K2 නැග්ග වීරයෝ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 18, 2021

K2 නැග්ග වීරයෝ

ලොව උසම කන්ද එවරස්ට්ය. එවරස්ට් කඳු මුදුන පළමුවෙන් ම තරණය කළේ නවසීලන්ත ජාතික ශ්‍රීමත් එඩ්මන් හිලරි සහ නේපාල ඉන්දීය ෂර්පාවරයකු වන ටෙන්සිංග් නෝර්ගේ ය. ඒ, 1953 මැයි 29 වැනිදා ය. 

හිලරි සහ නෝර්ගේ කළ එවරස්ට් තරණය සදා අමරණීය වික්‍රමයකි. එවරස්ට් තරණය අවදානම්ය. 

අසීරු අභියෝගයකි. මරණය සමඟ සෙල්ලමකි. කෙසේ නමුත් ලොව දෙවැනියට උසින් වැඩිම කන්ද ලෙස සැලකෙන ‘කේ 2’ තරණය ඊටත් වඩා අසීරු අභියෝගයක් යැයි පැවැසෙයි. 

 කෙසේ නමුත් එම අභියෝගය ද ජය ගනිමින් ‘කේ 2’ කඳු මුදුන ද තරණය කෙරුණි. 

එම වික්‍රමය කළේ ඉතාලි කඳු නගින්නන් දෙදෙනකු වන ලීනෝ ලැසෙඩෙල්ලි සහ අචිල් කොම්පැග්නෝනී දෙදෙනාය. ඒ, 1954 ජූලි 31 වැනිදාය. 

මොවුන් මරණයට අභියෝග කරමින් ‘කේ 2’ තරණය කළේ ග්‍රීෂ්ම සෘතුවේදීය. එහෙත් මේ වනතුරු ‘කේ 2’ කන්ද ශීත සෘතුවේ දී කිසිවකු තරණය කර තිබුණේ නැත. 

ශීත සෘතුවේ කන්ද තරණයට ගිය කඳු නගින්නන් බොහෝ දෙනකුට ආපසු පහළට ඒමට නොහැකි විය. පසුගිය 16 වැනිදා, නව ලෝක වාර්තාවක් ද පිහිටුවමින්, ශීත සෘතුවේ ‘කේ 2’ කඳු මුදුන තරණය කෙරුණි. 

එම වික්‍රමයට සම්බන්ධ වූයේ දස දෙනකුගෙන් සමන්විත නේපාල කඳු නගින්නන් කණ්ඩායමකි. ‘එවරස්ට්’ ශිඛරය අයත් වන්නේ හිමාල කඳුවැටියටය. 

හිමාල කඳු වැටිය පිහිටා ඇත්තේ, නේපාලයත් ටිබෙට් රාජ්‍යයත් අතරේය. 

ලොව දෙවැනියට උසින් වැඩිම, ‘කේ 2’ අයත් වන්නේ කරාකොරාම් කඳු වැටියටය. කරාකොරාම් ඇත්තේ පාකිස්තාන චීන දේශසීමාවේය. ‘කේ 2’ කන්දේ සම්පූර්ණ උස මීටර් 8,611 (අඩි 28,251) කි. 

‘කේ 2’ එවරස්ට් කන්දට වඩා මීටර් 200 ක් උසින් අඩුය. එවරස්ට් කන්දේ උස 8,849 කි. මීටර් 8,000 ට වඩා උසින් වැඩි කඳු 14 ක් ඇති අතර, ඒ අතරට ‘කේ 2’ ද අයත් වෙයි. 

 පසුගිය දා ‘කේ 2’ කඳු මුදුන පළමුවෙන් තරණය කරමින් ලෝක වාර්තාවක් පිහිටුවූ නේපාල ජාතිකයන් 10 දෙනා ෂර්පාවරුන්ය. 
ජය සමරමින්...

ෂර්පාවරුන් හිමාල අඩවියේ ජීවත්වන වැසියන් පිරිසකි. කඳු තරණයේ පුරෝගාමීන් ලෙස ද මොවුන් සැලකෙයි. විදේශිකයන්ට හිමාල කඳු තරණයට සහාය වන්නේ ෂර්පාවරුන්ය. 

කඳු නගින්නන්ට මඟ පෙන්වන්නන් ලෙස කටයුතු කරන ෂර්පාවරුන් කඳු තරණයේ උපන් හපනුන් ලෙස ද සැලකෙයි. එසේ වුවත්, මෙතෙක් කල් ඔවුන් ප්‍රසිද්ධියට පත් වූයේ සහායකයන් ලෙස පමණි. 

‘කේ.2’ තරණයත් සමඟ ෂර්පාවරුන් වීරයක් වූ පළමු අවස්ථාව වන්නේ ද මෙය යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. ලෝක වාර්තාව පිහිටුවූ කණ්ඩායමේ එක් සාමාජිකයකු වන්නේ නිම්ස්දායි පුර්ජා ය. 

පුර්ජා, බ්‍රිතාන්‍ය හමුදා සේවයට ගිය නේපාල ‘ගුර්කා’ සොල්දාදුවෙකි. දැන් විශ්‍රාමික ය. 

පුර්ජා මහත් ආඩම්බරයෙන් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ, තමන් ඇතුළු තම කණ්ඩායමට පසුගිය 16 වැනිදා, නේපාල වේලාවෙන් සවස 5 ට ‘කේ 2’ කඳු මුදුනට සේන්දු වීමට හැකි වුණු බවය. 

කඳු මුදුනට ගිය නේපාල කණ්ඩායම නේපාල ධජය ලෙළදීමට සලස්වමින්, නේපාල ජාතික ගීය මහ හඬින් ගායනා කළ බව ද පැවැසෙයි. 

අවසානයේ 10 දෙනකුගෙන් යුත් කණ්ඩායමක්, කඳු මුදුනට ගියත්, නේපාල කඳු නගින්නන් කණ්ඩායම් කීපයක් ලෙසින් මෙම වික්‍රමයට සම්බන්ධ වී ඇත. කණ්ඩායම් තුනකට සහ හතරකට වෙන් වෙන්ව පැමිණි පිරිස 60 කි.

අවසානයේ එම කණ්ඩායම් හැම එකකින්ම එක් වුණු 10 දෙනකුගෙන් යුත් තනි කණ්ඩායමක් කඳු මුදුනට යෑමේ අවසන් වික්‍රමයට එක් විය. ඒ, නේපාලය වෙනුවෙන්, ශීත සෘතුවේ ‘කේ 2’ පළමුවෙන් තරණය කිරීමේ ගෞරවය දිනා ගනිමිනි. 

මීට පෙර, ශීත සෘතුවේ ‘කේ 2’ කන්ද තරණය කිරීමට පළමුවෙන් ම උත්සාහ ගත් තැනැත්තා ඇමෙරිකන් කඳු නගින්නකු වන ජෝර්ජ් බෙල් ය. ඔහු කන්ද තරණයට ගියේ 1953 දීය. විය.

‘ඒක එසේ මෙසේ කන්දක් නොවෙයි. ඔබ මරන්න බලන් සිටින නරුම කන්දක්’ යැයි අසාර්ථක උත්සාහයෙන් පසු ජෝර්ජ් බෙල් ‘කේ 2’ හඳුන්වා දුන්නේය. එදා පටන්, තරණය කළ නොහැකි අභියෝගයක් විදියටත්, ‘මහා නරුම කන්දක්’ විදියටත්, ‘කේ 2’ සැලකිණි. 

ඉන්පසු යළිත් ශීත සෘතුවේ, ‘කේ 2’ තරණය ආරම්භ වූයේ 1987 සහ 1988 කාලයේය. 

කඳු මුදුනට යෑමට උත්සහ කළේ කඳු නගින්නන් අතලොස්සක් පමණි. ඒ සියලු උත්සාහයන් අසාර්ථක වූ අතර, ඔවුන් කිසිවකුට මීටර් 7,650 සීමාව පසු කළ නොහැකි විය.

 ‘කේ 2’ කන්ද තරණය කරද්දී, ඉහළින් ඇත්තේ දොබොක්කාවකි. 

මෙම ස්ථානයට පැමිණීම පමණක් නොව මෙය පසු කර යෑම ද පහසු නැත. යම් හෙයකින්, මෙම ස්ථානය පසු කිරීමට සමත් වුවහොත්, කඳු මුදුනට යා හැකි බව පැවැසෙයි. 

ශීත සෘතුවේ, ‘කේ 2’ තරණයට පැමිණෙන බොහෝ කඳු නගින්නන්ට මෙම ස්ථානය පසු කිරීම මෙතෙක් කළ නොහැකි විය.

මෙම ස්ථානයේ නිරන්තරයෙන් හිම කඩා වැටීම් සිදුවන අතර, 2008 දී සිදුවුණු එවැනි හිම කඳු කඩා වැටීමකින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 

බීබීසී ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom