ගුණ නැණ බල සහිත ළමා පරපුරක් බිහි කර ගැනීම උදෙසා යහපත් මාපියන් සපිරි සමාජයක් ඇති කිරීම උදෙසා සංවිධානය කළ 'අම්මාවරුනේ' රසවින්දනාත්මක වැඩසටහන, ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) පස්වරුවේ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්විණි.
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ සංකල්පයක් අනුව, ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව 'අම්මාවරුනේ' රසවින්දනාත්මක වැඩසටහන සංවිධාන කර තිබිණි.
මහජන බැංකුව මගින් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව හඳුන්වාදුන් “වනිතා වාසනා” බැංකු කාඩ්පත එළිදැක්වීම සිදුවූයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහි දී “වනිතා වාසනා” බැංකු කාඩ්පත අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීම සඳහා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිසක් එක් වී සිටියහ.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙහි දී පාසල් සඳහා විෂබීජහරණ හා සනීපාරක්ෂක උපකරණ බෙදා දුන්නේ ය.
නාරාහේන්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කොට වදාළහ.
අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ, අමාත්‍යවරු වන මහාචාර්ය ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ශ්‍රියානි කුමාරි ජයසේකර මහත්ම මහත්මීහු ඇතුළු දෙමාපිය දූ දරු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.