සුවසැරිය කාර්ය මණ්ඩලයටත් ප්‍රමුඛත්වය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 14, 2021

සුවසැරිය කාර්ය මණ්ඩලයටත් ප්‍රමුඛත්වය

‘කොවිඩ්-19’ මර්දන එන්නත මෙරට ජනතාවට ලබාදීමේදී සුවසැරිය කාර්යමණ්ඩලයට ද ප්‍රමුඛත්වය දෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කොළඹ දී ප්‍රකාශ කළාය.

‘1990’ සුවසැරිය ගිලන් රථ සේවය ‘කොවිඩ්-19’ වයිරසය පාලනයේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන බවත් ඔවුන් ‘කොවිඩ්-19’ වයිරසය පාලනයේ සිටින ඉදිරිපෙළ සාමාජිකයන් ලෙස හැඳින්විය හැකි බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කීවාය.

රාජගිරියේ පිහිටි 1990 සුවසැරිය ආයතනයේ නිරීක්ෂණයට එක්වෙමින් අමාත්‍යවරියා පසුගිය දා එම කරුණු සඳහන් කළාය.

‘කොවිඩ්-19’ වයිරසය හමුවේ සුවසැරිය ගිලන්රථ සේවය කරන කාර්යභාර්ය, එහි මෙහෙයුම් කටයුතු සිදුකෙරෙන ආකාරය නිරීක්ෂණය කළ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ආයතනයේ පවතින අඩුපාඩු, ඉදිරි සැලසුම් සහ ඉදිරියේ ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ආයතනයේ බලධාරීන් සමඟ සාකච්ඡාවක් ද පැවැත්වූවා ය.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, සුවසැරිය පදනමේ සභාපති දුමින්ද රත්නායක, එහි ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා, ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශ්‍රී ලාල් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

Classified_Ad

Classified_Ad_News_Bottom