සුපිරි හැකරා: Mythos AI - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

May 9, 2026

සුපිරි හැකරා: Mythos AI

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පිහිටි වෝල්ස්ට්‍රීට් ලෝක ආර්ථිකයේ හදවතය. මෙය නිව්යෝක් නුවර වීදියකි. ඇමෙරිකන් කොටස් වෙළෙඳපොළ, ප්‍රධාන බැංකු සහ මූල්‍ය ආයතන මෙම වීදියේ පිහිටා ඇත. මුළු ලෝකයේම මුදල් සංසරණය වන ආකාරය තීරණය කරන ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස සැලකෙන්නේ ද වෝල්ස්ට්‍රීට්ය. 

ඇමෙරිකාවේ විශාලතම බැංකුව වන ජේ.පී. මෝගන් චේස්, වෝල්ස්ට්‍රීට් වීදියේ බලවතාය. ගෝල්ඩ්මන් සැක්ස් යනු ආයෝජන කටයුතු සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛතම බැංකුවය. මෝගන් ස්ටැන්ලි ලොව පුරා විසිරුණු මූල්‍ය සේවා සපයන ප්‍රධාන ආයතනයයි. සිටිගෲප් බැංකුව, ලොව පුරා රටවල් රැසක ව්‍යාප්ත වී ඇති ප්‍රධාන වාණිජ බැංකුවවලින් එකකි. 

බෑන්ක් ඔෆ් ඇමෙරිකා යනු වෝල්ස්ට්‍රීට්හි තීරණාත්මක බලපෑමක් ඇති තවත් ප්‍රධාන බැංකුවකි. ඇමෙරිකන් බලධාරීන් පසුගිය දා වෝල් ස්ට්‍රීට් බැංකු ප්‍රධානීන් සමග විශේෂ හදිසි හමුවක් පැවැත්විණි. ඒ, මූල්‍ය අර්බුදයක් ගැන සාකච්ඡා කිරීමට හෝ කොටස් වෙළෙඳ පොළ බිඳ වැටීමක් ගැන සාකච්ඡා කිරීමට හෝ නොවෙයි. 

හදිසි හමුව පැවැත්වූයේ මෙම බැංකු භාවිත කිරීමට සූදානම් වන ඒ.අයි. හෙවත් කෘත්‍රිම බුද්ධි මෙවලමක් ගැන සාකච්ඡා කිරීමටය. මෙම හදිසි හමුවට මුල් වූ ඒ.අයි. හෙවත් කෘත්‍රිම බුද්ධි මෙවලම මයිතෝස් ය. හමුව පැවැත්වීමට හේතු වූයේ ඇමෙරිකන් බලධාරීන් මයිතෝස් ගැන බියෙන් පසුවීමය. ඇමෙරිකන් බැංකු සහ මූල්‍ය ආයතන මයිතෝස්ගේ සේවය ලබා ගැනීමට උනන්දුවක් දක්වන්නේ ඔවුන්ගේ කටයුතු සාර්ථක කර ගැනීමටය.

මයිතෝස් ඇන්ත්‍රොපික් සමාගම විසින් නිර්මාණය කළ තවත් කෘත්‍රිම බුද්ධි මෙවලමකි. මයිතෝස් එසේ මෙසේ කෘත්‍රිම බුද්ධි මෙවලමක් නොවෙයි. ඇමෙරිකන් රජයේ බලධාරීන් මයිතෝස් ගැන බියවීම සාධාරණය. මයිතෝස් නිසා නව මාදිලියේ තර්ජනයක් එල්ල වීමේ අවධානමක් ඇති බව බලධාරීන් හඳුනාගෙන ඇත. 

පරිගණක විශේෂඥයන් පෙන්වා දෙන ආකාරයට, මයිතෝස් යනු මෙතෙක් නිපදවා ඇති බලගතුම ඒ.අයි. හෙවත් කෘත්‍රිම බුද්ධි මෙවලමය. ඇතැමුන් මයිතෝස් හඳුන්වන්නේ සුපිරි හැකරකු ලෙසය. හැකරුන් යන වදන ශ්‍රී ලංකාවේ අපට ආගන්තුක නැත. හැකරුන් යනු පරිගණක දත්ත සොරුන්ය. සයිබර් අපරාධකරුවන්ය.

එහෙත්, මයිතෝස් නිර්මාණය කර ඇත්තේ නීති විරෝධී ක්‍රියා සඳහා නොවෙයි. හැකරකු ලෙස ක්‍රියා කිරීමට නොවෙයි. එසේ වුවත් මයිතෝස් හැකරකුට දෙවැනි නොවෙයි. මිනිස් හැකරකු සේම, මයිතෝස් ට ද පරිගණක පද්ධතිවලට අනවසරෙයන් ප්‍රවේශ විය හැකිය. හැකරුන් පරිගණක පද්ධතිවල ඇති හිඩැස් නැතිනම් දෝෂ හඳුනා ගනිමින්, ඒවා භාවිතයට ගෙන එම පද්ධතිවලට අනවසරයෙන් ප්‍රවේශ වෙයි. 

මිනිස් හැකරුන්ට වඩා වේගයෙන් මයිතෝස්ට මෙවැනි දේ කළ හැකිය. මයිතෝස් නිර්මාණය කළ ඇන්ත්‍රොපික් සමාගම යනු කෘතිම බුද්ධි ක්ෂේත්‍රයේ ලොව ප්‍රධාන පෙළේ ඇමෙරිකන් සමාගමකි. එහි මූලස්ථානය ඇත්තේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේය. 

ඇන්ත්‍රොපික් වඩාත් ප්‍රසිද්ධ, අප කවුරුත් දන්නා චැට් ජීපීටී නිර්මාණය කළ ඕපන් ඒ.අයි. සමාගමේ ප්‍රධානතම තරඟකරුවා ලෙසය. 2021 දී ඇන්ත්‍රොපික් සමාගම ආරම්භ කරනු ලැබුවේ ඕපන් ඒ.අයි. සමාගමේ හිටපු ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිරිසක් විසිනි. 

මයිතෝස් මෙවලම නිර්මාණය කළ ඇන්ත්‍රොපික් සමාගමේ නිර්මාණකරුවන් පවා පවසන්නේ මයිතෝස් ඉතා අනතුරුදායක ඒ.අයි. මෙවලමක් බවය. මයිතෝස් මෙවලම නිර්මාණය කිරීමේ අරමුණ පරිගණක පද්ධති ආරක්ෂා කිරීමය. මයිතෝස් මෘදුකාංග ස්කෑන් කරයි. දුර්වල තැන්, අඩුපාඩු සහ දෝෂ හඳුනා ගනී. 

හැකරුන්ට අනවසරයෙන් ඇතුළු විය හැකිදැයි සොයා බලයි. ගැටලුව මෙයයි. මයිතෝස් යොදා ගනිමින් අත්හදා බැලීම් කරද්දී, මයිතෝස්ට ‘සීරෝ ඩේ ෆ්ලෝස්’ දහස් ගණනක් හඳුනා ගැනීමට හැකිවිය. ‘සීරෝ ඩේ ෆ්ලෝස්’ යනු පරිගණක කේතකරණයේ දී භාවිතයට වන වදනකි. 

කිසියම් මෘදුකාංගයක් නිර්මාණය කරන පුද්ගලයන්ට පවා මඟ හැරෙන, ඔවුන්ට හසු නොවන, ඔවුන් නොදන්නා දෝෂ සහ අඩුපාඩු මෙම නමින් හැඳින්වෙයි. ‘සීරෝ ඩේ ෆ්ලෝස්’ ඇති බව මෘදුකාංග නිර්මාණකරුවන් පවා දන්නේ නැත. මෙවැනි අඩුපාඩු ඇති විට ඒවා සැණින් නිවැරදි කළ නොහැකිය. 

හැකරුන්ට අනවසර පිවිසීම් සඳහා යොදා ගන්නේ මෙවැනි අඩුපාඩුය. එය අධි ආරක්ෂිත ගොඩනැගිල්ලකට පිවිසෙන, කිසිවකු නොදන්නා අගුලු නොදැමූ රහස් දොරටුවක් සොයා විවර කරනවා වැනිය. මෙවැනි ‘දොරටු’ සොයා ගැනීමට මයිතෝස් හපනෙකි. මයිතෝස් මිනිස් හැකරකු අතට පත්වුවහොත් කුමක් වේවිද? 

පද්ධති ආරක්ෂා කිරීමට භාවිත කරන මයිතෝස්ට, එම පද්ධතිවලට ඇතුළු වී ඒවා හැක් කිරීම නැතිනම් දත්ත සොරකම් කිරීම හෝ කඩාකප්පල් ක්‍රියා කිරීමට හැකියාව ඇත. බලධාරීන්ගේ බිය මේ ගැනය. හැකරකු අතට මයිතෝස් පත්වුවහොත්, ඉලක්ක රැසකට එකවර පහර දීම පකළ හැකි වෙයි. 

