මියන්මාරය යළි හමුදාව අතට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 1, 2021

මියන්මාරය යළි හමුදාව අතට

හමුදා කුමන්ත්‍රණයක් මගින් ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී අත්අඩංගුවට ගෙන, රටේ බලය අත්පත් කරගැනීමට මියන්මාර හමුදාව කටයුතු කළේය. 

මියන්මාර හමුදාව බලය අත්පත් කර ගත්තේ සූ කී පමණක් නොව, ඇගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායකයන්, මැතිවරණ කොමිසමේ නිලධාරීන් ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් බොහෝ දෙනකු ද අත්අඩංගුවට 
ගනිමිනි. 
මියන්මාර නිල නොවන නායිකා අවුන් සාන් සූ කී

මියන්මාර මහ මැතිවරණය පසුගිය නොවැම්බර් 8 වැනිදා පැවැත්වුණු අතර, මියන්මාර හමුදාවට පක්ෂපාතී දේශපාලන පක්ෂ අභිබව විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සූ කී සහ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමත් විය. 

 සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදී ලීගය සියයට 60 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගත් බව මියන්මාර මැතිවරණ කොමිසම නිවේදනය කළ අවස්ථාවේ, හමුදාව ඊට තදින් විරුද්ධ විය. 

ඒ, මැතිවරණය දූෂිත බවත්, හොර ඡන්ද දැමීම් සිදුවුණු බවටත් චෝදනා කරමිනි. හමුදාව චෝදනා කරන්නේ මිලියන 10 ක හොර ඡන්ද දැමීමක් සිදුවුණු බවටය. 

මැතිවරණයේ සිදුවුණු අක්‍රමිකතා සම්න්ධයෙන් සොයා බැලීමක් කරන්නැයි මියන්මාර හමුදාව මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි නමුත්, ඊට යහපත් ප්‍රතිචාර නොලැබුණැයි චෝදනා එල්ල වී තිබේ. 

මියන්මාර හමුදාවට සහාය දක්වන දේශපාලන පක්ෂ සහ ඒවාට සම්බන්ධ ක්‍රියාකාරීහු පසුගිය සති කීපය පුරාවට යැන්ගොන් ඇතුළු ප්‍රධාන නගර රැසක විරෝධතා රැලි පවත්වන්න වූහ. එම අවස්ථාවට මියන්මාර බෞද්ධ භික්ෂූන් වහන්සේලා පවා සහභාගී වූහ. 

පැවැත්වූ විරෝධතා පෙළපාළි

දූෂිත මැතිවරණය සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් නොගන්නේ නම් තමන්ට ඒ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගැනීමට සිදුවන බව මියන්මාර හමුදාපති ජනරාල් මිංග් අවුන්ග් ලැයිංග් අවස්ථා කීපයකදී පවසා තිබුණි. 

මැතිවරණයෙන් පසු මියන්මාර පාර්ලිමේන්තුව අද (1) පළමු වරට රැස්වීමට නියමිතව තිබුණි. මැතිවරණය දූෂිත යැයි චෝදනා කරමින් හමුදාව සූ කී ඇතුළු ඇගේ පක්ෂයේ නායකයන්, මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ සිවිල් ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සිදුවූයේ ඊට පෙරය. 

බ්‍රිතාන්‍ යටත් විජිතයක් වූ මියන්මාරයට නිදහස ලැබුණේ 1948 දීය. ඉන්පසු 1962 දීත්, 1988 දීත් එරට හමුදාව කුමන්ත්‍රණය කරමින් බලය අල්ලා ගත්තේය. අවුන් සාන් සූ කී වසර 20 ක් නිවාස අඩස්සියේ පසුවූයේත් හමුදා පාලනයක් පවතිද්දීය. එසේ හමුදා පාලනය පැවැති කාලයේ මියන්මාරයට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් සම්බාධක පැනැවිණි.

සූ කී නිවාස අඩසිසියෙන් නිදහස් කිරීමෙන් පසු මියන්මාරයේ මහ මැතිවරණය පැවැත්වූයේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමිනි. 

හමුදා සිවිල් පාලනයක් ඇති කිරීම ඒ අනුව සිදුවිය. ඉන්පසු පැවැති මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගනිමින් සූ කී සහ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී ලීගය බලයට පත් විය. 

මැතිවරණයෙන් ජය හිමිවුවත්, සූ කී ට ජනාධිපති ධුරය හිමිවූයේ නැත. විදේශිකයකු සමඟ විවාහ වන අයකුට ජනාධිපති ධුරයට පත් විය නොහැකි ලෙස, මියන්මාර හමුදාව ව්‍යවස්ථාව සංශෝධනය කර තිබේ. අවුන් සාන් සූ කී විවාහ වී සිටියේ බ්‍රිතාන්‍ය ජාතිකයකු සමඟය.

ඒ අනුව, සූ කී නිල නොවන නායිකාව වූ අතර, ඇය වෙනුවට ඇගේ හිතවතකු වන වින් මියින් ජනාධිපති ධුරයට පත් විය. මියන්මාරයේ හිටපු හමුදා පාලකයකු ද වන ජනරාල් මින්ත් ස්වේ උප ජනාධිපති ධුරයට පත් විය. 

පසුගිය නොවැම්බරයේ පැවැති මහ මැතිවරණය දූෂිත බව පෙන්වා දෙමින්, රට අස්ථාවරවීම වැළැක්වීමේ අරමුණින්, රටේ පාලනය හමුදාව අතට පවරා ගත් බව හමුදාපති මිංග් අවුන්ග් ලැයිංග්, විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ‘මයාවැඩී’ රූපවාහිනී නාළිකාව හරහාය. 

‘මයාවැඩී’ යනු මියන්මාර හමුදාවට අයත් රූපවාහිනී නාළිකාවකි. බලය අත්පත් කර ගැනීමෙන් පසු ක්‍රියාත්මක කළ හදිසි නීතිය වරසක කාලයක් පුරා පවතිනු ඇතැයි හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom