
වෘත්තීය මට්ටමින් රැකියාවක් හෝ පිළිගැනීමක් ලබා ගැනීමට අපොහොසත් ඇතැම් තරුණ තරුණියන්, මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ලෙස කටයුතු කරමින්, තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ ඉවක් බවක් නොමැතිව සියලු දේ හාරඅවුස්සමින් රටේ පාලන ක්‍රමයට සහ අධිකරණ පද්ධතියට බාධා කරන බවට අගවිනිසුරු සූර්යා කාන්ත්, චෝදනා කළේය.
සමාජයට වින කරන එවැනි පුද්ගලයන් පිළිකුල්සගත ‘කැරපොත්තන්’ ලෙස හැඳින්වීමට ද අගවිනිසුරුවරයා අමතක කළේ නැත. අගවිනිසුරුවරයාගේ මෙම ප්‍රකාශය, ඉන්දියානු ‘ජෙන් සී’ තරුණ තරුණියන්ගේ දැඩි විරෝධයට හේතුවක් විය. ඉන්දීය කැරපොතු ජනතා පක්ෂයේ ආරම්භය එයයි.
‘ඉන්දීය කැරපොතු ජනතා පක්ෂය’ යනු විරෝධතා ව්‍යාපාරයකි. මෙය දේශපාලන පක්ෂයක් නොවෙයි. ඉන්දීය මැතිවරණ කොමිසම හමුවේ ලියාපදිංචි වූ පක්ෂයක් ද නොවෙයි. මෙම පක්ෂය, ‘ඉන්දීය කැරපොතු ජනතා පක්ෂය’ යන නමින් නම් කෙරුණේ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලක භාරතීය ජනතා පක්ෂය උපහාසයට ලක් කරමිණි.


ඉන්දීය කැරපොතු ජනතා පක්ෂය’ ආරම්භ කරනු ලැබුවේ,ර ඇමෙරිකාවේ බොස්ටන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන, ඉන්දියානු සිසුවකු වන 30 හැවිරිදි, අභිජීත් දීප්කේ විසිනි. මොහු ඩිජිටල් සන්නිවේදන උපායමාර්ග සැලැසුම්කරුවෙකි.
අභිජීත්, ඉන්දියාවේ ජෙන් සී තරුණ තරුණියන් හවුල් කර ගනිමින්, සමාජ මාධ්‍ය ඔස්සේ ‘ඉන්දීය කැරපොතු ජනතා පක්ෂය’ විරෝධතා ව්‍යාපාරය ආරම්භ කළ අතර, අදවනවිට ඉන්දියාවේ නන්දෙසින් මිලියන 10 කට වැඩි තරුණ තරුණියෝ පිරිසක්, මෙම ව්‍යාපාරය සමග එක් වී සිටිති.
එයින් වැඩිදෙනා රැකියා විරහිත තරුණයින්ය. දේශපාලන පක්ෂයක් නොවුණත්, ඉන්දීය කැරපොතු ජනතා පක්ෂයේ සංකේතය කැරපොත්තාය. අභිජීත්, දේශපාලනයට ආගන්තුකයකු නොවෙයි. ඔහු ඇමෙරිකාවේ අධ්‍යාපනය හැදරීමට යෑමට පෙර, දූෂණ විරෝධී ‘ආම් ආද්මි’ දේශපාලන පක්ෂය හා සම්බන්ධව සිටි ක්‍රියාකාරියෙකි. ‘ආම් ආද්මි’ යනු දිල්ලි ප්‍රාන්තයේ අණසක පැතිරූ දේශපාලන පක්ෂයයි.
විභාග පැවැත්වීම, විභාග පැවැත්වෙන ක්‍රමවේදය සහ ප්‍රශ්න පත්‍ර ඇගයීමේදී සිදුවෙනවා යැයි පැවැසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා කරමින්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය යැයි අවධාරණය කරමින්, ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි බල කරමින්, කැරපොතු ජනතා පක්ෂයේ තරුණ ක්‍රියාකාරීහු පසුගිය අගහරුවාදා (21) විරෝධතා පාගමනකින් නවදිල්ලියේ පිහිටි එරට පාර්ලිමේන්තුවට කඩා වැදීමට උත්සාහ ගත්හ.
විරෝධතා පාගමන ආරම්භ වූයේ, දින 21 ක් තිස්සේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා නවදිල්ලියේ ‘ජන්තාර් මන්තර්’ හි උපවාහසය යෙදුණු 59 හැවිරිදි ක්‍රියාකාරී සෝනම් වංචුක්, පොලිසිය මැදිහත්වී බලහත්කාරයෙන් රෝහල්ගත කිරීමත් සමගය.
‘ජන්තාර් මන්තර්’ යනු 1724 දී, ජනතාවට එක් රැස් වී, රාත්‍රී අහස නිරීක්ෂණය කිරීමට හැකි ලෙස සැකසූ ස්ථානයයි. එසේ වුවත්, පසුගිය දශක තුනක කාලය තිස්සේ මෙතැන විරෝධතා සඳහා පමණක් වෙන්වී ඇත. ඉන්දීය පාර්ලිමේන්තුව ඇත්තේ ‘ජන්තාර් මන්තර්’ සිට කිලෝ මීටර් 3 ක් පමණ දුරිනි. ‘කැරපොතු ජනතා පක්ෂ’ ක්‍රියාකාරීන් මෙම විරෝධතා පා ගමනට, පොලිසිය හරස් විය. පොලිස් බාධක පසු කරන්න හැදූ තරුණ තරුණියන්ට කදුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල විය.
එම අවස්ථාවේ විරෝධතාකරුවෝ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ද ධුරයෙන් ඉවත් වෙන්නැයි ච බල කරමින් කෑ කෝ ගසන්න වූහ. අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ ඉල්ලා පැවැත්වුණු එම විරෝධතා පා ගමනට, තරුණ සිසුන්, මාපියන්, සමාජ ක්‍රියාකාරීහු එක් වී සිටියහ.
තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාලක භාරතී ජනතා පක්ෂයෙන් එල්ල වන කෙණෙහිලිකම්වලට එරෙහිව, ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය ඉදිරියට පැමිණියේය.
විපක්ෂ නායක රාහුල් ගාන්ධිගේ මෙහෙයවීමෙන් අග්‍රාමාත්‍ය මෝදිගේ නිල නිවස දෙසට ද විරෝධතා පා ගමනක් ආරම්භ විය. ඒ, කැරපොතු ජනතා පක්ෂ ක්‍රියාකාරීන් ඉන්දීය පාර්ලිමේන්තුව තෙක් පා ගමනේ නිරත වෙද්දීය. කොංග්‍රස් පක්ෂ සභාපති මල්ලිගාර්ජුන් ඛාර් සහ රාහුල් ගාන්ධිගේ සොහොයුරිය ප්‍රියංකා ගාන්ධි වාද්‍රා ද පා ගමන සඳහා එක් වූහ.
පා ගමන ආරම්භ වූයේ කොංග්‍රස් පක්ෂ සභාපති මල්ලිගාර්ජුන් ඛාර්ගේ, රාජාජි මාර්ගයේ පිහිටි නිවස ඉදිරියෙනි. මෝදිගේ නිල නිවස ඇත්තේ, මල්ලිගාර්ජුන් ඛාර්ගේ නිවසේ සිට කිලෝ මීටරයකට වඩා අඩු දුරකිනි. මෝදිගේ නිලනිවසට ළං වෙද්දී පොලිසිය විරෝධතා පා ගමනට හරස් විය.
විරෝධතාව පැවැති ස්ථානයට පැමිණ රාහුල් ගාන්ධි සමඟ සාකච්ඡා කළ ද, විරෝධතා අවසන් නොවිණි.
විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය මැදිහත් වෙද්දී, රාහුල්, ප්‍රියංකා ඇතුළු පිරිස බිම වාඩි වූහ. පොලිස් නිලධාරීන් රාහුල්, ප්‍රියංකා සහ මල්ලිගාර්ජුන් ඛාර්ගේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගත්තේ එවිටය. හැඩිදැඩි පොලිස් නිලධාරීන් 10 දෙනකු රාහුල් ගාන්ධි අත්අඩංගුවට ගත්තේ, ඔහු බිම ඇදගෙන යමින් සහ කුදලාගෙන යමිනි.
‘ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ මෙන්න මේ විදියටයි’ යනුවෙන් කුදලාගෙන යද්දී රාහුල් කෑ ගසන්න විය. ප්‍රියංකා ගාන්ධි බලහත්කාරයෙන් පොලිස් බස් රථයකට පටවා ගැනීම සිදුවිය. අත්අඩංගුවට ගැනීමෙන් පසුව රාහුල් ගාන්ධි ඡත්‍රසාල් ක්‍රීඩාංගණය වෙත ද, ප්‍රියංකා ගාන්ධි, මන්දියර් පොලිස් ස්ථානය වෙත ද ගෙන යන ලදී.
කොංග්‍රස් ජ්‍යෙෂ්ඨ නායිකා සෝනියා ගාන්ධි, දියණිය ප්‍රියංකා හමුවීමට පොලිස් ස්ථානයට ගියාය. පොලිස් අත්අඩංගුවෙන් නිදහස් වීමෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් රාහුල් ගාන්ධි මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කළේ හැකි ඉක්මනින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසය.
විරෝධතාවලට සහය දුන් සියලු දෙනාට ස්තුතිය කිරීමට ද රාහුල් අමතක කළේ නැත. මේ අතර, පොලිසිය මැදිහත් වී, පහර දී, මර්දනය කළ ‘කැරපොතු ජනතා පක්ෂ’ ජෙන් සී විරෝධතාව ද අවසන් විය. විරෝධතාකරුවන් විසුරුවා හැරීම සිදුවුණු අතර, විරෝධතාකරුවන් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කෙරුණු බව ද මාධ්‍ය වාර්තා කළේය.
ලුසිත ජයමාන්න
ඉන්දීය මාධ්‍ය ඇසුරිනි