කළුම කළු කෙල්ල - නියාකැම් ගැට්වෙක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 8, 2021

කළුම කළු කෙල්ල - නියාකැම් ගැට්වෙක්

සමේ පැහැය කාන්තා පාර්ශ්වයට ඉතා වැදගත්ය. පෙනුම ඉතා වැදගත්ය. පැහැපත් සමක්, සුදු සමක් ලස්සන වීමේ රහසක් ලෙස සැලකෙයි. නිළියක වීමට, නිරූපිකාවක ලෙස නිරූපණ ක්ෂේත්‍රයේ ඉහළට යන්නට සුන්දර පැහැපත් සමක් තිබීම ඉහළ සුදුසුකමකි. අඳුරු කළු පැහැති සමක ඇති සුන්දරත්වය ලොවට පෙන්වමින්, නිරූපණ ක්ෂේත්‍රයේ ඉහළට ගිය ඇමෙරිකා සුඩාන නිරූපිකාවක සිටී. ඇය නියාකැම් ගැට්වෙක් ය. නිරූපිකාවක ලෙස පූර්ණ කාලීනව රැකියාව කරන ඇගේ වත්කම ඇමෙරිකන් ඩොලර් මිලියන 4 කි.‍ නියාකැම් ට වාසනාව උදා කළේ ඇගේ අසාමාන්‍ය කළු වර්ණයයි. ඇය අද ඇමෙරිකාවේ අංක එකේ සුපිරි නිරූපිකාවක පමණක් නොව, ඉන්ටග්‍රෑම් ආදී සමාජ මාධ්‍ය හරහා අතිශය ජනප්‍රිය චරිතයකි. 

සම පැහැපත් කර ගැනීමට වෙහෙසන බොහෝ තරුණියන්ට නියාකැම් ආදර්ශයකි. ඇය ට වාසනාව ගෙනාවේ ඇගේ ස්වභාවික වර්ණයයි. අද නියාකැම් ට ආදරේ කරන ඇයට සහාය දක්වන ඇගේ රසික රසිකාවියෝ බොහෝ වෙති. ඉන්ට්‍රගෑම් සමාජ මාධ්‍ය හරහා පමණක් ඇය හා සම්බන්ධ වන රසික රසිකාවියන් ගණන 8,04,000 ඉක්මවා තිබේ. 

 තද කළු සම නිසා, 24 හැවිරිදි, නියාකැම් ප්‍රසිද්ධියට පත් වී සිටින්නේ 'ක්වීන් ඔෆ් ඩාර්ක්' යන නමිනි. අද ලොව ඉහළ මිලක් අය කරන, අසමසම නිරූපිකාවක වුවත්, නියාකැම්ගේ අතීත කතාව දුක් කම්කටොළුවලින් පිරි එකකි‍. 
නයිකිම් ගැට්වෙක් උපත ලැබුවේ 1993 ජනවාරි 27 වැනිදාය. ඇය උපන්නේ ගැම්බෙලා නමැති අප්‍රිකා රටේය. අද ගැම්බෙලා යනුවෙන් අප්‍රිකාවේ රටක් නැත. ගැම්බෙලා අද හැදින්වෙන්නේ ඉතියෝපියාව යනුවෙනි. 

සිවිල් යුද ගැටුම් සහ වාර්ගික අරගල හේතුවෙන් නයිකීම්ගේ මාපියෝ ඇයත් සමඟ සුඩානයට ආහ. ඔවුන්ට සුඩාන පුරවැසිභාවය හිමිවිය. සිවිල් ගැටුම් උත්සන්න වෙද්දී, පණ බේරා ගනිමින්, නියාකැම් සහ පවුලේ අය යළි නියාකැම් උපන් ඉතියෝපියාවේ ගැම්බෙලා බලා පලා ගියේ සරණාගතයන් ලෙසය. 

ඉන්පසු අපා දුක් විඳිමින් ඔවුහු කෙන්යාවට ගොස් කෙන්යාවේ සරණාගත කඳවුරුවල ජීවත් වූහ. නයිකීම් ට අවුරුදු 14 ක් වෙද්දී, ඇය රැගෙන ඇමෙරිකාවට සංක්‍රමණය වීමට ඇගේ මවටත් පියාටත් හැකිවිය. ඉන්පසු නියාකැම්ගේ ජීවිතය පෙරැළි රැසකට ලක් විය. 

නියාකැම් සහ ඇගේ පවුලේ අයගේ පළමු පදිංචිව වූයේ නිව්යෝක් ජනපදයේ බෆලෝ නුවරය. උසස් පාසල් අධ්‍යාපනය ලබද්දී, නියාකැම් පදිංචිය සඳහා තෝරා ගත්තේ මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් නුවරය.

පසුගිය 2020 වසරේ කොරෝනා වසංගතයෙන් ඇමෙරිකාව බැට කද්දී, පොලිස් අඩන්තේට්ටම් මැද කළු ජාතික ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනය වූයේත්, කළු ජාතිකයන්ගේ ජීවත්වීමට ඇති අයිතිය වෙනුවෙන් විරෝධතා ආරම්භ වූයේත් මෙම මිනියැපොලිස් නුවරින් යැයි සිහිපත් කළ යුතුය.

ඇමෙරිකානු පුරවැසියකු වුවත්, චතුර ලෙස ඉංග්‍රීසි කතා කළත් තමන් දකුණු සුඩාන වැසියකු යැයි නයිකීම් නිරන්තරයෙන් පවසන්නීය. දකුණු සුඩානයෙන් පලා ඒමෙන් පසු ඇය කිසි දිනෙක සුඩානයට ගොස් නැත. නිරූපිකාවක වීමට නියාකැම් ගේ අදහසක් නොතිබුණි. 

පාසල් යද්දී, ඇගේ සමේ තද කළු වර්ණය හේතුවෙන් ඇය සෙසු කළු කෙල්ලන්ගෙන් ‍පවා වෙනස් විය. කැපී පෙණුනි. ශාන්ත ක්ලවුඩ්ස් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරද්දී, විශ්ව විද්‍යාලයේ ඇඳුම් නිර්මාණ ඉදිරිපත් කිරීමේ විලාසිතා දැක්මකට නියාකැම් සහභාගී වූවාය. 

ඇමෙරිකාවේ නම ගිය මේස්තර ශිල්පීන්ගේත් ඡායාරූප ශිල්පීන්ගේත් අවදානයට නියාකැම් ලක් වූයේ එලෙසිනි.  
'මගේ අඳුරු පැහැය නිසා මහා සැමවිටම චකිතයකින් හා බියෙන් පසුවුණා ඇමෙරිකාවට ආ පසු. ඇමෙරිකාවේ ජීවිතය මට පහසු වුණේ නැහැ. මේ සමාජයට පෑහෙන්න මට බැරිවුණා. ඒත් අද තත්ත්වය වෙනස්. කළු ජාතිකයන්ට පමණක් නොව, කළු වර්ණයට වටිනාකමක් නැති ඇමෙරිකාවේ මට සුවිශේෂී වටිනාකමක් හිමිවී තිබෙනවා.' යැයි සී.බී.එස්. නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් නියාකැම් අදහස් දැක්වූවාය. 

ඇමෙරිකානු සී.බී.එස්. නාළිකාවේ 
විකාශය වූ වාර්තා වැඩසටහනක් ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom