මොකක්ද මේ ප්‍රතිශක්තිය? - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 2, 2021

මොකක්ද මේ ප්‍රතිශක්තිය?


දැන් සමහරු එන්නත් ගහන්න යන්නෙ නැහැ. ඇඟේ තිබෙන ප්‍රතිශක්තිය හොඳයි කියා. සමහරු විශ්වාස කරන ඒ දේ ගැන අපි අද ටිකක් විස්තර ඇතුව බලමු මොකක්ද මේ ප්‍රතිශක්තිය කියන්නෙ කියලා.  

අපේ ශරීරයට පිටතින් ආගන්තුක ජීවියෙක් හෝ ද්‍රව්‍යයක් ඇතුලු වුනාම ශරීරය විසින් එය විනාශ කර දැමීමට පියවර ගන්නා විදිහ ප්‍රතිශක්ති ක්‍රියාවලියෙන් පිලිඹිබු වෙනවා. 

අපට 'සහජ'යෙන්ම ස්වභාවික ලෙස පිහිටන ප්‍රතිශක්තියක් තියෙනවා.(Innate immunity) ඒ වගේම අප කෘත්‍රිමව අත්කරගන්නා 'විශේෂිත' ප්‍රතිශක්තියකුත් තියෙනවා Acquired immunity) අපි උදාහරණයක් ගමු. 

'සහජ' ප්‍රතිශක්තිය සාමාන්‍ය පොලිසියක් වගේ. වැරදි හැමදේම බලනවා. විශේෂිත එකක් නෙමෙයි.

අපි හිතමු මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් අල්ලන්න එය ප්‍රබල මදි. නමුත් මත්ද්‍රව්‍ය ඒකකය ඒ සඳහා තිබෙනවා. 

එය විශේෂිත ඒකකයක්.මේ අපි 'අත්කරගන්නා විශේෂිත ප්‍රතිශක්තිය' ඒ වගේ විශේෂිත දෙයක්. 'සහජ' ප්‍රතිශක්තිය අපි බලමු කොහොමද මේවා වෙන්නෙ කියලා. 

මුලින්ම ආගන්තුක දෙයක් ශරීරයට එනවිට පලමු පෙල ප්‍රහාරය එයට එල්ල වෙන්නේ මේ සහජ ප්‍රතිශක්තියෙන්. සහජයෙන් අපිට ප්‍රතිශක්තිය ලැබෙන්නෙ ශරීරයේ ඇති රසායනික, භෞතික හා සෛලීය ප්‍රහාරයකින් මගින්. 

එහි අරමුණ වහාම ආගන්තුක ද්‍රව්‍ය ශරීරය පුරා පැතිරීම නැවැත්වීමයි. 

පැය 96ක් දක්වා එහි ක්‍රියාව පවතිනවා. භක්ෂක සෛල, ශ්වේතානු, කුඹසෛල වැනි සෛලත්, භෞතික දේවල් වශයෙන් පහත සඳහන් ආකාරයෙන් ආරක්ෂාව ලබා දෙනවා. 

අපේ හම ආවරණයක් විදිහට, එහි ඇති රෝම, භක්ෂක සෛල, (NK සෛල) ශ්ලේශ්මල පටල හා ශ්ලේෂ්මල හෙවත් සෙම, කැස්ස, කිවිසුම් යාම් වැනි දේවල් වලින් ආගන්තුක දෙය ශරීරයට ඇතුලුවීම වලක්වනවා. 

දැන් අපි බලමු සහජ යෙන් ශරීරය, සම, මුඛය සහ වෙනත් විවර තුල තිබෙන හොඳ බැක්ටීරියා වලින් සාදන ලැක්ටික් අම්ලය වැනි රසායනික දේවල් අපට ආරක්ෂාව සලසනවා. 

එමෙන්ම භක්ෂක සෛලවලින් වෛරස් නාශක ඉන්ටර්ෆෙරෝන් නිපදවිය හැකියි. 

'විශේෂිත' ප්‍රතිශක්තිය මේ කාල සීමාවට පසු අපේ විශේෂිත ප්‍රතිශක්ති බල ඇණිය වැඩ පටන් ගන්නවා. මෙම අත්කරගත් ප්‍රතිශක්තිය ඉතා දිගු කාලීන ආරක්ෂාවක් ලබා දෙනවා. 

රුධිරයේ ඇති T හා B වසාසෛල(lymphocytes)ක්‍රියාත්මක වී සාදන ද්‍රව්‍ය හා ප්‍රතිපල අතරට උණ, සැරව, පැසවීමක්, වේදනා අයිති වුනත් එම සෛල ක්ලෝනය හෙවත් සමාන සෛල පරම්පරාවක් මිලියන ගනන් වැඩිවී එම ආගන්තුක ද්‍රව්‍ය පිලිබඳව පමණක් මතකය සෛලයේ දිගු කලක් රඳවා ප්‍රහාරය සඳහා ප්‍රතිදේහ සාදනවා. 

ප්‍රතිදේහ සාදන්නේ B වසා සෛලයි. T වසා සෛල විෂ එන්සයිම නිකුත් කරමින් සටනට සහය දෙනවා. 

ආගන්තුක දෙය මතකයේ තිබෙන නිසා කොතරම් ප්‍රබල, දිගු කාලීන ප්‍රහාරයක්ද එය?

