නෝර්වේ ආරක්ෂක කවුන්සිලයට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 5, 2021

නෝර්වේ ආරක්ෂක කවුන්සිලයට

නෝර්වේ රාජ්‍යය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය නොවන සාමාජිකයකු ලෙස පත්ව ඇත.

නෝර්වේ රාජ්‍ය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ 2021-2022 කාල සීමාව සඳහා නිත්‍ය නොවන සාමාජිකයකු ලෙස ඊයේ (4) පත්වූ බවත් 2022 දෙසැම්බර් 31 වැනිදා දක්වා එම කවුන්සිලයේ සාමාජිකයකු ලෙස කටයුතු කරන බවත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මෙරට නෝර්වේ තානාපති කාර්යාලය සඳහන් කරයි.

නෝර්වේ රාජ්‍යයට අමතරව ඉන්දියාව, අයර්ලන්තය, කෙන්යාව සහ මෙක්සිකෝව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට පත්ව සිටින අනෙකුත් නිත්‍ය නොවන සාමාජික රටවල් වේ.ඉහත කී රටවලට අමතරව එස්තෝනියාව, වියට්නාමය, නයිජීරියාව, ටියුනීසියාව, ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩිනස් යන රටවල් සමඟ නෝර්වේ රාජ්‍ය පළමු වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරනු ඇත.

මේ අතර නෝර්වේ රාජ්‍යයට ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකත්වය හිමි ව ඇත්තේ වසර 20කට පසුව ය. නෝර්වේ රාජ්‍ය අවසන් වරට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය නොවන සාමාජිකත්වය හෙබවූයේ 2001-2002 කාලසීමාවේදී ය.

කොළඹ නෝර්වේ තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.

‘‘නෝර්වේ රාජ්‍යය 2021 ජනවාරි 4 වන දින එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ 2021-2022 කාල සීමාව සඳහා නිත්‍ය නොවන සාමාජිකයෙකු ලෙස පත් විය. ඉන්දියාව, අයර්ලන්තය, කෙන්යාව හා මෙක්සිකෝව යන අනෙකුත් නිත්‍ය නොවන සාමාජික රටවල් සමගින් නෝර්වේ රාජ්‍යය මෙම කාලසීමාව සඳහා පත් වූ අතර 2022 දෙසැම්බර් 31 දින දක්වා එම මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට නියමිත වේ. 

නෝර්වේ රාජ්‍යය මෙම කාල සීමාව සඳහා ආරක්‍ෂක මණ්ඩලයේ සාමාජිකත්වය දරනුයේ 2001-2002 අතර කාලය සඳහා සාමාජිකත්වය දැරීමෙන් වසර 20 කට පසුව ය.

මෙම කාල සීමාව තුළදී ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, එක්සත් රාජධානිය, චීනය හා රුසියාව යන නිත්‍ය සාමාජික රටවල් පහට අමතරව සමස්ථ කාල සීමාවම තුළ අයර්ලන්තය, ඉන්දියාව, කෙන්යාව හා මෙක්සිකෝව යන රටවල් සමගින් ආරක්‍ෂක මණ්ඩලය නියෝජනය කරන අතරම එස්තෝනියාව, වියට්නාමය, නයිජීරියාව, ටියුනීසියාව, ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩින්ස් යන අනෙකුත් තේරී පත් වූ සාමාජික රටවල් සමග පළමු වසරේදී නෝර්වේ රාජ්‍යය එම මණ්ඩලය නියෝජනය කරනු ඇත.එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් නෝර්වේ රාජ්‍යය දක්වා ඇති දායකත්වයට හා කැපවීමට දිගු ඉතිහාසයක් ඇත. 

එම සංවිධානයේ සමාරම්භක සාමාජික රාජ්‍යයක් වශයෙන් නෝර්වේ රාජ්‍යය එක්සත් ජාතීන්ගේ සංවිධානයට මෙන්ම එහි ආරම්භයේ සිටම රීති පාදක ජාත්‍යන්තර පද්ධතිය වෙතද අචල හා අඛණ්ඩ දායකත්වයක් ලබා දී තිබේ. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නෝර්වේ තානාපති මෝනා ජූල් මීට අදාළව ජාතික ධජය එසවීමේ උත්සවය අමතමින් අවධාරණය කර සිටියේ “ජාත්‍යන්තර නීතිය හා මානව හිමිකම් අප රාජ්‍යයේ සියලුම ප්‍රයත්නයන් වෙත පදනම සපයන” බවයි. “සාමය අරමුණු කරගත් රාජ්‍යතාන්ත්‍රිකභාවය, කාන්තාවන්ගේ අන්තර්ග්‍රාහී බව, සිවිල් වැසියන්ගේ සුරක්‍ෂිතභාවය සහ කාලගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීම හා ලෝක ආරක්‍ෂාව සහතික කිරීම අප වෙත මග පෙන්වන ප්‍රමුඛතාවන් වනු ඇත” යනුවෙන්ද ඇය සඳහන් කළාය.

මේ අනුව, නෝර්වේ රාජ්‍යය සතුව සුවිශේෂයෙන් විශේෂඥතාවක් පවතින ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන් ආරක්‍ෂක මණ්ඩලයෙහිදී ප්‍රමුඛතාව ලබා දී කටයුතු කිරීමට නෝර්වේ රාජ්‍යය අරමුණු කරයි. ආරක්‍ෂක මණ්ඩල න්‍යාය පත්‍රය තුළ නොවිසඳිය හැකි බවක් පෙනෙන ඝටට්නයන් සඳහා විසඳුම් සොයා යාම මෙන්ම විවිධ පාර්ශ්ව අතර සවිමත් සබඳතා බිහි කිරීම උදෙසා වූ ප්‍රතිසංධාන ප්‍රයත්නයන් හා ලෝක සාමය වෙනුවෙන් වසර ගණනාවක් මුළුල්ලේ දැක්වූ දායකත්වය තුළින් උකහා ගත් පළපුරුද්ද නෝර්වේ රාජ්‍යය විසින් ප්‍රයෝජනයට ගනු ඇත. 

ආරක්‍ෂක මණ්ඩලයේ සියලුම සාමාජික රාජ්‍යයන් සමග සහයෝගීව කටයුතු කරමින් අර්ථකාරී සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමටද නෝර්වේ රාජ්‍යය කටයුතු කරනු ඇත. මෙහිදී දරුවන්ද ඇතුළුව සිවිල් වැසියන්ගේ ආරක්‍ෂාව සවිමත් කිරීමටත්, කාන්තාවන් සතු භූමිකාව ප්‍රවර්ධනය කරන අතරම ජාත්‍යන්තර සාමය හා ආරක්‍ෂාව විෂයික ප්‍රයත්නයන්හි නිරත වීම වැනි කාරණා වෙත නෝර්වේ රාජ්‍යය ප්‍රමුඛතාව ලබා දෙනු ඇත.

මීට අමතරව, කාලගුණික විපර්යාස මගින් ජාත්‍යන්තර සාමය හා ආරක්‍ෂාව වෙත කෙබඳු බලපෑමක් එල්ල වනු ඇතිද යන කාරණය වෙත ආරක්‍ෂක මණ්ඩල වැඩි අවධානයක් යොමු කරන බව සහතික කිරීම උදෙසාද කැප වී කටයුතු කිරීම නෝර්වේ රාජ්‍යයේ අපේක්‍ෂාවකි.තවත් සුවිශේෂී කාරණයක් වන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩල සැසි පැවැත්වෙන කාමරය 1952 වසරේදී නෝර්වේ රාජ්‍යය විසින් එම සංවිධානය වෙත තිළිණ කරන ලද්දක් වීමයි. 

නෝර්වේජියානු ගෘහ නිර්මාණ ශිල්පී අර්න්ස්ටයින් ආර්නබර්ග්විසින් එම කාමරය සැලසුම් කරන ලදි. එහි ඇති බොහෝ බඩු බාහිරාදිය මෙන්ම පර් ක්‍රොග් විසින් නිම කළ සුප්‍රසිද්ධ බිතු සිතුවම හා එල්සේ පවුල්සන් ගේ නිර්මාණයක් වන ගෙත්තම් තිරය නොහොත් ටැපැස්ටි්‍රයද නෝර්වේජියානු රජය විසින් ලබා දුන් ත්‍යාගයන් වේ. 2013 වසරේදී මෙම කාමරය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 5 ක් ලබා දීමටද නෝර්වේ රාජ්‍යය කටයුතු කර ඇත.

එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ නීත්‍යනුකූලභාවය හා කාර්යක්‍ෂමතාව වනාහි එහි සාමාජික රාජ්‍යයන් සියල්ලම විසින් ජාත්‍යන්තර සාමය හා ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීමට එයට හැකි වීම උදෙසා නිරත වන භූමිකාවන් මත රඳා පවතින්නකි. මෙම වගකීම වෙනුවෙන් තමන් සතු ප්‍රයත්නයන්ට උර දීමට නෝර්වේ රාජ්‍යය නිතැතින්ම කටයුතු කරනු ඇත.’’

Classified_Ad

Classified_Ad_News_Bottom