ඉම්රාන්ට අභියෝග කරන අගමැති දූ දරුවෝ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 5, 2021

ඉම්රාන්ට අභියෝග කරන අගමැති දූ දරුවෝ

එකම වේදිකාවට ගොඩවුණු බිලාවල් බූතෝ සහ මර්යාම් නවාස් 

‘කොවිඩ් 19’ කොරෝනා ජරමර මැද, පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ධුරයෙන් ඉවත් වන්නැයි බලපෑම් එල්ල වෙමින් පවතී. 

ඒ, පසුගිය ඔක්තෝබර් 10 වැනිදා පටන්ය‍. පකිස්තාන දේශපාලන කණ්ඩායම් පමණක් නොව, ප්‍රබල ආගමික කණ්ඩායම් ද විරෝධතා සඳහා එක් වී සිටී. ඒ අනුව රට පුරා දැවැන්ත විරෝධතා පැවැත්වෙයි. 

අග්‍රාමාත්‍ය ඉම්රාන්ට එරෙහිව විරෝධතා මෙහෙයවන්නේ දේශපාලනඥයන් අතර කැපී පෙනෙන දෙදෙනෙක් වෙති. ඔවුන් පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරියකගේ සහ අග්‍රාමාත්‍යවරයකුගේ පුතකු සහ දියණියකි.

පාකිස්තානයේ හිටපු ක්‍රිකට් තරුවක් වන ඉම්රාන් ඛාන්, එරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 2018 වසරේ පැවැති මැතිවරණයේදීය. ඉම්රාන් ඛාන්ගේ පක්ෂය, මධ්‍ය දේශපාලන අදහස් ඇති ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයයි. ‘තරීක් ඊ ඉන්සාෆ්’ යන්නෙහි අරුත යුක්තිය උදෙසා වූ දේශපාලන පෙරමුණ යන්නය. 

‘තරීක් ඊ ඉන්සාෆ්’ පිහිටුවීම සිදු කළේ ද ඉම්රාන් ඛාන්ගේ මැදිහත්වීමෙනි. ඒ, මීට වසර 24 කට පෙර, 1996 වසරේදීය.එදා සිට 2018 තෙක් කාලය පුරාවට ඉම්රාන් සහ ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයට ජනතා ප්‍රසාදයක් හිමි නොවිණි. ක්‍රිකට් තරුවක් ලෙස සහ ක්‍රිකට් විරුවකු ලෙස පකිස්තාන වැසියන්ගේ ගෞරවාදරයට පත් ඉම්රාන්ට දේශපාලනඥයකු ලෙස ජනප්‍රිය වීමට හැකියාවක් ලැබුණේ නැත. 

පාකිස්තානයේ දේශපාලනය දෝලනය වූයේ පාර්ශ්ව තුනක් අතරේය. එයින් දෙකක් ‘පාකිස්තාන මුස්ලිම් ලීගය (එන්)’ සහ ‘පාකිස්තාන ජනතා පක්ෂය’යි. තෙවැනි පාර්ශ්වය පාකිස්තානයේ බලගතු හමුදාවය. 

පාකිස්තානය ලෙස වෙනම මුස්ලිම් රාජ්‍යයක් නිර්මාණය වූයේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ඉන්දියාවට නිදහස හිමිවෙද්දීය. ඒ, 1947 දීය. ඉන්පසු 1951 වසරේ සිට පාකිස්තානයේ හමුදා කුමන්ත්‍රණ සිදුවිය. 1958 සිට 1971 දක්වාත්, 1977 සිට 1988 දක්වාත්, 1999 සිට 2008 දක්වාත් පාකිස්තානය හමුදා පාලනයට නතු විය.

2018 වසරේ ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ඔහුගේ පක්ෂය පළමු වරට ජය ලැබුවේ, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ‘පාකිස්තාන මුස්ලිම් ලීගය (එන්)’ සහ ‘පාකිස්තාන ජනතා පක්ෂය’ පරාජය කරමිනි. එය පාකිස්තාන දේශපාලනයේ සිදුවුණු පෙරළියකි. 
ඉම්රාන් ඛාන් ට එරෙහි විරෝධතා

ඒ වනතුරු හමුදා කුමන්ත්‍රණ අතර තුරේ මාරුවෙන් මාරුවට බලයේ සිටියේ පාකිස්තාන මුස්ලිම් ලීගය (එන්) සහ පාකිස්තාන ජනතා පක්ෂයයි. ‘පාකිස්තාන මුස්ලිම් ලීගය (එන්)’ සහ ‘පාකිස්තාන ජනතා පක්ෂය’ ට දූෂණ වංචා චෝදනා නිරන්තරයෙන් එල්ල වී තිබුණි. 

අද වනවිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට විරෝධයක් එල්ල වී ඇත්තේ ප්‍රධාන වශයෙන් 2018 මහ මැතිවරණයේ දී දූෂණ වංචා සිදුවුණැයි චෝදනා කරමිණි. ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය බලයට ආවේ පාකිස්තානයේ බලගතු හමුදාවේ සහාය ඇතිව යැයි චෝදනා එල්ල වී තිබේ. 

‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය ජයග්‍රහණය කිරීමෙන් පසු ඉම්රාන් අගමැති ධුරයට පත් වෙද්දී, පාකිස්තානයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම් බවට පත් වූයේ පාකිස්තාන මුස්ලිම් ලීගය (එන්) සහ පාකිස්තාන ජනතා පක්ෂයයි. පාකිස්තාන මුස්ලිම් ලීගය (එන්) හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ දේශපාලන පක්ෂයයි. 

පාකිස්තාන ජනතා පක්ෂය පාකිස්තාන අග්‍රාමාත්‍යවරියක වන ඝාතනයට ලක් වුණු බෙනාසීර් බූතෝ සහ පසුව අග්‍රාමාත්‍ය ධුරයට පත් බූතෝගේ සැමියා අසීෆ් අල් සර්දාරිගේ පක්ෂයයි. 

අද පාකිස්තාන මුස්ලිම් ලීගය (එන්) පක්ෂයේ පෙරමුණ ගෙන සිටින්නේ එහි උප සභාපතිනිය ද වන 47 හැවිරිදි මර්යාම් නවාස් ය. මර්යාම් නවාස් යනු නවාස් ෂරීෆ්ගේ දියණියන් දෙදෙනාගෙන් කෙනෙකි. 
පාකිස්තාන ජනතා පක්ෂයේ සභාපති ලෙස කටයුතු කරන්නේ බෙනාසීර් බූතෝ සහ අසීෆ් අලි සර්දාරිගේ පුතු 32 හැවිරිදි බිලාවල් බූතෝ සර්දාරිය. මර්යාම් සහ බිලාවල් වෙන්වෙන්ම විරෝධතා රැලි පවත්වමින් පවසන්නේ ඉම්රාන් රූකඩයක් බවත් ඔහු පාකිස්තාන ජනතාවගේ විශ්වාසය කඩ කළ අයකු බවත්ය. 
බිලාවල් බූතෝ දේශපාලනයට නවකයකු වුවත්, ඔහු දිනෙන් දින දේශපාලන පරිනතභාවයට පත් වෙමින් සිටී. තම මවගේත් පියාගේත් පක්ෂයට අද ඔහු නායකත්වය ලබා දෙන්නේ ජනතා විශ්වාසය දිනා ගැනීමට සමත් වූ බැවින් බව පැහැදිලිය.

2018 වසරේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය රජයක් පිහිටුවද්දී, පාකිස්තාන මුස්ලිම් ලීගය (එන්) සහ පාකිස්තාන ජනතා පක්ෂය ඇතුළු පාකිස්තාන විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඔවුන්ගේ මතවාද පසෙකලා සන්ධානගතවී එක් දැවැන්ත විපක්ෂයක් නිර්මාණය කළේය. 

‘පාකිස්තාන ප්‍රජාතන්ත්‍රවාදී බලවේගය’ යනු එයයි. ඉම්රාන් ඛාන්ට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් පන්ජාබ්, සින්ද්, බලුකිස්තාන් යන ප්‍රාන්තවල විරෝධතා පැවැත්වෙයි. පෙෂවෝර් පමණක් නොව, ක්වෙටා, කරද්දි, ගුජ්රැන්වාලා ආදී නගරවලද විපක්ෂ විරෝධතා උත්සන්න වී තිබේ.

2018 මැතිවරණයට පෙර, පැවැති ජනමත සමීක්ෂණ අනුව, පාකිස්තාන මුස්ලිම් ලීගය (එන්) පක්ෂයට පැහැදිලි බහුතර ජයක් හිමිවන බව පෙනී ගියේය. ඒත්, තියුණු සටනකින් පසු ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය ජයග්‍රහණය කළේය. 

එවකට රටේ දේශපාලනයේ පැවැති දූෂණ වංචා හේතුවෙන් පාකිස්තාන වැසියන් හෙම්බත් වී සිටි බැවින්, ඔවුන් ප්‍රධාන දේශපාලන පක්ෂ වෙනුවට නව පක්ෂයක් තෝරා ගත් බව, මැතිවරණ ජය සමරමින් ඉම්රාන් සහ ඔහුගේ දේශපාලන කණ්ඩායම පෙන්වා දුන්නේය. ඒ වනවිට නවාස් ෂරීෆ් සහ අසීෆ් අලී සර්දාරි අග්‍රාමාත්‍යවරුන් ලෙස කටයුතු කර තිබුණි. 

‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය ජයග්‍රහණය කළේ පාකිස්තාන හමුදාව සහ බුද්ධි අංශය මැතිවරණ කටයුතුවලට මැදිහත් වූ නිසා යැයි ස්වාධීන නිරීක්ෂකයන් පවා පෙන්වා දී ඇත. ‘පාකිස්තාන ප්‍රජාතන්ත්‍රවාදී බලවේගය’ ශක්තිමත් වී ඇත්තේ ඒ නිසාය. 
වර්තමානයේ අගමැති ඉම්රාන්ට එරෙහිව ආරම්භ වී ඇති විරෝධතා කොතැනින් කෙළවර වේවිදැයි කිව නොහැකිය. ඉම්රාන්ගේ ධුර කාලය අවසන් වනු ඇත්තේත් යළි මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇත්තේත්‍ 2023 වසරේදීය. 

හින්දුස්ථානී ටයිම්ස් ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom