දුන් පොරොන්දු සියල්ල ඉටු කළා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 20, 2021

දුන් පොරොන්දු සියල්ල ඉටු කළා

ධුරයෙන් සමුගත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) අවසන් වරට ජාතිය ඇමැතුවේය. 

ඇමෙරිකාව ශ්‍රේෂ්ඨ තැනක් කිරීමටත්, ඇමෙරිකානුවන්ගේ නැතිවුණු ගෞරවය යළි උදා කරදීමේත් අරමුණින් බලයට පත් වුණු තමන් එය සාර්ථකව ඉටු කළ බවත්, දුන් පොරොන්දු සියල්ල ඉටු කළ බවත් ජනපති ට්‍රම්ප් අවධාරණය කළේය. 

ඇමෙරිකන් ජනතාව ඉල්ලා සිටි පරිදි රටේ දේශසීමා ශක්තිමත් කළේය. ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ දේශසීමා පවුර ඉදි කිරීමට කටයුතු යෙදුණේ ඒ අනුවය. 

රටේ ආර්ථිකය නැංවීම, ඇමෙරිකානුවන්ට අහිමි වුණු රැකියා යළි ඇමෙරිකානුවන්ට ලබා දීමට ට්‍රම්ප් පරිපාලනය සමත් විය. 

කෙසේ නමුත් ඒ සියල්ල ‘කොවිඩ් 19’ කොරෝනා වයිරස වසංගතය හමුවේ වෙනස් විය. ට්‍රම්ප්ගේ පරාජයට එක් හේතුවක් වූයේ ද කොරෝනා වසංගතයයි. 

දශක ගණනාවකට පසු ඇමෙරිකාව යුද්ධයකට සම්බන්ධ නොකළ ජනාධිපතිවරයා තමා යැයි ට්‍රම්ප් අවධාරණය කළේය. ජනාධිපති ට්‍රම්ප් ධුරයෙන් සමුගත්තේ, අධිකරණය මගින් වරදකරුවන් කළ 100 දෙනකුට ජනපති සමාව ලබා දීමෙන් ද පසුවය. 

අද (20) ඇමෙරිකානු වේලාවෙන් උදෑසන පැවැති බයිඩන්ගේ සහ කමලා හැරිස්ගේ දිවුරුම්දීමේ උත්සවයට ට්‍රම්ප් සහභාගී නොවිණි. 

‘සිවු වසරකට පෙර, අප රට යළි ගොඩනැගීමේ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කළා. ඒ ඇමෙරිකාව, ඇමෙරිකානුවන් සියලුම දෙනා වෙනුවෙන් ශ්‍රේෂ්ඨ තැනක් කිරීමේ අරමුණින්. ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපති ලෙස මා මාගේ ධුරය අවසන් කරන්නේ ආඩම්බරයෙන්. අප සැවොම එක් වී ලබා ගත් ජයග්‍රහණ බොහොමයි.

බලයට පත් වෙද්දී අප කී ඡන්ද පොරොන්දු ඉටු කළා පමණක් නොවෙයි, ඊට වඩා දේවල් අප කළා. දැන් අලුත් පරිපාලනයක් පාලනය බාර ගන්නවා. ඇමෙරිකාව ආරක්ෂිත සමෘද්ධිමත් රාජ්‍යයක් කිරීමට ඔවුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. ඒකට ‘වාසනාවක්’ තිබිය යුතුයි. ‘වාසනාවක්’ නැතිව කිසිවක් කරන්න බැහැ. 

මා උප ජනාධිපති මයික් පෙන්ස් සහ ඔහුගේ බිරිඳ කැරන්ටත් පෙන්ස් පවුලේ සැමටත් ස්තුති කරනවා. අපේ කැපිටල් ගොඩනැගිල්ලට කලහකාරීන් කඩා වැදීමේ සිදුවීම ඇමෙරිකානුවන් වශයෙන් අප සැවොම පිළිකුල් කරනවා. එම සිදුවීම කිසිසේත් අනුමත කරන්න බැහැ. එය ඇමෙරිකානුවන් වශයෙන් අප ලැබූ සියලු දේ විනාශ කිරීමට එල්ල වුණු ප්‍රහාරයක් හැටියට මා දකිනවා. ඒ නිසා අප හැමෝම එකමුතු විය යුතුයි. බෙදී වෙන් වී නොසිට කවුරුත් එකා මෙන් නැගී සිටිය යුතුයි පොදු අරමුණක් වෙනුවෙන්.

 බිහිසුණු වයිරස වසංගතයෙන් අප පීඩාවට පත් වෙද්දී, අප එකක් නොවෙයි, එන්නත් දෙකක් ඉතා වේගයෙන් එළිදැක්වීමට කටයුතු කළා. ඒ ගැන ආඩම්බර වෙන්න ඕනෑ. අනෙක් එන්නත් එළිදැක්වීමට පටන් ගත්තේ ඉන්පසුවයි. කවුරුත් කීවේ අපට එන්නත් ඉක්මණින් හදන්න බැහැ කියයි. ඒත් අප ඒක කළා. දැන් කවුරුත් කියන්නේ ඒක වෛද්‍ය ක්ෂේත්‍රයේ හාස්කමක් කියලයි. 

දේශසීමා ආරක්ෂා කර ගන්නැයි, වසර ගණනාවක් තිස්සේ ඇමෙරිකානුවන් ඇමෙරිකන් රජයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීමට මා කන් දුන්නා. ඇමෙරිකන් ඉතිහාසයේ වඩාත් ආරක්ෂිතම දේශසීමා පවත්වා ගැනීමට හැකි වූයේ අප රජයටයි. ලෝකයාගේ ගෞරවය ඇමෙරිකානුවන් වෙනුවෙන් මා ලබා ගැනීමට කටයුතු කළා. 

මා බලයට පත්වන නව පරිපාලනයෙන් ඉල්ලා සිටින්නේ, ලෝකයා අප ගැන ඇති කරගත් ගෞරවය අඩු වීමට කටයුතු කරන්න එපා. දශක ගණනකට පසුව මා තමයි පළමු ජනාධිපති ඇමෙරිකාව යුද්ධයකට සම්බන්ධ නොකළ. මා පහසු ක්‍රමය අනුගමනය කළේ නැහැ. අසීරු ක්‍රමයයි හැමවිටම නිවැරදි. අර්බුද රැසකට මා මුහුණ දුන්නා. අසීරු තීන්දු තීරණ ගැනීමට මට සිදුවුණා.’ 

යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් ජාතිය අමතමින් කළ වීඩියෝ පණිවුඩයේ සඳහන් වෙයි. 

ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom