සතුරු රේඩාර් පද්ධතිවලටහසු නොවී ගමන් කිරීමේ සුවිශේෂී හැකියාවක් ඇත. මඟ පෙන්වීමේ තාක්ෂණය (Guidance System): GPS තාක්ෂණයට අමතරව, මෙහි ඇති TERCOM (Terrain Contour Matching) පද්ධතිය මගින් පියාසර කරන භූමියේ හැඩය හඳුනාගෙන, කලින් සැලසුම් කළ මාර්ගයේම ගමන් කිරීමට මඟ පෙන්වයි.
කිලෝමීටර් 1,600කට වඩා ඈතින් පිහිටි ඉලක්කයක් වුවද, මීටර් කිහිපයක නිරවද්‍යතාවයකින් යුතුව විනාශ කිරීමට මෙම මිසයිලවලට හැකිය. මෙම මිසයිල ප්‍රධාන වශයෙන් යුද නැව් සහ සබ්මැරීන් මගින් දියත් කිරීම සිදු කරයි.
ටොමහෝක් මිසයිලයක් ගුවනේදී පාලනය කළ හැකි අතර, අවශ්‍ය නම් ඉලක්කය වෙනස් කිරීමට හෝ ඉලක්කය වටා කැරකෙමින් (Loitering) සුදුසුම මොහොත එළඹෙන තෙක් රැඳී සිටීමට පවා නවතම මාදිලියේ මිසයිලවලට හැකියාව ඇත.
ලුසිත ජයමාන්න
Live Science ඇසුරිනි