
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී, ඉරානයට පහර දීම ආරම්භ කළේ පසුගිය 28 වැනිදා ය. ඉරාන උත්තරීතර නායකයා ලෙස කටයුතු කරමින් සිටි අයතුල්ල අලි කමේනී, ඔහුගේ පවුලේ සාමාජිකයන් පමණක් නොව, ඉරාන රජයේ ඉහළ නිලධාරීන් ද එක පොදියට මරා දැමුණි.
ඒ, තෙහෙරාන් අගනුවර, කමේනිගේ නිවසට එල්ල වුණු එක් මිසයිල ප්‍රහාරයකිනි. මිිල ප්‍රහාරය එල්ල වූයේ කමේනී, සිය නිවසේ බිම් මහලේ ඉදි කළ ශක්තිමත් බංකරයක ඉරාන රජයේ ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා උදේ ආහාරය අනුභව කරමින් සිටිද්දීය. මිසයිලය එල්ල කළේ ඊශ්‍රායලයයි. එය එසේ මෙසේ මිසයිලයක් නම් නොවෙයි. එය බ්ලූ ස්පැරෝ (Blue Sparrow) ය.
බැලස්ටික් මිසයිල (Air-launched Ballistic Missile - ALBM) වර්ගයක් ලෙස සැලකෙන බ්ලූ ස්පැරෝ, මිසයිල තාක්ෂණයේ විශිෂ්ටත්වය පෙන්වන නවීන අවියකි. මෙය නිපදවන්නේ, ඊශ්‍රායලයේ රෆායෙල් (Rafael) උසස් ආරක්ෂක පද්ධති ආයතනයයි. මෙය සාමාන්‍ය මිසයිල මෙන් පොළොවේ සිට ගුවනට විදින්නේ නැත. සතුරු ඉලක්කය හඳුනා ගත් පසු F-15 ඊගල් වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් මෙම මිසයිලය ගුවනට රැගෙන ගොස් එය මුදා හරී.
මිසයිලය පණ ගැන්වී එය පළමුවෙන් පෘථිවි කක්ෂයේ වායු ගෝලයේ ඉහළ කෙළවර දක්වා ඉහළට වේගයෙන් ගමන් කරයි. වායු ගෝලයේ ඉහළ කෙළවර දක්වා ගිය මිසයිලය ඉන්පසු ආපසු හැරී අදාළ ඉලක්කයට පැමිණෙයි. ඉතා වේගයෙනි.
බ්ලූ ස්පැරෝ මිසයිලය දිගින් මීටර් 6.5 ක් පමණ වන අතර බර කිලෝග්‍රෑම් 1,900 ක් පමණ වේ.
මෙයට කිලෝමීටර් 2,000 ක් වැනි ඉතා ඈත ඉලක්ක කරා වුවද ඉහළ නිරවද්‍යතාවයකින් ළඟා වීමේ හැකියාව පවතී. අධි ආරක්ෂක බංකරයක සැඟවී සිටි ඉරාන උත්තරීතර නායකයා සොයා ආවේ එම මිසයිලයයි. මිසයිලයට අදාළ ඉලක්කය ගැන සියලු තොරතුරු ලබා දුන්නේ ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි අංශ ඔත්තුකරුවන්ය.
ලුසිත ජයමාන්න
Mint ඇසුරිනි