මිනිස් මලවලින් කොන්ක්‍රීට් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Oct 7, 2026

මිනිස් මලවලින් කොන්ක්‍රීට්

මිනිස් මලවලින් කොන්ක්‍රීට් නිපදවන්න හැකි බව ඔබ දන්නවාද? මේ කටයුත්ත සිදුවන්නේ නිකම්ම නිකම් මිනිස් මල යෙදා ගෙන නම් නොවෙයි. එය නවීන විද්‍යාව සහ තාක්ෂණය එක් කිරීමකි. මිනිස් මල අපද්‍රව්‍ය ආශ්‍රයෙන් අතිශය ශක්තිමත් සහ නවීන කොන්ක්‍රීට් වර්ගයක් නිපදවීමට සමත් වී සිටින්නේ ඉන්දියාවේ විද්‍යාඥයන් කණ්ඩායමකි. මෙය හරිත විප්ලවයේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇතැයි බොහෝ දෙනාගේ අදහසය. 

 මිනිස් මල භාවිතයට ගනිමින්, ශක්තිමත් සහ නවීන කොන්ක්‍රීට් වර්ගයක් තැනීමේ විස්මිත පර්යේෂණයට දායක වී සිටින්නේ, ඉන්දියාවේ මනිපාල් විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරුවරයකු වන රඝුවෙෂ් තිවාරි ප්‍රමුඛ ඔහුගේ පර්යේෂණ කණ්ඩායමය. 

ඔවුන් ඔවුන්ගේ පර්යේෂණ සඳහා අවශ්‍ය මල අපද්‍රව්‍ය ලබා ගැනීම සිදු කරන්නේ, ඉන්දියාවේ වරංගල් නුවර අපද්‍රව්‍ය පවිත්‍රාගාරයෙන් බව පැවැසෙයි. සාමාන්‍යයෙන් අපජල පවිත්‍රාගාරවලදී ඉවත් කරනු ලබන අපද්‍රව්‍ය දිගින් දිගටම ඉතා සංකීර්ණ රසායනික හා භෞතික ක්‍රියාවලියකට ලක් කිරීම සිදුවෙයි.

පළමුව, එකතු කරන ලද මල හොඳින් වියළා ගැනීම සිදු කරන අතර, ඉන්පසු ඒවා ඉතා අඩු ඔක්සිජන් ප්‍රමාණයක් ඇති විශේෂ පරිසරයක සෙල්සියස් අංශක 350 ත් 450 ත් අතර උෂ්ණත්වයකදී දැඩි ලෙස රත් කෙරෙයි. තාක්ෂණික බසින් කියනවා නම්, ‘පයිරොලිසිස්’ (තාප විච්චේදනය) ලෙසින් හැඳින්වෙන මෙම ක්‍රියාවලිය හරහා කාබන් බහුල ද්‍රව්‍යයක් වන ‘බයෝචාර්’ නිෂ්පාදනය කරනු ලැබේ. 

 මෙසේ සකස් කරගත් කළු පැහැයෙන් යුක්ත ‘බයෝචාර්’ පසුව ඉතා සියුම් කුඩු බවට පත් කරමින් කොන්ක්‍රීට් නිෂ්පාදනය සඳහා සූදානම් නර ගැනීමට තිවාරි සහ ඔහුගේ කණ්ඩායම කටයුතු කරයි. තිවාරි සහ පර්යේෂකයන්, අපද්‍රව්‍ය මත පදනම් වූ මෙම ‘බයෝචාර්’ කුඩු, සාමාන්‍ය කොන්ක්‍රීට් මිශ්‍රණයක අඩංගු සිමෙන්ති ප්‍රමාණය වෙනුවට ආදේශ කරමින් පර්යේෂණ සිදු කළ බව පැවැසෙයි.

විවිධ අනුපාත යටතේ සකස් කරන ලද කොන්ක්‍රීට් සාම්පල පසුව දැඩි පරීක්ෂාවකට ලක් කළ අතර, ඒවායේ සම්පීඩන ශක්තිය, නම්‍යශීලීත්වය, ජලය අවශෝෂණය කරගැනීමේ හැකියාව, හැකිළීම සහ සිදුරු සහිත බව ඉතා සූක්ෂම ලෙස මැන බැලීම සිදු කරන ලදී. පරීක්ෂණවලින් ලැබුණු ප්‍රතිඵල අතිශය සතුටුදායක මෙන්ම, විද්‍යා ලෝකය මවිතයට පත් කිරීමට පවා සමත් වූ බව තිවාරි පවසන්නේ මහත් ආඩම්බරයෙනි. 

මිනිස් මල යොදා ගනිමින් කොන්ක්‍රීට් නිපදවීමට හැකියි යන පුවත ඉන්දීය මාධ්‍ය ඔස්සේත්, සෙසු විදෙස් මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් විය.දින 91 කට පසුව පරීක්ෂා කර බැලීමේදී, බයෝචාර් භාවිතයට ගනිමින් සකස් කළ කොන්ක්‍රීට් සාම්පලය සාමාන්‍ය කොන්ක්‍රීට්වලට වඩා සියයට 20 ක වැඩි සම්පීඩන ශක්තියක් සහ සියයට 36 ක වැඩි නැමීමේ ශක්තියක් පෙන්නුම් කළ බව පර්යේෂකයෝ පවසති. 

එසේ වුවත්, තිවාරි ප්‍රමුඛ කණ්ඩායම පෙන්වා දෙන ආකාරයට, ඕනෑම දෙයක සීමාවක් පවතින අතර, යොදන ‘බයෝචාර්’ ප්‍රමාණය ‘වැඩි වුණොත්’ නිපදවන කොන්ක්‍රීට්වල සිදුරු ඇතිවීම සහ ඉරිතැලීම දතින්න ලැබෙන බවය. මෙම අපූරු ‘ශක්ති වර්ධනය’ පිටුපස ඇති විද්‍යාත්මක රහස ‘බයෝචාර්’සතු ඇසට නොපෙනෙන ප්‍රමාණයේ සිදුරු සහිත ස්වභාවයයි. 

මෙම අන්වීක්ෂීය සිදුරු මඟින් කොන්ක්‍රීට් මිශ්‍රණයේ ඇති ජලය හොඳින් අවශෝෂණය කරගෙන, කොන්ක්‍රීට් දැඩි වන විට එම ජලය ඉතා සෙමින් හා ක්‍රමානුකූලව මුදා හැරෙයි. මෙම ක්‍රියාවලිය හරහා කොන්ක්‍රීට් අභ්‍යන්තරයේ සිදුවන රසායනික ප්‍රතික්‍රියා අඛණ්ඩව හා නිවැරදිව සිදුවීමට මහත් සේ උපකාරී වේ. 

මීට අමතරව, මෙම අපද්‍රව්‍ය මත පදනම් වූ බයෝචාර් අඩංගු සිලිකා සංයෝගය ද කොන්ක්‍රීට් ශක්තිය වැඩි කරන නව සංයෝග නිර්මාණය කිරීමට මූලික දායකත්වයක් සපයයි. කෙසේ වෙතත්, මෙම නව කොන්ක්‍රීට් ඉදිකිරීම් ක්ෂේත්‍රයට හඳුන්වා දීමට පෙර, ඒවා අන්ත උෂ්ණත්ව තත්ත්වයන්, ලුණු සහිත වෙරළබඩ පරිසරයන් සහ දැඩි ශීත කාලගුණික තත්ත්වයන් යටතේ මෙහි දිගුකාලීන පැවැත්ම කෙසේද යන්න පිළිබඳව තවත් පුළුල් පර්යේෂණ පැවැත්විය යුතුයි යැයි පර්යේෂකයෝ පවසති. විශේෂයෙන්ම, මල අපද්‍රව්‍යවල අඩංගු විය හැකි බැර ලෝහ පරිසරයට හෝ ජලයට නිරාවරණය වීමේ අවදානමක් පවතී ද යන්න සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත. 

මේ සම්බන්ධයෙන් මේ වනවිටත් අවශ්‍ය පර්යේෂණ කටයුතු සිදුවන බව පැවැසෙයි. මිනිස් අපද්‍රව්‍ය සහ මල අපද්‍රව්‍ය ආර්ථිකමය සහ කාර්මික ප්‍රයෝජන සඳහා යොදා ගැනීම කොන්ක්‍රීට් නිෂ්පාදනයට පමණක් සීමා වී නැත. අද වන විට ලෝකයේ විවිධ ප්‍රදේශවල පර්යේෂකයන් විසින් මිනිස් මල ආශ්‍රයෙන් විවිධ නිර්මාණ බිහි කරමින් සිටිති. 

උදාහරණයක් ලෙස, මල අපද්‍රව්‍ය නිර්වායු පරිසරයකදී වියෝජනය කිරීම මඟින් ගෘහස්ථ බලශක්ති අවශ්‍යතා සඳහා ජීවී වායු නිෂ්පාදනය කිරීම සහ මෑත කාලීන තාක්ෂණයන් යටතේ ගුවන් යානා සඳහා අවශ්‍ය වන ‘ජෛව ජෙට් ඉන්ධන’ පවා නිෂ්පාදනය කිරීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති. අපජල පවිත්‍රාගාරවලින් ඉවත් කරන අපද්‍රව්‍ය පිරිසුදු කර ශාක වර්ධනයට අත්‍යවශ්‍ය පොස්පරස් සහ නයිට්‍රජන් බහුල ‘ස්ටෲවයිට්’ වැනි කාබනික පොහොර නිෂ්පාදනය කිරීම මඟින් රසායනික පොහොර සඳහා කදිම පරිසර හිතකාමී විකල්පයක් ලබා දී තිබේ. 

ඇතැම් බටහිර විශ්වවිද්‍යාල, මානව අපද්‍රව්‍ය සහ මුත්‍ර යොදා ගනිමින් කාබන් විමෝචනයකින් තොරව දැඩි ඝනත්වයකින් යුත් ‘ජෛව ඉදිකිරීම් ගඩොල්’ නිෂ්පාදනය කරන අතර, ඒවා හරිත ගොඩනැඟිලි සංකල්පයට ලබාදුන් අපූරු රුකුලක් බව පැවැසෙයි. ඉදිකිරීම් සහ බලශක්ති උත්පාදන ක්ෂේත්‍රයෙන් ඔබ්බට ගොස්, මිනිස් අපද්‍රව්‍ය මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝග නිර්ණය කිරීම සහ වසංගත පාලනය කිරීම සඳහාද අතිශයින් බලවත් මෙවලමක් බවට පත්ව ඇත. 

නගරයක හෝ ප්‍රදේශයක මලාපවහන පද්ධතිවල ඇති අපද්‍රව්‍ය නියැදි ලබාගෙන ඒවා පරීක්ෂා කිරීම මඟින්, එම ජනතාව අතර බිහිසුණු වයිරස පැතිර යනවා ද යන්න කිසිදු රෝග ලක්ෂණයක් සමාජය තුළ මතු වීමට පෙරම කල්තියා සොයාගත හැකිය. එමඟින් රෝහල් වෙත රෝගීන් පැමිණීමට මත්තෙන් ප්‍රජාව තුළ යම් වසංගතයක් ව්‍යාප්ත වන බවට කල්තියා අනතුරු ඇඟවීමට සෞඛ්‍ය අංශවලට සහ රජයන්ට හැකි වේ.

අපජල පරීක්ෂණ හරහා ජනතාව අතර නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය, ප්‍රතිජීවක ඖෂධ භාවිතයේ ප්‍රවණතා සහ තරබාරුකම වැනි මහජන සෞඛ්‍ය ගැටලු පිළිබඳ වටිනා සංඛ්‍යාලේඛන ලබා ගැනීමටද මෙම ක්‍රමය විශාල වශයෙන් උපකාරී වේ. ඊට අමතරව, මිනිස් මලවල ඇති බැක්ටීරියා ද විවිධාකාරයේ රෝගාබාධවලට ප්‍රතිකාර ලෙස යොදා ගැනෙයි. 

 මිනිස් මල යනු අප්‍රිය කර, කිසිදු ප්‍රයෝජනයක් නැතැයි සිතා බැහැර කළ යුතු දෙයක් නොවෙයි. නිසි විද්‍යාත්මක තාක්ෂණය, නිර්මාණශීලීත්වය සහ පර්යේෂණ මෙවලම් සමඟ එකතු වූ විට, එය හරිත අනාගතයක් ගොඩනැඟීමට, ගෝලීය බලශක්ති අර්බුදවලට මුහුණ දීමට සහ මහජන සෞඛ්‍ය පද්ධති සුරක්ෂිත කිරීමට දායක වන අමිල සම්පතක් බවට පත් කරගත හැකිය. 

ලුසිත ජයමාන්න 
NDTV ඇසුරිනි

Classified_Ad