ප්‍රංශය ගිනි ගනී - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Oct 7, 2026

ප්‍රංශය ගිනි ගනී

බටහිර යුරෝපයේ පිහිටි ප්‍රංශය, ලෝකයේ වඩාත්ම සංස්කෘතිකමය, කලාත්මක සහ සංචාරක වශයෙන් වැදගත් ප්‍රමුඛ පෙළේ බටහිර රාජ්‍යයකි. ප්‍රංශ වැසියන්, තම ආදරණීය මවුබිම හඳුන්වන්නේ 'ල දූස් ෆ්‍රාන්ස්' යනුවෙනි. එහි අරුත සුන්දර ප්‍රංශය යන්නයි. ප්‍රංශයේ පැරිස් අගනුවර යනු ආදරයේ සංකේතයයි. 

අයිෆල් කුලුන, ලූව්ර කෞතුකාගාරය ලෝක පූජිත සංචාරක ආකර්ෂණ ලෙස සැලකෙයි. ලෝක ප්‍රසිද්ධ විලාසිතා, සුවඳ විලවුන්, ආහාර පාන සහ වයින් නිසා ප්‍රංශය ගෝලීය වශයෙන් ඉමහත් කීර්තියක් උසුලයි. නිදහස, සමානාත්මතාවය වැනි සංකල්ප ලෝකයට දායා ද කළ ප්‍රංශය, පොහොසත් ඉතිහාසයකට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට හිමිකම් කියන සුන්දර රටකි. ඒත් දැන් එය එසේ නොවෙයි. 

 ප්‍රංශය පුරා විරෝධතා පැවැත්වෙයි. එම විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගනී. මේ විරෝධතාවලට එක් වී සිටින්නේ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් හෝ දේශපාලන ක්‍රියාකාරීන් හෝ නොවෙයි. අදිසි හස්තයක් ලෙස දේශපාලන ක්‍රියාකාරීන්ගේ බලපෑම් පැවැතියත්, විරෝධතා පවත්වන්නේ අවුරුදු 15 ත් 18 ත් අතර වයස්වල නව යෞවන යෞවනියන්ය. පාසල් සිසු දරු දැරියන්ය. තවත් පැහැදිලි කළොත් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සූදානම් වන උසස් පාසල් සිසුන්ය. විරෝධතා සඳහා එක්වන සිසුන්ගෙන් වැඩි දෙනා මුස්ලිම් සම්භවයක් සහිත දරු දැරියන්ය.

ප්‍රණ්ඩව හැසිරෙමින්, විරෝධතා පවත්වන සිසුන් තම තමන්ගේ පාසල්වලටත් අධ්‍යාපන ආයතනවලටත් පහර දෙයි. ගිනි තබයි. ගුරුවරුන්ට සහ පාසල් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පහර දෙයි. ගුරුවරුන් පංතිකාමරවල සිරකරගෙන තම ඉල්ලීම් ඉල්ලයි. කලහකාරී සිසුන් මර්දනයට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ රජය, කැරැලි මර්දන පොලිසිය යොදවා ඇත. පොලිසිය, සිත්පිත් නැතිව සිසුන් මර්දනය කිරීම අරඹා ඇත. 

විදෙස් මාධ්‍ය වාර්තාවලින් පෙනී යන්නේ, දෙපාර්ශ්වය අතර දරුණු ගැටුම් ඇවිලෙන බවය. පොලිසිය, කඳුළු ගෑස් ප්‍රහාර, ජල ප්‍රහාර සහ රබර් උණ්ඩ ප්‍රහාර කලහකාරී සිසුන් වෙත එල්ල කරයි. ඒ ඔවුන් විසුරුවා හැරීමේ අරමුණින්ය. ඒත් එය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් වැනිය. 

 සිසු විරෝධතා ආරම්භ වූයේ පාසල්වල පවතින අයහපත් තත්ත්වය සම්බන්ධයෙනි. සිසු සිසුවියන් රජයෙන් ඉල්ලන්නේ ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට සුදුසු විදියේ පරිසරයක් නිර්මාණය කර දෙන ලෙසය. විරෝධතාවලට එක් වුණු සිසුන් පවසන ආකාරයට, ඔවුන් අධ්‍යාපනය ලබන රජයේ පාසල්වල යටිතල පහසුකම් පවතින්නේ ඉතාමත් දුර්වල තත්ත්වයකය. 

මීයෝ සහ කැරපොත්තෝ පාසල් පංති කාමරවල රජ කරති. සිසුහු මේ ගැන කේන්තියෙන් පසුවෙති. පාසල්වල පවතින ගුරු හිඟය ද සිසුන්ගේ කෝපය ත්‍රීව කිරීමට හේතුවක් වී ඇත. ගුරු හිඟය නිසා බොහෝ පාසල්වල බොහෝ විෂයයන් ඉගැන්වීම සිදුවන්නේ නැත.

උසස් පාසල්වල දරුවන්ගේ පාසල් කාලය උදේ 8 සිට සවස 6 දක්වාය. උදේ සිට සවස් වනතුරු තමන් සිටින්නේ තමන්ට අපිරිසුදු, හරිහැටි පහසුකම් නොමැති, ඉගැන්වීමට හරිහැටි ගුරුවරුන් නොමැති වටපිටාවක යැයි සිසුහු චේදනා නගති. මෙම කරුණු කාරණා සම්බන්ධයෙන් වසර ගණනක් තිස්සේ නිරන්තරයෙන් මැසිවිලි නැගුවත් ප්‍රංශ රජය ඊට කන් නොදෙන බවට සිසුහු චෝදනා නගති. 

‘රටේ ජාතික අධ්‍යාපන පද්ධතිය දිනෙන් දින කඩා වැටීමට පටන්ගෙන තිබෙනවා. අපේ පාසල්වල තත්ත්වය ඛේදනීයයි. සිවිලිම කොයි වෙලාවේ කඩා වැටේවිදැයි දන්නේ නැහැ. වැසිකිළි හරිම අපිරිසුදුයි. ජනේල කැඩිලා. මීයන් කැරපොත්තන් පංති කාමරවල දුවනවා. පාසල් නේවාසිකාගාරවල තත්ත්වය ඊටත් අන්තයි‘ යැයි විරෝධතාවලට එක්වුණු සිසුහු මැසිවිලි නගති. 

ඊයේ (6) දිනය වෙද්දී, කලහකාරීව ප්‍රචණ්ඩව හැසිරුණු සිසුන් 5,400 කට වැඩි පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණි. පොලිස් ප්‍රහාරවලින් තුවාල ලැබූ සිසුන් ගණන 200 කට ආසන්න බව පැවැසිණි. 15 හැවිරිදි සිසුවකුට අතක් අහිමි වුණු බව පැවැසෙයි. ඒ පොලිසිය විසි කළ ස්ටන් ග්‍රනේඩයක් අහුලා ගැනීමට යෑමේදීය. ස්ටන් ග්‍රනේඩ් යනු මාරාන්තික නොවන පිපුරුම් උපකරණයකි. කැරැලි මර්දන පොලිසිය කලහකාරී පිරිස් විසුරුවා හැරීමට මේවා භාවිත කරයි. 

සිසු විරෝධතාවට එක් වෙමින්, සිසුන් රජයට එරෙහිව උසි ගන්වන බවට චෝදනා එල්ල වන්නේ, යූනියොං සැන්ඩිකාල් ලිසේන් නමැති සංවිධානයයි. මෙය ප්‍රංශයේ ප්‍රමුඛතම සහ බලගතුම ශිෂ්‍ය සංගමයයි. 2023 දෙසැම්බර් 17 වන දින ආරම්භ කරන ලද මෙම සංගමය, විවිධ තරුණ සහ ශිෂ්‍ය සංවිධාන එක් වීමෙන් ශක්තිමත් වූවකි. මොවුන් දේශපාලනික වශයෙන් වාමාංශික නැඹුරුවක් දක්වයි. මොවුන්ගේ මූලික ප්‍රතිපත්ති අතර ෆැසිස්ට්වාදයට විරුද්ධ වීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, පාරිසරික ආරක්ෂණය සහ සමාජ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීම මොවුන්ගේ මූලික ප්‍රතිපත්ති ලෙස සැලකෙයි. 

මොවුන් සිසු විරෝධතා සඳහා එක් වී සිටින්නේ, පාසල් සිසුන්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනය ආරක්ෂා කිරීමට රජයට බල කරමින්, පන්ති කාමරවල අධික සිසුන් සංඛ්‍යාවක් සිටින බවත් ගුරුවරුන්ගේ හිඟයක් ඇති බවත් පෙන්වා දෙමින්, පසල්වල මූලික යටිතල පහසුකම් සම්බන්ධයෙන් පවතින ගැටලු වහාම විසඳන්නැයි රජයට බල කරමිණි. 

ඊට අමතරව, රජයේ අයවැය කප්පාදු සහ අධ්‍යාපන ප්‍රතිපත්තිවලට එරෙහිව සිසුන් සංවිධානය කිරීම මෙම සංවිධානයේ ප්‍රධාන කාර්යයකි. ප්‍රංශ රජයට අනුව, යූනියොං සැන්ඩිකාල් ලිසේන් සංවිධානය සමග ප්‍රංශ වාමාංශික දේශපාලන කණ්ඩායම් සහ ක්‍රියාකාරීන් ද මේ වනවිට එක්ව සිටින බව පැවැසෙයි. මෙම ශිෂ්‍ය සංගමයේ සිටින වැඩි දෙනා, විදේශවලින් ප්‍රංශයට ආ සිසු සිසුවියන්ය. 

නැතිනම් ප්‍රංශයේ පුරවැසිභාවය ලබා ගත්, විදෙස් පවුල්වල දරු දැරියන්ය. ප්‍රංශ අග්‍රාමාත්‍ය සෙබාස්තියන් ලෙකෝනු, පාසල් සිසුන් සහ අධ්‍යාපන කාර්ය මණ්ඩලය මුහුණ දෙන දුෂ්කරතා විසඳීම සඳහා පියවර මාලාවක් ප්‍රකාශයට පත් කරමින්, පාසල්වල පැහැදිලි වෙනස්කම් සිදු කිරීමට පොරොන්දුවක් දී ඇති නමුත් දීප ව්‍යාප්ත විරෝධතාවල අවසානයක් දකින්න නැතැයි විදෙස් මාධ්‍ය පවසයි. 

‘අප (රජය) හිංසනය ඉදිරියේ කිසිදු නම්‍යශීලී බවක් පෙන්වන්නේ නැහැ. ප්‍රහාරවලට ලක් වූ සිසුන් සහ පාසල් කාර්ය මණ්ඩල සාමාජිකයන් ගුරුවරුන් පමණක් නොව, කැරැලි මර්දන පොලිස් නිලධාරීන් වෙනුවෙන් ද අප පෙනී සිටිනවා’ යැයි ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කර ඇත. 

 ප්‍රංශ අධ්‍යාපන අමාත්‍ය එදුවාඩ් ජෙෆ්රේ, මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, කලහකාරී සිසුන්, පාසල් 24 කට පහර දී හානි සිදු කර, එම පාසල්වලට ගිනි තබා ඇති බවය. ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ද පංති කාමරවල සිරකර ගිනි තැබීම් කර ඇති නමුත්, කෙසේ හෝ එම ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් බේරා ගැනීමට හැකිවුණු බවත් පැවැසෙයි. එක් අවස්ථාවක සිසුන් පිරිසක් ඔවුන්ට එරෙහි වුණු ගුරුවරයකු පෙට්‍රල් දමා පුළුස්සා දැමීමට ද තැත් කිරීමේ සිද්ධියක් වාර්තා වන බව ද ප්‍රංශ අධ්‍යාපන අමාත්‍ය එදුවාඩ් ජෙෆ්රේ මාධ්‍ය හමුවේ පවසා ඇත. 

ලුසිත ජයමාන්න 
BBC ඇසුරිනි

Classified_Ad