
මෙය අබිරහසක් පිළිබඳ කතාවකි. අභිරහස් මරණ, ඝාතන සහ අතුරුදන්වීම් ගැන කතාවකි. අවාසනාවන්ත ඉරණමකට මුහුණ දී ඇත්තේ ඇමෙරිකන් හමුදාවේ විශ්‍රාමික ජෙනරාල්වරයකු ද ඇතුළු 10 දෙනෙකි. විශ්‍රාමික ජෙනරාල්වරයා හැර සෙසු නව දෙනා විද්‍යාඥයන්ය. පර්යේෂකයන්ය. දස දෙනාගෙන් පස් දෙනකු අබිරහස් ලෙස මියගොස් ඇත. එයින් දෙදෙනකු ඝාතනය වී ඇතැයි ද පැවැසෙයි. ඉතිරි තිදෙනාගේ මරණ සැක සහිත යැයි ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ පවසති. අනෙක් පස් දෙනා කිසිදු හෝඩුවාවක් නොමැතිව අබිරහස් ලෙස අතුරුදන් බව පැවැසෙයි. හමුදා ජෙනරාල්වරයා ද අතුරුදන්වූවන්ගේ ලැයිස්තුවේ සිටී.
හමුදා ජෙනරාල්වරයා ඇතුළු මෙම පිරිස එසේ මෙසේ අය නොවෙයි. ඔවුන් ඇමෙරිකාවේ ලොකුම රහස් දැන සිටි අය යැයි පැවැසෙයි. ඔවුන්, හඳුනා නොගන් පියසැරි වස්තූන් (පියාඹන පීරිසි සහ පිටසක්වළයන්) ගැන, අභ්‍යවකාශයේ රහස් ගැන සහ ඇමෙරිකාවේ න්‍යෂ්ටික රහස් ගැන දැන සිටි අය යැයි මාධ්‍ය පවසයි. ඉතිං, ඔවුන්ට සිදුවූයේ කුමක්ද? මෙම දස දෙනාගේ මරණ සහ අතුරුදන්වීම් ගැන පොලිසිය නිහඬය. අතුරුදන්වූවන් ගැන කිසිදු හෝඩුවාවක් ලැබී නැත. සිදුවුණු ඝාතන සම්බන්ධයෙන් තවමත් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත. එෆ්බීඅයි වැනි ඇමෙරිකන් ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව පෙනෙයි. ඒත් ඇමෙරිකන් මාධ්‍ය නිහඬ නැත. ඔවුන් දිගටම මේ ගැන සොයා බලමින් සිටී.
සුපුරුදු පරිදි පසුගිය දා ධවල මන්දිරයේ මාධ්‍ය හමුව පැවැත්විණි. ඒ, සිදුවන්නේ කුමක්දැයි (විශේෂයෙන් ඇමෙරිකා ඉරාන යුද්ධය ගැන) මාධ්‍ය දැනුවත් කිරීම සඳහාය. එහිදී මාධ්‍යවේදීහු මියගිය, ඝාතනය වූ සහ අතුරුදන් විද්‍යාඥයන් සම්බන්ධයෙන් ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා කැරොලයින් ලීවිට්ගෙන් විමසීමක් කළහ. මෙම විද්‍යාඥයන් එකිනෙකා මියයෑම සහ අතුරුදන් වීම සිදුවී ඇත්තේ 2023 වසරේ සිටය. අවසන් අතුරුදන්වීම සිදුවූයේ ඉකුත් පෙබරවාරියේය. අවසන්වරට අතුරුදන් වූයේ විශ්‍රාමික හමුදා ජෙනරාල්වරයා ය.
මාධ්‍යවේදීන්, ධවල මන්දිරයේ දී, මෙම විද්‍යාඥයන් සහ හමුදා ජෙනරාල්වරයා ගැන ප්‍රශ්න කළ පළමු අවස්ථාව මෙය වුණු අතර, එවැනි ප්‍රශ්න ඇසීමකට මුහුණ දීමට සිදුවේවි යැයි කැරොලයින් දැන සිටියේ නැත. “ඔබ ඔය මතු කළ කාරණාව සම්බන්ධයෙන් මා කිසිවක් දන්නේ නැහැ. ඒත් මා අදාළ ආයතන සමඟ ඒ ගැන කතා කරනවා.” යැයි කැරොලයින් පිළිතුරු දුන්නාය.
අවසන් වරට හෝඩුවාවක් නොමැතිව අතුරුදන් වූයේ විශ්‍රාමික ගුවන් හමුදා ජෙනරාල් විලියම් නීල් මැක්කාස්ලන්ඩ්ය. ඒ, පෙබරවාරි 27 වැනිදාය.
‘දෙවියන්ට ඔප්පුවෙච්චාවේ!! ඇමෙරිකාවේ රහස් දන්න ප්‍රධාන විද්‍යාඥයන් සහ පර්යේෂකයන් අතුරුදන් වෙනවා. විශ්‍රාමික ඇමෙරිකා හමුදා ජෙනරාල්වරයකු පවා ඒ අතරේ ඉන්නවා. ට්‍රම්ප් පරිපාලනය ඒ ගැන උනන්දුවක් නැහැ. මාධ්‍ය ප්‍රකාශිකාව කිසිවක් දන්නේ නැහැ’ යැයි ඇමෙරිකානුවන් බොහෝ දෙනකු සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කර ඇත.
විද්‍යාඥයන්ගේ මරණ සහ අතුරුදන්වීම්, එකිනෙකට සම්බන්ධ යැයි මාධ්‍ය අනාවරණය කිරීමට පටන් ගත්තේ, විශ්‍රාමික ජෙනරාල් මැක්කාස්ලන්ඩ්ගේ අතුරුදහන් වීමත් සමගය.
මැක්කාස්ලන්ඩ්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලින් පැහැදිලි හෝඩුඩාවක් නොලැබුණු බැවින්, ස්වාධීන විමර්ශන පෞද්ගලික මට්ටමින් පැවැත්විණි. ඒ, මැක්කාස්ලන්ඩ්ගේ බිරිඳගේ ඉල්ලීමට අනුවය. ස්වාධීන විමර්ශනවලින් හෙළි වූයේ අතුරුදහන් සහ ඝාතනයට ලක්වුණු විද්‍යාඥයන් සහ මැක්කාස්ලන්ඩ් එකිනෙකා අතරේ සම්බන්ධයක් ඇති බවය.
විශ්‍රාමික ජෙනරාල් මැක්කැස්ලන්ඩ්, ඇමෙරිකාවේ අතිශය රහසිගත, හඳුනා නොගත් පියසැරි වස්තූන් සම්බන්ධ ව්‍යාපෘති රැසකට සම්බන්ධ සහ එම වැඩසටහන් අධීකෂණය කළ අයෙකි.
68 හැවිරිදි මැක්කැස්ලන්ඩ් පෙබරවාරි 27 වැනිදා නිවසින් බැහැරව ගොස් ඇත. ඔහු ඔහුගේ ජංගම දුරකතනය, පසුමිබිය, යතුරු හෝ වෙනත් කිසිවක් රැගෙන ගොස් නැත. රැගෙන ගොස් ඇත්තේ ඔහුගේ පිස්තෝලය පමණි. ඔහු එදින නිවසට නොපැමිණි බැවින් බිරිඳ 911 හදිසි ඇමතුමට ඒ බව දැනුම් දුන්නාය.
පොලිසියෙන් පිළිසරණක් නොලැබුණු බැවින්, ජෙනරාල්වරයාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් විමර්ශනය කළ පෞද්ගලික විමර්ශන කණ්ඩායමට පැහැදිලි වූයේ 2025 මැයි සහ අගෝස්තු මාස අතර, තවත් අතුරුදහන් වීමේ සිද්ධීන් හතරක් සිදුවුණු බවත්, එම අතුරුදන්වීම් ද ජෙනරාල්වරයාගේ අතුරුදහන් වීමට සමාන බවත්, එම හතරදෙනා සහ ජෙනරාල්වරයා එකිනෙකා හඳුනන බවත්ය.
1947 වසරේ සිදුවුණු රෝස්වෙල් සිද්ධිය නොදන්න කෙනකු නොමැත.
1947 වසරේ පිටසක්වළ ජීවීන් රැගත් පියාඹන පීරිසියක් රොස්වෙල්වලට කඩා වැටුණු බවත්, එම යානයේ තාක්ෂණය ඇමෙරිකා හමුදාව අතට පත්වුණු බවත්, යානයේ සිටි මියගිය සහ පණ ඇති පිටසක්වළයන් පර්යේෂණවලට යොදා ගත් බවත් පැවැසෙයි. ඇමෙරිකන් හමුදාව පවසන්නේ කඩා වැටුණේ පිටසක්වළ යානයක් නොව, කාලගුණ නිරීක්ෂණ බැලූනයක් බවය.
1947 වසරේ රොස්වෙල් සිද්ධියට අදාළ පිටසක්වළ යානයේ සුන්බුන් සහ පිටසක්වළ ජීවීන් රැගෙන ගියේ රයිට්-පැටර්සන් ගුවන් හමුදා කඳවුරේ පිහිටි ගුවන් හමුදා පර්යේෂණාගාරයටය. මෙම පර්යේෂණාගාරයේ අධීක්ෂණ කටයුතු කළේ මැක්කාස්ලන්ඩ්ය.
ඒ අනුව, රොස්වෙල් සිද්ධියේ ඇත්ත නැත්ත හොඳින්ම දන්න තැනැත්තා වන්නේ ද මැක්කාස්ලන්ඩ්ය.
