‘ස්පුට්නික්’ එන්නතට ඉරානයේ අනුමැතිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 27, 2021

‘ස්පුට්නික්’ එන්නතට ඉරානයේ අනුමැතිය

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අඩපණ කිරීමට, රුසියාවේ ගැමලේයා ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති ‘ස්පුට්නික් 5’ ප්‍රතිශක්තිකරණ එන්නතට ඉරාන රජයේ අනුමැතිය හිමිවී තිබේ. 

ඉරාන රජය, ‘ස්පුට්නික් 5’ එන්නත, හදිසි තත්ත්වයක් සේ සලකා ඉරාන වැසියන්ට ලබා දීමට තීරණය කළේ, එන්නත ලබා දීම සුදුසු යැයි ඉරාන සෞඛ්‍ය බලධාරීන් සහ ඖෂධ පාලන අධිකාරිය ඊට අනුමැතිය දී ඇති බැවිනි. 

මැදපෙරදිග කලාපයේ ‘කොවිඩ් 19’ වයිරසය ඉහවහා ගිය රටක් ලෙස ඉරානය සැලකෙන අතර, ඉරානය මේ වනවිට මුහුණ දෙන්නේ වයිරසයේ තෙවැනි රැල්ලටය.

ලොව පළමුවෙන් නිපදවා, පළමුවෙන් ලියාපදිංචි කළ ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ ‘ස්පුට්නික් 5’ ය. මෙය ද අනෙක් එන්නත් මෙන් මාත්‍රා දෙකකින් යුක්ත වන අතර රුසියාව පවසන්නේ සියයට 92 ක් සාර්ථක බවය. 

මෙම එන්නත මේ වනවිට රුසියානුවන්ට ලබා දීම සිදුවෙයි. කෙසේ නමුත් බටහිර රටවල් පමණක් නොව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ‘ස්පුට්නික් 5’ එන්නත දෙස බලන්නේ සැකයෙනි. ඒ එය රුසියානු නිෂ්පාදනයක් බැවිනි. 

එහෙයින්, රුසියාවට ඔවුන්ගේ එන්නත විකිණීම ගැටලුවක් වී ඇත. එන්නතේ සාර්ථකත්වය සම්බන්ධයෙන් සියලු සායනික දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා ඇති නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නත් විකිණීමට ප්‍රමුඛත්වය දෙමින්, රුසියානු එන්නත කෙරෙහි වැඩි අවදානයක් යොමු නොකරන බවට රුසියන් ජනාධිපති පුටින් චෝදනා කර තිබේ. 

රුසියාව පසුගිය දා ‘ස්පුට්නික් 5’ එන්නත යුරෝපා සංගමය යටතේ ලියාපදිංචි කිරීමට උත්සාහ කළ නමුත් එය ද අසාර්ථක විය. මේ වනවිට යුරෝපා රටවල් රැසකට ලබා දෙන්නේ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නතය. 

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ප්‍රතික්ෂේප කරන ඉරානය, රුසියානු එන්නත මිලදී ගැනීමට කැමැත්ත දැක්වීම, රුසියාවට ශක්තියක් බව රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් පවසා ඇත. 

එන්නත මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉරාන විදේශ ඇමැති මොහොමද් ජවාද් රුසියන් විදේශ ඇමැතිවරයා සමඟ සාකච්ඡා පවත්වා ඇත. 

ඉරාන රජය මීට පෙර අවස්ථා කීපයකදී පවසා තිබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබීමෙන් පසු රුසියන් එන්නත මිලදී ගන්නා බවය. 

කෙසේ නමුත් එවැනි ‘අනුමැතිය’ දීමක් දැන්ම සිදු නොවනු ඇති බවත්, බටහිර එන්නත් කෙරෙහි ඉරානයේ විශ්වාසයක් නැති බැවින්, ඉරානයට කවදත් හිතවත් රුසියාවේ එන්නත මිලදී ගන්නා බවත් ඉරාන විදේශ ඇමැති මොහොමද් ජවාද් පවසා තිබේ.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom