කපිතාන් ටොම් සෝයර් සමුගනී - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 3, 2021

කපිතාන් ටොම් සෝයර් සමුගනී

බ්‍රිතාන්‍යයේ ‘කොවිඩ් අරමුදල’ වෙනුවෙන් පවුම් මිලියන 33 ක් මුදලක් එක් රැස් කර දීමට සමත් වූ එරට හමුදා කපිතාන් ශ්‍රීමත් ටොම් මෝර් ‘කොවිඩ් 19’ වයිරසයට බිලි විය. ටොම් මෝර්ගේ වයස අවුරුදු 100 කි. 

ටොම් මෝර්, කොරෝනා ආසාදිතයකු බව හඳුනා ගැණුනේ මීට දින කීපයකට පෙරය. වෙනත් රෝගාබාධ කීපයකට ප්‍රතිකාර ලබින් සිටි බැවින් ඔහුට ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා නොදුන් බව ඔහුගේ දියණියන් දෙදෙනා වන හැනා සහ ලූසී පවසා තිබේ. 

‘කොවිඩ් 19’ ආසානය වී, නියුමෝනියා තත්ත්වය හේතුවෙන් ටොම් මෝර්ගේ මරණය සිදුවුණු බව වෛද්‍යවරු පවසති. මේ වනවිට මහා බ්‍රිතාන්‍යයේ වැඩිහිටියන්ට, සෞඛ්‍ය සේවකයන්ට කොරෝනා වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකක් ලබා දීම සිදුවෙයි. 

ටොම් මෝර් උපත ලබා ඇත්තේ, 1920 වසරේ අප්‍රේල් 30 වැනිදාය. 
ටොම් මෝර්, දෙවැනි ලෝක යුද්ධයට සම්බන්ධ වූ හමුදා සොල්දාදුවෙකි. ඔහු ඉන්දියාවේත්, බුරුමයේත් (මියන්මාරය) සේවය කර ඇත. දෙවැනි ලෝක යුද සමයේ ඉන්දියාවත්, බුරුමයත් බ්‍රිතාන්‍ය යටත් විජිතයට අයත් විය. 

පසුගිය 2020 වසරේ ‘කොවිඩ් 19’ වයිරස වසංගතය හේතුවෙන් මහා බ්‍රිතාන්‍යය පළමුවෙන් ලොක්ඩවුන් කළ අවස්ථාවේදී, නිවසට වී කිසිවක් නොකර බලා සිටිය නොහැකි බව පවසමින්, කොවිඩ් අරමුදල වෙනුවෙන් මුදල් ඉපැයීමට ටොම් මෝර් අපූරු දෙයක් කළේය. 
හරිහැටි ඇවිදීමට පවා නොහැකි වූ ඔහු, ඇවිදීමට උපකාර කරන ආධාරකයේ පිහිටෙන් නිවස වටේ වට සියයක් ඇවිදින්න පටන් ගත්තේය. ඒ, ‘කොවිඩ් 19’ වයිරසය හමුවේ දිවි පරදුවට තබා බ්‍රිතාන්‍ය වැසියන්ට උපකාර කරන එරට සෞඛ්‍ය සේවක සේවිකාවන් සහ වෛද්‍යවරුන් ඇගැයීමට ලක් කරමින් මෙන්ම ‘කොවිඩ් 19’ අරමුදලට මුදල් ආධාර එක් රැස් කිරීමේ අරමුණින්ය. 

අවුරුදු 100 ක් වයසැති, ටොම් මෝර් සෙමින් සෙමින් පය තබමින් නිවස වටේ යෑම බ්‍රිතාන්‍ය වැසියන්ගේ පමණක් නොව, සමස්ත ලෝ වැසියන්ගේ අවධානයට ලක් විය. 

කොවිඩ් අරමුදල වෙනුවෙන් පවුම් මිලියන 33 ක් මුදලක් සොයා දීමට ටොම් මෝර්ට ඒ අනුව හැකිවිය. 

අවුරුදු 100 දී ටොම් මෝර් කළ එම ‘වික්‍රමය’ දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවධානයට ලක් වුණු අතර, ටොම් මෝර්ට නයිට් පදවියක් පිරිනැමීම සිදුවූයේ ඒ අනුවය. 
නයිට් පදවිය පිරිනැමීම සිදුවූයේ පසුගිය ජූලි මාසයේ වින්සර් මාලිගයේ පැවැති විශේෂ උත්සවයකදීය. 

ටොම් මෝර්ගේ අභාවය සම්බන්ධයෙන් දෙවැනි එලිසබත් මහ රැජින පමණක් නොව, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද කනගාටුව පළ කරමින් විශේෂ ප්‍රකාශ නිකුත් කර තිබේ. 

ශ්‍රීමත් ටොම් මෝර් වෙනුවෙන්, ඩවුනින් වීදියේ අගමැති නිල නිවස ඉදිරිපිට බ්‍රිතාන්‍ය ධජය ද අඩකුඹු කෙරුණි. 

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් වෙනුවෙන්, ධවල මන්දිරය ද ශ්‍රීමත් ටොම් මෝර් වෙනුවෙන් කනගාටුව පළ කර ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ. මිලියන ගණනකගේ ගෞරවාදරයට පත් ශ්‍රීමත් ටොම් මෝර් වෙනුවෙන් ඇමෙරිකාව ද සොව පළ කරන බව එම පණිවුඩයේ සඳහන් වෙයි. 

ඒ.එෆ්.පී.
විඩියෝ දසුන් බීබීසී

Classified_Ad

Classified_Ad_News_Bottom