ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය අවසන් වූයේ එංගලන්ත කණ්ඩායමට වැඩි වාසි අත් කර දෙමිනි.
අසාර්ථක පිතිහරඹය හේතුවෙන් පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ ලකුණු 135ක් පමණි.
ඊට පිළිතුරු ලෙස සංචාරක එංගලන්ත කණ්ඩායම ලකුණු 421ක් රැස් කරගැනීමට සමත් වූ අතර එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට් ද්විත්ව ශතකයක් ද රැස් කළේය.
ඔහු රැස් කළ ලකුණු ප්‍රමාණය 228කි. සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඩෑන් ලෝරන්ස් ලකුණු 73ක් රැස් කරගැනීමට සමත්විය.
ඉනිමක පරාජයෙන් බේරීමේ අභියෝගය ඇති පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් දීමට කුසල් ජනිත් පෙරේරා සහ ළහිරු තිරිමාන් සමත්වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම ආරම්භ කළේ ලකුණු 286ක් පිටුපස සිටිමිනි.
සාර්ථක ඉනිමක් ගොඩනගා ගනිමින් සිටි කුසල් ජනිත් අනවශ්‍ය පහරක් එල්ල කරමින් සිය කඩුල්ල පූජා කළේ ලකුණු 62ක් රැස් කරගෙන සිටියදීය.
දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටින කුසල් මෙන්ඩිස් පිටියට පිවිසයේ විශාල පීඩනයකින් බව තරගය අතරවාරයේදී දක්නට ලැබිණි.
අවසන් ඉනිම හතරේදීම අඛණ්ඩව ලකුණු නොලබා දැවී ගිය කුසල් මෙන්ඩිස් දෙවැනි ඉනිමේදී ලකුණක් ලබාගැනීමෙන් පසු සිනහා සෙමින් ලැබූ අස්වැසිල්ල කැමරා කාචවල හොඳින් සටහන්ව තිබිණි.
කෙසේ නමුත් ඔහුට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නොහැකි වූ අතර රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 15ක් පමණි. සැඳෑ මුරකරු ලෙස පිටියට පිවිසි ලසිත් ඇඹුල්දෙණියට මුහුණ දීමට හැකිවූයේ පන්දු 11ක් පමණි.
ඔහු සිවුවැනි දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.
ළහිරු තිරිමාන්න සමඟ එක්වූ ඇන්ජලෝ මැතිව්ස් සාර්ථකව ඉනිම ගොඩනැංවූහ.
ළහිරු තිරිමාන්න සිය දෙවැනි ටෙස්ට් ශතකය රැස් කරගැනීමට සමත්වූ අතර ඔහු ලකුණු 111ක් ලබා සිටියදී දැවී ගියේය.
ඔහු සිය පළමු ටෙස්ට් ශතකය රැස් කිරීමෙන් වසර හතකට පසු දෙවැනි ශතකය රැස් කිරීම විශේෂත්වයක් විය.
හුදෙකලා සටනක නිරත වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 71ක් රැස් කරගැනීමට සමත්වූ අතර ඉන් පසු පිටියට පිවිසි කිසිදු පිතිකරුවකුට සාර්ථක වීමට නොහැකි විය.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය දෙවැනි ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 359ක් පමණි.
එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 74ක ඉලක්කයක් හිමිවිය.
ඒ අනුව පහසු ඉලක්කයක් ඇතිව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ කඩුළු තුනක් කෙටි වේලාවක් ඇතුළත දවාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ.
ඒ අනුව දිනය අවසානයේදී කඩුළු තුනක් දැවී 38ක් ලබාගැනීමට එංගලන්ත ක්‍රීඩකයා සමත්වූහ.
එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 36ක් පමණි. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 11ක් ද ඩෑන් ලෝරන්ස් ලකුණු හතක් ද රැස් කරගෙන සිටියහ.
෴ හර්ෂණ
ඡායාරූප අයි.සී.සී.