කොරෝනා ලොව කලඹා වසරයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 29, 2020

කොරෝනා ලොව කලඹා වසරයි

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් පළමු වරට වාර්තා වූයේ මීට හරියටම වසරකට පෙර, දෙසැම්බර් අවසන් සතියේ බව යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සිහිපත් කරයි.

වයිරසය ආසාදිතයන් හමුවීමට පටන්ගෙන වසරක් ගතවෙද්දී, ‘කොවිඩ් 19’ වයිරසය ලෝකයේ රටවල් සහ පාලන ප්‍රදේශ 218 කට පැතිර ගොස් තිබේ. ඇන්ටාක්ටිකාවෙන් පවා වයිරස ආසාදිතයන් මේ වනවිට වාර්තා වෙයි. 

අද (29) වනවිට ‘කොවිඩ් 19’ ලොව සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණණ 81,673,280 පසු කළ අතර, මරණ වාර්තා වූයේ 1,781,544 ක් ලෙසය. තවමත් ලොව වැඩි ම කොවිඩ් මරණ සහ ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. 

උණ සහ සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ පෙන්නුම් කරමින්, නියුමෝනියා තත්ත්වයක් දක්වා ඔඩුදුවමින් මරු කැඳවන වයිරසයක් ගැන පළමුවෙන් චීන වෛද්‍යවරුන් බිය පළ කළේ පසුගිය වසරේ දෙසැම්බර් මස ආරම්භයේදීය. ඒ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර සත්ව මාංශ සහ මාළු වෙළෙඳ පොළ කේන්ද්‍ර කොට ගනිමිනි.

වූහාන් නුවර වයිරසය වේගයෙන් පැතිරෙද්දී, චීන සෞඛ්‍ය බලධාරීන් ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දුන්නේ 2019 දෙසැම්බර් 28 වැනිදාය. ලැබුණු දත්ත සහ තොරතුරු සැලකිල්ලට ගනිමින්, චීනයේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමින් මාරක වයිරසයක් පැතිරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකය දැනුවත් කළේ පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදාය. 

එසේ අනතුරු ඇඟවුවත්, එය ගෝලීය වසංගතයක් වේවි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ චීන සෞඛ්‍ය අංශ හෝ දැන සිටියේ නැත. වයිරසයේ සුලමුල තහවුරු කර ගැනීමට අපොහොසත් වුවත්, එය කොරෝනා වයිරස පවුලේ නව වයිරසයක් බව චීන විද්‍යාඥයන් තහවුරු කළ අතර, එහි ජාන ව්‍යුහය ජාත්‍යන්තරය සමඟ බෙදා ගැනීමට ද පියවර ගැණින.කොරෝනා වයිරස පවුලට අයත් නිසාත් 2019 වසරේ දී හමුවුණු නිසාත් වයිරය ‘කොවිඩ් 19’ යන නිල නාමයෙන් හැඳින්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු තළේ මෙම වසරේ පෙබරවාරි 11 වැනිදාය. 

වවුලන් සහ කබැල්ලෑවන් හරහා වයිරසය මිනිසුන්ට පැතිරෙන්න ඇති බවට අනුමාන කළ ද තවමත් එය තහවුරු වී නැති බව ද පැවැසෙයි. චීන රජයට අයත්, වයිරස පර්යේෂණ ආයතනයක් වූහාන් නුවර පිහිටා ඇති අතර, කොරෝනා වයිරස පවුලට අයත්, මීට පෙර රටවල් රැසකට පැතිරුණු 'සර්ස්' සහ 'මර්ස්' වැනි වයිරස පමණක් නොව, නව කොරෝනා වයිරස ප්‍රභේද පවා මෙම පර්යේෂණ ආයතනයේ ගබඩා කර ඇති බවත්, ඒවා නිරන්තරයෙන් පර්යේෂණවලට යොදා ගන්නා බවත් පැවැසෙයි. 

ඇමෙරිකා, ඕස්ට්‍රේලියා බුද්ධි අංශ පවසා ඇත්තේ, ‘කොවිඩ් 19’මෙම පර්යේෂණාගාරයේ කෘත්‍රිමව නිපදවූවක් බවත්, එය හිතාමතා නොව, අත්වැරදීමකින් වූහාන් වැසියන් අතරේ පැතිරෙන්න ඇති බවත්ය. 

මෙම චෝදනා ඔප්පු කිරීමට ද හැකියාවක් ලැබී නැත. ආසියාවේ විශාලතම වයිරස ගබඩාව ලෙස හැඳින්වෙන්නේ ද මෙම වූහාන් පර්යේෂණාගාරයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය, කොවිඩ් 19 වයිරසය ගෝලීය වසංගත තත්ත්වයක් බව නිවේදනය කළේ මාර්තු 11 වැනිදාය. ඒ, විදේශවලට වයිරසය පැතිරෙද්දීය. චීනයෙන් පිට පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වූයේ තායිලන්තයෙනි.

ඉන්පසු දකුණු කොරියාවට, ජපානයට වයිරසය පැතිර ගියේය. ආසාදිතයන් සහ මරණ ඉහවහා යද්දී, පසුගිය අප්‍රේල් මාසයේදී රටවල් බොහොමයක් තහාංචි පනවමින් 'ලොක්ඩවුන්' කෙරුණි. ඒ, වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමේ අරමුණින්ය.

චීනයෙන් පිට පළමු වරට කොරෝනා වසංගත තත්ත්වයක් නිර්මාණය වූයේ ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙනි. ඉන්පසු ඇමෙරිකාව ඇතුළු ලතින් ඇමෙරිකා කලාපයට වයිරසය පැතිර ගියේය. මේ වනවිට ඇමෙරිකාවෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 19,781,624 කි. මරණ වාර්තා වන්නේ 3,43,182 කි. 

දෙවැනියට වැඩිම මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. බ්‍රසීලයෙන් වාර්තා වන මරණ ගණන 1,91,641 කි. ආසාදිතයන් අතින් බ්‍රසීලය පසුවන්නේ තෙවැනි ස්ථානයේය. බ්‍රසීලයේ කොවිඩ් 19 ආසාදිතයන් ගණන 7,505,890 කි. ඇමෙරිකාවට පසු දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාවේ ආසාදිතයන් ගණන 10,224,797 ක් ලෙස සටහන් විය.

(ඒ.එෆ්.පී.)

Classified_Ad

Classified_Ad_News_Bottom