ලෙඩේ කලින් සෑදුනු කෙනෙකුට මෙම ප්‍රතිශක්තිය ශරීරයේ සෑහෙන කලක් තිබීමට පුලුවනි. 

මෙම ප්‍රතිදේහ සමහර අවස්ථාවලදී ලෙඩේ සෑදුනු වෙනත් අයගෙන් ලබා ගෙන රෝගය දරුණු වූ අයට ලබා දෙනවා. 

සමහර අවස්ථාවලදී වැදෑමහ තුලින්, මවුකිරි වලින් දරුවන්ට ලැබෙනවා. ඉතින් සතුරු ආගන්තුකයා එන්න පෙර අපි එන්නත් මගින් මේ සතුරාට අයිති පොදු දෙයක් අපේ ශරීර ගත කිරීමෙන් අපේ ශරීරයේ ප්‍රතිදේහ සාදවා තිබ්බොත් සතුරා පැමිණි ගමන් ඒ සතුරාව විනාශ කරන්න සැදී පැහැදී ඉන්න පුලුවනි. 

වරින් වර ප්‍රතිදේහ ප්‍රමාණ( IgG) ශරීරයේ මැන බලා ඒවා අඩුනම් මාත්‍රා යලි යලි ලබා දිය හැකියි. 

ඉහත මම කිව්වා දේශීය ද්‍රව්‍ය වලින් කොවිඩ්විශේෂිත ප්‍රතිදේහ සෑදිය නොහැකි බව. එය සාදන්නේ B වසා සෛල වන අතර එය ශරීරයට ඇතුළුවන ආගන්තුක ද්‍රව්‍යයේ විස්තර ලබාගෙන එයට විරුද්ධ ප්‍රතිදේහ සාදයි. 

දේශිය ද්‍රව්‍ය මෙම විශේෂිත ප්‍රතිදේහ නොව මුලදී සඳහන් කල සහජ ප්‍රතිශක්තිය වැඩි කිරීමට ඉඩ ඇත. නමුත් එය ප්‍රබල සටන් කරුවෙක් නොවේ. 

ඉතින් කොතරම් සහනදායි දෙයක්ද මේ එන්නත. 

අපේ සහජ ප්‍රතිශක්තිය කෙටිකාලීනය. එමෙන්ම විශේෂිතව සතුරා හඳුනාගෙන සෑදුනු එකකුත් නොවේ. හැමෝම සතුරන් එක හා සමානව සුළුවෙන් මට්ටු කරයි.ඒත් මෙම විශේෂිත ප්‍රතිදේහ, හරි සතුරාවම ප්‍රබලවම මට්ටු කරයි.

අපිට සතුරාව හොඳින්ම හරියටම හඳුනගෙන භයානක ප්‍රහාර එල්ල කල හැකි ප්‍රබල STF හමුදාවක් වැනි විශේෂිත ප්‍රතිශක්තියක් තියෙන එක (ප්‍රතිදේහ) කොතරම් හොඳද? 

ඒත් අපේ මේ ප්‍රතිශක්ති හමුදාවට වරදින තැනුත් කළාතුරකින් ඇතිවෙනවා.  ඒ සතුරා වරද්දගෙන, පටලවාගෙන තමන්ගේම සෛලවලට පහර දීමයි. 

 අප ශරීරයේ ඒ සටනෙදි ඇතිවන ප්‍රදාහය (inflammation) නම් ක්‍රියාවලියෙන් ඇඟපත වේදනාව ඇතිවුවත්, එයින් විශබීජය පැතිරීම වැලකී, සෑදෙන සුන්බුන් ඉවත් කර, කැඩුණු බිදුණු දේවල් ප්‍රතිස්ථාපනය කර ශරීරය යථා තත්ත්වයට ගේනවා. 

සිදුවන සහ සෑදෙන දේවලින්ද උණ, ඇඟපත වේදනාව, ඇලජික් වගේ අතුරු පල ලැබුනත් ඒ ගැන විමසිල්ලෙන් සිට අනතුරු වලක්වා ගැනීම, රෝගය සෑදී සමාජයක්ම මියයාමට වඩා බොහෝ යහපත්ය. 

අපේ ශරීරයට ලැබෙන ප්‍රතිශක්ති ප්‍රමාණය ලංකාවෙත් ලෝකයෙත් විද්‍යාත්මක ලෙස මැන බැලිය හැකියි. 

ශරීරයේ covid IgG antibody level හා T cell count එක මැන බැලීම මගින්. ඒවා එක්තරා ප්‍රමාණයක් තිබෙනවා නම් එයා ප්‍රතිශක්තිය අතින් ආරක්ෂිතයි.

ඒවා අවශ්‍ය ප්‍රමාණයට නැති අයට නැවත එන්නත් මාත්‍රාවක් දෙන්න වෙනවා. 

කොරෝනා වෛරසය හා සටනට ඔබට ප්‍රබල නොවන සහජ ප්‍රතිශක්තිය පමණක් ප්‍රමාණවත් වේවිද, නැතිනම් ඒ සඳහා ශරීරයේ නිපදවන ප්‍රබල විශේෂිත ප්‍රතිදේහ වල සහය ලබා ගැනීමට එන්නතක් ලබා ගන්නවාද යන්න දැන් ඔබම තීරණය කරන්න.



විශේෂඥ වෛද්‍ය,
ආර්.එන්.ජී රාජපක්ෂ

Classified_Ad

Classified_Ad_News_Bottom