සියල්ල පරිගණක ගතකර ඇති බැවින් බැංකු අඩපණ කර මුදල් කොල්ලකෑම් කළ හැකිය. බැංකු පද්ධති පමණක් නොව, බලශක්ති පද්ධති ආදිය එකවර එක සැණින් අඩපණ කළ හැක. ආණ්ඩු පෙරැළීම් කළ හැකිය. මයිතෝස් සම්බන්ධයෙන් හටගත් බිය සාධාරණය. 

 මේවනවිට ජේ.පී. මෝගන් චේස්, ගෝල්ඩ්මන් සැක්ස් සහ මෝගන් ස්ටැන්ලි යන බැංකු සීමිත ප්‍රවේශයක් ලබා දෙමින් මයිතෝස් භාවිතයට දැනටමත් කැමැත්ත දී අවසන්ය. තවත් ප්‍රධාන පෙළේ බැංකු ද මයිතෝස් භාවිතයට ගැනීමට සූදානමින් සිටී. ඒ, බැංකු කටයුතු දෝෂ නැතිව, තවත් සාර්ථකව කරගෙන යෑමේ අරමුණින්ය. ගැටලුව මෙයයි. මයිතෝස් පාලනය කරන්නේ කවුරුන්ද? එය පවතින්නේ කා යටතේද? 

දැනට එය ඇත්තේ ඇන්ත්‍රොපික් සමාගමේ කීප දෙනකු යටතේ පමණි. ඇන්ත්‍රොපික් සමාගම, මයිතෝස් පෞද්ගලික ‘පරිගණක වැඩසටහනක’ ට සීමා කර ඇත. සිර කර ඇතැයි කීවොත් එය ද වැරදි නැත. මේ පෞද්ගලික ‘පරිගණක වැඩසටහන’ හැඳින්වෙන්නේ ග්ලාස්වින්ග් ව්‍යාපෘතිය (ප්‍රොජෙක්ට් ග්ලාස්වින්ග්) යනුවෙනි. ප්‍රොජෙක්ට් ග්ලාස්වින්ග් යනු කෘත්‍රිම බුද්ධියවඩාත් විනිවිදභාවයකින් යුතුව තේරුම් ගැනීම සඳහා ඇරැඹූ කර ඇති සුවිශේෂී ව්‍යාපෘතියකි. 

සාමාන්‍යයෙන් ඒ.අයි. මාදිලි ක්‍රියා කරන ආකාරය බ්ලැක් බොක්ස් එකක් ලෙස හැඳින්වෙන අතර (එනම්, යමක් සිදුවන නමුත් එය සිදුවන්නේ කෙසේදැයි නොදැනීම), මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ එම අභ්‍යන්තර ක්‍රියාවලිය මිනිසාට තේරුම් ගත හැකි මට්ටමට පත් කිරීමය. 

මෙහිදී ඒ.අයි. මාදිලියක් තුළ ඇති මිලියන ගණනක් වන ‘නියුරෝන’ අතර සිදුවන සංකීර්ණ ගණිතමය සම්බන්ධතා, අපට තේරුම් ගත හැකි සංකල්ප (උදාහරණයක් ලෙස: වර්ණ, ස්ථාන, හෝ හැඟීම්) ලෙස වෙන් කර හඳුනා ගැනීමට උත්සාහ කරයි. ප්‍රොජෙක්ට් ග්ලාස්වින්ග් හරහා ඒ.අයි. මාදිලියක් යම් පිළිතුරක් ලබා දුන්නේ ඇයිද යන්නත්, එහිදී එය භාවිතා කළ තර්කය කුමක්ද යන්නත් පැහැදිලිව දැකගත හැකිය. ග්ලාස්වින්ග් යනු විනිවිද පෙනෙන පියාපත් යන්නය. 

ග්ලාස්වින්ග් සමනලයාගේ පියාපත් සිහිපත් කරමින් මෙම නම යොදා ඇත. ඒ.අයි. පද්ධති වැරදි තොරතුරු ලබා දීම හෝ පක්ෂග්‍රාහී වීම වැළැක්වීමට නම්, ඒවා ක්‍රියා කරන ආකාරය අප හරියටම දැන සිටිය යුතුය. ග්ලාස්වින්ග් ව්‍යාපෘතිය මගින් ඒ.අයි. පාලනය කිරීම සහ එහි ආරක්ෂාව තහවුරු කිරීම පහසු කරයි. 

ලුසිත ජයමාන්න 
First Post ඇසුරිනි

Classified_Ad