ජෙනරාල්වරයාට පෙර, 2023 වසරේ සිට මේ දක්වා අතුරුදන් වුණු විද්‍යාඥයන් වන්නේ, ඇන්තනි චාවේස්, මෙලිසා කැසියාස්, මොනිකා ජසින්ටෝ රේසා, ස්ටීවන් ගාසියා ය. මියගිය විද්‍යාඥයන් වන්නේ කාල් ග්‍රිල්මයර්, ෆ්රෑන්ක් මෙයිවෝල්ඩ්, ජේසන් තෝමස්, නුනෝ ලූරෙයිරෝ සහ මයිකල් ඩේවිඩ් හික්ස්ය.
60 සහ 70 දශකයේ රොකට් එන්ජින් සඳහා භාවිතා කරන මොන්ඩලෝයි නමැති සුවිශේෂී ලෝහය පිළිබඳ පර්යේෂණ සිදුවූයේ ගුවන් හමුදා පර්යේෂණාගාරයේය. මෙම පර්යේෂණ සිදු කළේ මොනිකා ජසින්ටෝ රේසා විද්‍යාඥවරියයි. රයිට්-පැටර්සන් ගුවන් හමුදා කඳවුරේදී ඇගේ පර්යේෂණ අධීක්ෂණය කළේ මැක්කාස්ලන්ඩ්ය.
2025 ජුනි 22 දා 60 හැවිරිදි රේසා, කැලිෆෝනියාවේ මිතුරන් සමඟ කඳු නගින්න ගොස් සිටිද්දී අතුරුදන් වූවාය. කිසිදු හෝඩුවාවක් ලැබුණේ නැත. අතුරුදහන් වන විට ඇය නාසා ආයතනයේ ජෙට් ප්‍රචාලන විද්‍යාගාරය හා සම්බන්ධව පර්යේෂණවල නියැලෙමින් සිටියාය.
48 හැවිරිදි ස්ටීවන් ගාර්ෂියා, 2025 අගෝස්තු 28 වැනිදා කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් විය. ඔහු අවසන් වරට දක්නට ලැබුණේ ඇල්බකර්කි, නිව් මෙක්සිකෝ නිවසෙන් පිටවී පයින්ම යන ආකාරයයි. ආරක්ෂක කැමරා කීපයක ඔහු බැහැරව යන ආකාරය සටහන් වී ඇත. ඒත් ඊට වඩා හෝඩුවාවක් පොලිසියට ලැබී නැත. ඔහු අතැතිව තිබුණේ ද පිස්තෝලයක් පමණි.
ගාර්ෂියා, කන්සාස් සිටි නගරයේ, ජාතික ආරක්ෂක පර්යේෂණායතනයේ කොන්ත්‍රාත්කරුවකු ලෙස සේවය කළ අයෙකි. ඇමෙරිකන් හමුදාවේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය සඳහා අවශ්‍ය න්‍යෂ්ටික නොවන අමතර කොටස්වලින් සියයට 80 කට වඩා නිෂ්පාදනය කරනු ලබන්නේ මෙම පර්යේෂණායතනයේය.
ඇන්තනි චාවේස් සහ මෙලිසා කැසියාස් යන දෙදෙනාම රටේ වැදගත්ම න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානයක් වන ලොස් ඇලමෝස් ජාතික විද්‍යාගාරයේ සේවය කළ බව පැවැසෙයි.
79 හැවිරිදි චාවේස්, 2017 දී විශ්‍රාම යන තෙක් එම විද්‍යාගාරයේ සේවය කර ඇතත්, එහි ඔහු ඉටු කළ කාර්යභාරය රහසකි. 54 හැවිරිදි කැසියාස්, එම පර්යේෂණ මධ්‍යස්ථානයේ, ක්‍රියාකාරී පරිපාලන සහායිකාවක ලෙස කටයුතු කළ අතර, ඇය රහස් ව්‍යාපෘති රැසකට සම්බන්ධ අයකු බව පැවැසෙයි.
මොවුන් දෙදෙනා තම මෝටර් රථ, යතුරු, මුදල් පසුම්බි සහ දුරකථන නිවසේ දමා නිවසින් පිටවුණු බව පැවැසෙයි. නිවසේ සිටිද්දී ඝාතනය වූයේ න්‍යෂ්ටික භෞතික විද්‍යාඥ නුනෝ ලූරෙයිරෝ සහ තාරකා භෞතික විද්‍යාඥ කාල් ග්‍රිල්මයර් යන දෙදෙනාය. මොවුන් දෙදෙනා, දුරේක්ෂ, චන්ද්‍රිකා පද්ධති සහ මිසයිල නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කළ අය යැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි.
ලුසිත ජයමාන්න
ඩේලි මේල් ඇසුරිනි