මිහිමත වෙසෙන වටිනා ම සත්ත්වයා මීමැස්සා බව ලන්ඩන්හි රාජකීය භූගෝල විද්‍යා සංගමය පවසයි.
වඳවීයාමේ තර්ජනයට මුහුණපා සිටින මීමැස්සන්ගෙන් සියයට 90ක් පමණ දැනටමත් මිහිමතින් සමුගෙන ඇති බව එම සංගමය පවසයි. නොයෙක් කලාපයන්ට ආවේණික වූ හේතු නිසා මීමැසි සමූහයන් වඳවීයාමේ තර්ජනයට ලක් වෙමින් පවතී. වන විනාශය, මී වද බැඳීමට ඇති ස්ථාන සීමිත වීම, පැණි ලබා ගැනීමට උදව්වෙන මල් වර්ග නො මැති වීම සහ පාලනයකින් තොරව සිදුවන කෘමිනාශක භාවිතය මීමැසි සමූහ වඳවීයාමට හේතුවී ඇත.
මීමැස්සන් මෙතරම් වටින්නේ ඇයි?
දිලීරයක් බැක්ටීරියාවක් හෝ කිසිදු ආකාරයක රෝගකාරක විෂබීජවාහකයෙක් ලෙස කටයුතු නො කරන " එකම ජීවියා" වන්නේ ද මීමැස්සා බව චීලී රාජ්‍යයේ කෘෂි විද්‍යාඥයන් සිදු කළ පර්යේෂණයකින් තහවුරු වී ඇත.
ලොව පුරා සිදු කෙරෙන කෘෂිකාර්මික කටයුතුවලින් සියයට 70ක් ම මීමැස්සන්ගේ ක්‍රියාකාරීත්වය මත රඳා පවතී. එනම් මිනිසා විසින් කෘෂිකර්මාන්තය ආශ්‍රිතව නිපදවන ආහාර වර්ග 100න් 70ක් සඳහා ම මීමැස්සාගේ දායකත්වය අත්‍යවශ්‍ය ය. මීමැස්සන් සිදු කරන පරාගනය නිසා ශාඛවල ප්‍රජනනය සිදු වෙයි. එම මහඟු මෙහෙය නැවතී ම යනු මිහිමතින් තුරුලතා වියැකීමෙහි පෙරනිමිත්තකි.
මිනිසාට ආහාරක් සේ ම ඖෂධයක් ද වන මී පැණි මීමැස්සාගේ මහඟු නිමැවුමකි. වරක් මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් පැවැසුවේ "මීමැස්සන් මිහිමතින් වඳවී ගිය පසු මිනිස් වර්ගයාට ජීවත් වීමට ඉතිරි වනුයේ තවත් සිව් වසරක් බවයි."
මීමැස්සන් වඳවී යන්නේ...
ස්වභාවික සංවේදන ඔස්සේ ගමන් කරන මීමැස්සන්ගේ ගමන් මඟ ජංගම දුරකතන මගින් නිකුත් කරන තරංග මගින් අවහිර කර එම සත්ත්වයාගේ ජීවිතය අනතුරේ හෙළන බව සනාථ වී ඇතැයි ස්විට්සර්ලන්තයේ රාජ්‍ය තාක්ෂණික ආයතනය පවසයි.
ජංගම දුරකතන තරංග ක්‍රියාත්මක ස්ථානවලින් මීමැස්සන් ගමන් කරන විට නිකුත් කරන හඬ සාමාන්‍යයෙන් මීමැස්සකු නිකුත් කරන හඬ පරාසයට වඩා දස ගුණයකින් වැඩි බව ද පර්යේෂණවලින් තහවුරු විය. එසේ හඬ නඟන්ගේ තමන් සමඟ ගමන් කරන අනෙකුත් මීමැස්සන් හට අනතුරු සහිත මාර්ගයෙන් ඉවත්ව වෙනත් මඟකින් ගමන් කරන ලෙස දැනුම්දීම නිසාවෙනි.
මීමැස්සන් වඳවීයාමට බලපාන තවත් ප්‍රධාන හේතුවක් වන්නේ වගාවන් කෘමීන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සිදු කරන ධූමකරණයයි. කෙළොම්බියා රාජ්‍යයෙහි පසුගිය වසර තුන තුළ සිදු කළ ධූමකරණය හේතුවෙන් එරට මීමැසි ගහණයෙන් සියයට 34ක් වායුව විෂවීම නිසා මිය ගොස් ඇත.
ගැටලුවට විසඳුම් තිබේද?
වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින මීමැස්සන් සංරක්ෂණය පිණිස පවතින විසඳුම් අභියෝගාත්මකය. මක්නිසාද යත් කෘෂි නිෂ්පාදන කටයුතු ආශ්‍රිතව පවතින මුල් බැසගත් පුරුදු හා ක්‍රියාකාරකම් හේතුවෙනි.
එසේ වූවත් කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි විසඳුම් අතර විෂසහිත කෘමිනාශක භාවිතය නතර කිර ස්වභාවික කෘමි උවදුරු පාලන ක්‍රම භාවිතයට මිනිසුන් යොමු කිරීම ප්‍රමුඛ ය.
මීමැසි ගහණ පිළිබඳ නිරතුරු පර්යේෂණ පැවැත්වීම හා එම සතුන්ගේ සෞඛ්‍ය සහ පැවැත්ම පිළිබඳ අවධානයෙන් සිටීම ද අඛණ්ඩව සිදු කළ යුතු බව කොළොමිබියානු විද්‍යාඥයකු වන ලුසියානෝ ග්‍රිසල්ස් පවසයි. තවද මීමැස්සන් සහ අනෙකුත් පරාග වාහකයන් හා ප්‍රතිජනනය කිරීම පිළිබඳ නව ක්‍රමවේද කෙරෙහි නැඹුරු වීම ද වැදගත් බව ලුසියානෝ වැඩිදුරටත් කීය.
෴සංජය නිල්රුවන් ගුණසේකර
ටච් යුනිවර්ස් ඇසුරිනි