මිනිසාට අභියෝග කරන භයානක සතුරා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mawitha Ads

Dec 27, 2020

මිනිසාට අභියෝග කරන භයානක සතුරා

‘පෘථිවියේ රජ කරන මනුෂ්‍යයාට අභියෝගය කරන භයානකම තර්ජනය වයිරසයයි’ - ඇමෙරිකන් අණුක විද්‍යාඥ ජොෂුවා ලෙන්ඩර්බර්ග්  (1928-2005)


‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ගෝලීය වසංගත තත්ත්වයකි. රටවල් 201 ක් පුරා වයිරසය පැතිර ගොස් ඇත. වයිරසයේ පැතීරීම ඉතා වේගවත්ය. ‘කොරෝනා’ යනු සතුන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වන වයිරස වර්ගයකි. ‘කොවිඞ් 19’ යනු කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයා ය. වයිරස වවුලන්, කබල්ලෑවන් හරහා මනුෂ්‍යයන්ට ආසාදනය වන්න ඇති බව පැවැසෙයි. දැන් එය විකෘති වෙමින් මනුෂ්‍යයන් අතරේ වේගයෙන් පැතිර යයි. මාරක වයිරස වසංගතයක් ලොව කැලඹූ පළමු අවස්ථාව මෙය නොවෙයි.  


‘කොවිඞ් 19’ වයිරසයට පෙර, ලෝක ඉතිහාසයේ දරුණුතම වයිරස වසංගතය ලෙස සැලකුණේ ‘ස්පැනිෂ් ෆ්ලූ’ හෙවත් ‘ස්පාඤ්ඤ උණ’ ය. ස්පාඤ්ඤ උණ වසංගතය පැතිරුණේ 1918 ජනවාරියේ සිට 1920 දක්වා කාලයේ ය. මෙය ඉන්ෆ්ලුවෙන්සා අධි වසංගත තත්ත්වයකි. පැතිර ගියේ එච්1එන්1 වයිරස විශේෂයකි. ඉතිහාස වාර්තාවල සඳහන් ආකාරයට ලෝක ඉතිහාසයේ දරුණුතම මෙන්ම බිහිසුණුම ස්වභාවික ව්‍යසනය ලෙස ‘ස්පාඤ්ඤ උණ’ සැලකෙයි.


පළමු ලෝක යුද්ධය පැවැතියේ 1914 සිට 1918 දක්වා ය. යුද්ධය අවසන් කාලයේ උණ වසංගතය පැතිරීම ඇරැඹුණේය. ජර්මනිය, මහා බි්‍රතාන්‍යය, ප්‍රංශය, ඇමෙරිකාව වැනි රටවල් මෙම උණ වසංගතය ගැන පුවත් පළ කිරීමෙන් වැළකිණි. ඒ, ජනතාවගේ මානසිකත්වය පහළ වැටේවි යැයි බියෙනි. කෙසේ නමුත් පළමු ලෝක යුද්ධයේ දී මධ්‍යස්ථව කටයුතු කළ ස්පාඤ්ඤය, වසංගයක් පැතිරෙන බව ලොවට අනාවරණය කළේය. ඒ නිසා මෙම වසංගතය ‘ස්පැනිෂ් ෆ්ලූ’ එසේත් නැතිනම් ‘ස්පාඤ්ඤ උණ’ යන නමින් නම් කෙරුණි. ස්පාඤ්ඤයේ 13 වැනි ඇල්ෆ්‍රොන්සූ රජුට ද වයිරසය ආසාදනය විය.


වයිරසයේ මූලාරම්භය ස්පාඤ්ඤය නොවෙයි. වයිරසය ආරම්භ වන්න ඇත්තේ ආසියාවෙන්, ප්‍රංශයෙන්, බි‍්‍රතාන්‍යයෙන් හෝ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් හෝ යැයි අනුමාන කෙරේ. පළමු ලෝක යුද්ධයේ දී තුවාල ලැබූ ඇමෙරිකන් සොල්දාදුවන් දහස් ගණනක් ප්‍රතිකාර ලබන්න වූයේ කැන්සාස් හි පිහිටි රයිලි හමුදා කඳවුරේදීය. මෙම කඳවුරෙන් පළමු උණ රෝගියා හමුවූයේ 1918 මාර්තු 11 වැනිදාය. දින කීපයක් ඇතුළත ඇමෙරිකාවෙන් ආසාදිතයන් 522 ක් හමුවිය. මාර්තු මාසය වෙද්දී ඇමෙරිකාව පුරා වයිරසය ව්‍යාප්ත වී ගියේය. ඇමෙරිකාවේ පමණක් මියගිය සංඛ්‍යාව 6,75,000 කි. ඒ වනවිට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ වුඩ්‍රෝවිල්සන් ය. පළමු ලෝක යුද්ධය නිමා කිරීමේ සාකච්ඡා සඳහා හවුල් වී වර්සේල්ස් ගිවිසුමට හෙතම අත්සන් තැබුවේය. ජනපතිවරයා ද වයිරස ආසාදිතයකු විය.


ලොව පුරා මිලියන 500 ක් ස්පාඤ්ඤ උණ හේතුවෙන් රෝගී වූ අතර මියගිය ගණන මිලියන 50 කි. ලෝකයේ සෑම අස්සක් මුල්ලක් පාවා වයිරසය ව්‍යාප්ත විය. ලොවෙන් හුදෙකලා වූ පැසිෆික් දූපත්වලටත් ආක්ටික් කලාපයටත් වයිරසය පැතිරුණි. ‘ස්පාඤ්ඤ උණ’ දරුණු වසංගත තත්ත්වයක් බවට පත් වූයේ වයිරසයේ දැඩි ආසාදන හැකියාව නිසාය. ප්‍රතිකර්මයක් නොතිබුණු බැවින්, ‘කොවිඞ් 19’ වයිරසය මෙන් එය ඉතාමත් වේගයෙන් පැතිර ගියේය. ‘කොවිඞ් 19’ හා සමානව, ‘ස්පාඤ්ඤ උණ’ වසංගතයෙන් ද මියගිය වැඩි දෙනා අවුරුදු 65 ට වැඩි පුද්ගලයන්ය. වයිරසය ආසාදනය වූ අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්ගෙන් සියයට 92 ක් මියගියහ. වයිරසය ආසාදනය වූ ගැබිනි මවුවරුන්ගෙන් සියයට 23 ක් මියගියහ. ‘කොවිඞ් 19’ වයිරසය සේම, ‘ස්පාඤ්ඤ උණ’ වයිරසය හේතුවෙන් ද නියුමෝනියා ආසාදන තත්ත්වයක් හට ගැණුනි. ආසාදිතයන් මියගොස් ඇත්තේ නියුමෝනියාව උත්සන්න වීමෙනි. ‘ස්පාඤ්ඤ උණ’ පුද්ගලයන් අතරේ පැතිරුණේ ද ‘කොවිඞ් 19’ වයිරසය මෙනි. ආසාදිතයන්ගේ සෙම සහ කෙළ බිඳිති වයිරසය පැතිරීම සිදු කළේය. විෂබීජ අත්වල තැවැරී ඇස්, නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් නිරෝගී පුද්ගලයෝ ආසාදිතයො වූහ. ‘කොවිඞ් 19’ ආසාදනය වුවත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි. ‘කොවිඞ් 19’ බිහිසුණු වන්නේ එහෙයිනි. ඒත් ස්පාඤ්ඤ උණ වයිරසය ආසාදනය වන සැමගෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බව පැවැසෙයි.


එදා ඉන්දියාව පමණක් නොව අප ශ්‍රී ලංකාව ද බි‍්‍රතාන්‍ය යටත් විජිත විය. 1918 අවසන් වෙද්දී, ස්පාඤ්ඤ උණ හේතුවෙන් ඉන්දියාවේ මියගිය ගණන මිලියන 17 ක් යැයි පැවැසෙයි. වයිරසය කොළඹ වරායෙන් මෙන්ම තලෙයිමන්නාරම්තොටෙන් ද මෙරටට ඇතුළු වූ බව බි‍්‍රතාන්‍ය වාර්තාවල සඳහන් වෙයි. වයිරසය දකුණු පළාත්වල වේගයෙන් පැතිර ගොස් තිබේ. අවසන් වශයෙන් මඩකලපුවෙන් ද ආසාදිතයන් හමුවී තිබේ. ස්පාඤ්ඤ උණ හේතුවෙන් මෙරට සිදුවුණු මරණ සංඛ්‍යාව ලක්ෂ 3 කට වඩා වැඩි යැයි ඉතිහාස වාර්තාවල සඳහන් වෙයි. මෙරට වයිරස වසංගත අදියර දෙකකින් පැතිර ගිය බව ද ඉතිහාස වාර්තාවල සඳහන් වෙයි. පළමු අදියරේ (පළමු රැල්ල) දී ආසාදිතයන් වැඩි වුවත්, මරණ සංඛ්‍යාාව ඉහළ ගොස් නැත. වයිරසයේ ‘දෙවැනි රැල්ල’ පැතිර යද්දී බොහෝ දෙනකු වයිරසයට බිලි වී ඇත.


1919 වසරේ ගිම්හාන කාලය වනවිට වසංගතය අවසන් විය. මේ වනවිට වයිරසය ආසාදනය වූ පුද්ගලයන් එක්කෝ මියගොසිනි. නැතිනම් ඔවුන් තුළ වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිය නිර්මාණය වී අවසන්ය. වසර 80 කට පසු, 2008 දී, වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ ස්පාඤ්ඤ උණ වසංගතය සම්බන්ධයෙන් නව තොරතුරු කරළියට ආවේය. ‘ස්පාඤ්ඤ උණ’ වයිරසය මාරක වූයේ කෙසේදැයි සොයා ගැනීමට වෛද්‍ය පර්යේෂකයෝ සමත් වූහ. රෝගයට ආසාදනය වූවන්ගේ පෙනහලු බැක්ටීරියා නියුමෝනියා තත්ත්වයකට පත් වූයේ වයිරසයේ සුවිශේෂී ජාන වර්ග තුනක් නිසා යැයි වෛද්‍ය පර්යේෂකයෝ අනාවරණය කරගෙන තිබුණි. මෙම ජාන වර්ග තුන, වයිරසය ආසාදනය වන තැනැත්තාගේ ශ්වාසනාල දුර්වල කරයි. බැක්ටීරියා ආසාදන තත්ත්වයක් හට ගැනීම ඒ අනුව සිදුවී ඇත.


1918 වසරේ සිට මේ දක්වා ඉන්ෆ්ලුවෙන්සා වසංගත කීපයක් වාර්තා වූ නමුත් ඒ කිසිවක් ස්පාඤ්ඤ උණට සමාන කළ නොහැකිය. 1957 සිට 1958 ඉන්ෆ්ලුවෙන්සා වසංගතයක් හටගත්තේය. එයින් ලොව පුරා මිලියන දෙකක් මියගියහ. ඇමෙරිකාවේ මියගිය ගණන 70,000 කි. තවත් ඉන්ෆ්ලුවෙන්සා වසංගතයක් 1968 සිට 1969 දක්වා පැවැතිණි. එයින් ලොව පුරා මිලියනයක් මියගියේය. ඇමෙරිකාවේ පමණක් මියගිය ගණන 34,000 කි. 2009 සිට 2010 දක්වා කාලයේ ‘සූකර උණ’ වසංගතයක් පැතිර ගියේය. එයින් ඇමෙරිකානුවෝ 12,000 ක් ජීවිතක්ෂයට පත්වූහ. ඉන්පසු ලොව කැලැඹීමට සමත් වූයේ මෙම ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයයි.


නැෂනල් හිස්ටි‍්‍ර නාළිකාවේ
විකාශය වූ වාර්තා වැඩසටහනක් අසුරිනි

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe