ඇමෙරිකාවේ කනස්සල්ල - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 20, 2021

ඇමෙරිකාවේ කනස්සල්ල


‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ අසාධාරණ ලෙස ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව සහ අග්‍රාමාත්‍යවරයා ඉවත් නොවීම කනස්සල්ලට කරුණක් යැයි මෙරට ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කොවිඩ්-19 ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ ආදාහනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපතිනිය අවස්ථා කිහිපයකදීම ට්විටර් පණිවුඩ නිකුත් කර තිබූ අතර තවත් අවස්ථා කිහිපයකදී ප්‍රකාශ ද නිකුත් කර තිබිණි.

ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ දැක්විණි.

‘‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ අසාධාරණ ලෙස ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව සහ අග්‍රාමාත්‍යවරයා ඉවත් නොවීම සම්බන්ධයෙන් කනස්සල්ලට පත්වෙනවා. ආදරණීයයන් ඇතුළු ජනතාව පසුගිය කාලයේදී මරණයට පත්වුණා. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකින් ඔවුන්ට මීට වඩා ගෞරවයක් හිමිවිය යුතුයි’’.

‘කොවිඩ්-19’ ආසාදිත මෘතදේහ ආදාහනය කිරීම නැවැත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය සතුටින් පිළිගන්නා බව ද ඇය මීට පෙර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඇමෙරිකාව සිය සැලකිල්ල සහ මහත් ඕනෑකම ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බවත් ශ්‍රී ලංකාවේ බහුවිධ ප්‍රජාවල සම්ප්‍රදායවලට ගරු කරන්නැයි බල කර සිටින බවත් ඇමෙරිකානු තානාපතිනිය මීට පෙර නිකුත් කළ තවත් ට්විටර් පණිවුඩයක දැක්විණි.

මේ අතර ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ආගමික විශ්වාසවලට සහ සංස්කෘතික සම්ප්‍රදායවලට ගරු කරන්නැයි ශ්‍රී ලංකාවට බල කර සිටින බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් එම දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

Classified_Ad

Classified_Ad_News_Bottom