අඟහරු යන ‘පර්සි’ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 17, 2021

අඟහරු යන ‘පර්සි’

ඇමෙරිකාවේ නාසා ආයතනය අඟහරු ගවේෂණයට යැවූ ‘පර්සිවරන්ස්’ රොබෝ යානය (කෙටියෙන් පර්සි) හෙට (18) අඟහරුට ගොඩබැසීමට නියමිතය. 

නාසා ආයතනය පවසන්නේ එය අභ්‍යවකාශ ගවේෂණයේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් වනු ඇති බවය.

‘පර්සිවරන්ස්’ රෝවර් යානය ඇතුළත් ගගන කැප්සියුලය, අඟහරු යැවීම සිදු කළේ, පසුගිය 2020 ජූලි 30 වැනිදාය. ‘පර්සිවරන්ස්’ කැප්සියුලය උඩු ගුවනට තල්ලු කිරීම කළේ ප්‍රබල ‘ඇට්ලස් වී’ රොකට්ටුවක ආධාරයෙනි. 

පසුගිය 2020 වසරේ අඟහරු හෙවත් රතු ග්‍රහයා පෘථිවියට ළංව පිහිටියේය. එහි වාසිය ලබා ගනිමින්, රටවල් 3 ක් අඟහරු ගවේෂණයට යානා යැවීය. එම රටවල් 3 වන්නේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, චීනය සහ ඇමෙරිකාවය. 

එමිරේට්ස් රාජ්‍යයයේත්, චීනයේත් ගවේෂණ යානා පසුගිය 9 වැනිදාත් 10 වැනිදාත් අඟහරු වෙත පැමිණියේය. 

ඇමෙරිකාවේ නාසා ආයතනය අඟහරු ගවේෂණයට රොබෝ රෝවර් යානයක් යැවීම සිදු කරන පළමු අවස්ථාව මෙය නොවෙයි. රෝවර් යානා යනු රෝදවලින් සමන්විත රොබෝ යානා වන අතර, මෙම යානා අඟහරු පෘෂ්ඨයේ ඔබමොබ යමින්, ඡායාරූප ගැනීම, පස් සාම්පල ගැනීම සහ අධ්‍යයනය සිදු කරයි.

‘පර්සිවරන්ස්’ යානයේ ඇති විශේෂත්වය වන්නේ ඒ තුළ කුඩා හෙලිකොප්ටර් ඩ්‍රෝන යානයක් ද ඇත. රෝවරය බිමින් ගවේෂණ සිදු කරද්දී, හෙලිකොප්ටරය අඟහරුගේ අහසේ සිට ගවේෂණ කටයුතු සිදු කරනු ඇති බව නාසා ආයතනය පැහැදිලි කරයි. 

‘පර්සිවරන්ස්’ කැප්සියුලය අඟහරු කක්ෂයට ළං වෙද්දී, රෝවරය අඩංගු කැප්සියුල කොටස වෙන් වී, අඟහරු කක්ෂයට පිවිසීම සිදුවෙයි. එය සිදුවන්නේ පැයට කිලෝ මීටර් 20,000 ක වේගයකිනි. 

කැප්සියුලය සෙල්සියස් අංශක 1,300 ක තාපයකට ලක් වෙයි. කැප්සියුලය තුළ ඇති රෝවර් යානය එම අධික තාපයෙන් ආරක්ෂා කිරීමට විශේෂ ආවරණයක් යොදා තිබේ. ‘පර්සිවරන්ස්’ රෝවරය ගොඩබෑමට තෝරා ගෙන ඇත්තේ ජෙසිරෝ නමැති ආවාටයයි. 

ඒ, අතීතයේ දී අඟහරු මතුපිට ජීවය පවතින්න ඇතැයි යන්න සම්බන්ධයෙන් හෝඩුඩාවක් ලබා දීමට, ජෙසිරෝ ආවාටයට හැකිවේවි යැයි නාසා විද්‍යාඥයන් විශ්වාස කරන බැවිනි. 

වායුගෝලය හරහා පහළට ඇදී එන යානයේ වේගය පැයට කිලෝ මීටර් 1,500 තෙක් අඩු කිරීම සිදුවන්නේ කැප්සියුලයේ ඇති තෙරපුම් පද්ධතියයි. 

වායුගෝලයට ඇතුළු වී මිනිත්තු 3 ක් ගත වෙද්දී, එනම්, අඟහරු මතුපිට සිට කිලෝ මීටර් 11 ක් ඉහළදී, කැප්සියුලයට සම්බන්ධ මීටර් 21 ක් විශාල යෝධ පැරෂූට් ක්‍රියාත්මක වෙයි. ඒ, තවත් වේගය අඩු කිරීමටය. 

එසේ වුවත් පැරෂූට් ආධාරයෙන් රෝවරය පතිත කිරීමට වේගය අඩු වන්නේ නැත. එහෙයින්, කැප්සියුලයෙන් මිදී වෙන් වීමට රෝවරයට උපදෙස් දී ඇත. රෝවරයේ කුඩා ජෙට් ඇන්ජින් ක්‍රියාත්මක වී, යානය පියාසර කරමින්, ජෙසිරෝ ආවාටයට ආරක්ෂිතව ගොඩබෑම සිදු කරයි. 

‘පර්සිවරන්ස්’කැප්සියුලය අඟහරු කක්ෂයට ඇතුළු වීම සහ කැප්සියුලයෙන් වෙන්වුණු ‘පර්සිවරන්ස්’ රෝවර් යානය අඟහරු මතුපිටට ගොඩබෑමට ගතවන කාලය මිනිත්තු 7 කි. 

පෘථිවියේ සිට ‘පර්සිවරන්ස්’ යානය හැසිරවීම සිදු කරන්නේ ගුවන් විදුලි සංඥා මගිනි. ගුවන් විදුලි සංඥා ගමන් කරන්නේ ආලෝකයේ වේගයට සමාන අයුරිනි. 

පෘථිවියේ සිට නිකුත් කෙරෙන සංඥා අඟහරු යානයට යන්නේ මිනිත්තු 7 ක ප්‍රමාදයකිනි. ඒ අනුව, පෙර ලබා දී ඇති උපදෙස් අනුව, යානයට අඟහරු මතුපිටට ගොඩබාන තෙක් නාසා විද්‍යාඥයන්ට සහ යානය හසුරුවන තාක්ෂණ ශිල්පීන්ට කල් බැඳීමට සිදුවෙයි. 

මෙම මිනිත්තු 7 ක කාලය නාසා ආයතනය නම් කර ඇත්තේ ‘තීරණාත්මක මිනිත්තු 7’ යනුවෙනි. අති නවීන තාක්ෂණය යොදා ගනිමින් දශකයකට ආසන්න කාලයක් තිස්සේ නිර්මාණය කළ ‘පර්සිවරන්ස්’ යානයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය හෝ තීරණය කරන්නේ මෙම මිනිත්තු 7 යැයි නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

නාසා තොරතුරු ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom