
මාස්ටර්චෙෆ් ශ්‍රී ලංකා (MasterChef Sri Lanka) තරඟාවලියේ මංගල අදියරේ අවසන් මහා තරගය අද (9) රාත්‍රී 8 ට සුපුරුදු පරිදි ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ.
ඒ අනුව මාස කිහිපයක් පුරා, දිවයිනේ සූපශාස්ත්‍ර ලෝලීන් පමණක් නොව සියලු දෙනා අමන්දානන්දයටත්, කුතුහලයටත් පත් කළ ‘මාස්ටර්චෙෆ් ශ්‍රී ලංකා’ තරගාවලියේ ජයග්‍රාහයා කවුරුන්දැයි අද රාත්‍රියේ අනාවරණය වනු ඇත.
මාස්ටර්චෙෆ් යනු ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ, සූපශාස්ත්‍ර හැකියාවන් මැන බලන රියැලිටි රූපවාහිනී තරඟාවලියකි.
ලොව පුරා රටවල් 60 කට වැඩි ගණනක මාස්ටර්චෙෆ් තරගාවලි දකින්න ලැබේ. ඉවුම් පිහුම් සඳහා දැඩි ඇලුම් කරන සහ සහජ දක්ෂතා ඇති මෙන්ම ඉවුම් පිහුම්වලට දක්ෂ ඕනෑම අයකුට මෙම තරගාවලියට ඇතුළත් විය හැක.
‘මාස්ටර්චෙෆ් ශ්‍රී ලංකා’ තරගාවලියේ ප්‍රධාන අරමුණ අප කෑම, අප සංස්කෘතිය ජාත්‍යන්තරයට රැගෙන යෑමය.
‘මාස්ටර්චෙෆ් ශ්‍රී ලංකා’ තරගාවලිය සඳහා තෝරාගත් තරගකරුවන් අතරින් එකිනෙකා අභිබවා යමින්, අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබ සිටින්නේ තරඟකරුවන් දෙදෙනකු සහ තරගකාරියකි.
ඒ, සන්දීප, මනෝජ් සහ මරීයා ය. එකිනෙකාට නොදෙවැනි තියුණු සටනකින් පසු මොවුන් තිදෙනාගෙන් කෙනකු අද රාත්‍රියේ ‘මාස්ටර්චෙෆ් ශ්‍රී ලංකා’ සුපිරි තරුව ලෙස කිරුළු පලදිනු ඇත.