ඇස්ට්‍රාසෙනකා ගැන බියක් එපා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 20, 2021

ඇස්ට්‍රාසෙනකා ගැන බියක් එපා

‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ආරක්ෂිත බවත්, එය ලබා ගැනීමට බිය නොවිය යුතු බවත්, යුරෝපා ඖෂධ පාලන අධිකාරිය සහතිකයක් ලබා දුන්නේය. 

එම සහතිකය අනුව, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත නවතා දැමූ යුරෝපා සංගමයට අයත් ප්‍රධාන රටවල් වන ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය යළිත් වරක් ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත එරට වැසියන්ට ලබා දීම ආරම්භ කිරීමට නියමිතව තිබුණි. 

කෙසේ නමුත් යුරෝපයට අයත් රටක් වන ස්වීඩනයේ සෞඛ්‍ය බලධාරීන් සහ රජය පවසා ඇත්තේ, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත යළි භාවිතයට ගැනීමට තව දින කීපයක් අවශ්‍ය බවය. යුරෝපා සංගමයට අයත් රටවලට ඖෂධ නිර්දේශ කරන්නේ යුරෝපා ඖෂධ පාලන අධිකාරියයි. ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ලබා දීමට නිර්දේශ කළේ ද මෙම ආයතනයයි. 

කෙසේ නමුත් රුධිරය කැටි ගැසීමෙන්, මරණ සිදුවීමෙන් පසු, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ තාවකාලිකව නැවැත්වීමට යුරෝපා රටවල් තීරණය කළේය. යුරෝපා ඖෂධ පාලන අධිකාරිය කියා සිටියේ පුළුල් විමර්ශනයක් පවත්වා එන්නත සම්බන්ධයෙන් සහතිකයක් ලබා දෙන බවය. 

මේ අතර, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත සම්බන්ධයෙන් බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත් එය ආරක්ෂිත බවත් අවධාරණය කරමින්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ (19) එම එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත්තේය. 

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් මැදිහත් වී නිපදවූ මෙම එන්නත බ්‍රිතාන්‍යය තහනම් නොකළ අතර, එන්නත ආරක්ෂිත බවත් සාර්ථක බවත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පවසයි. 

56 හැවිරිදි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් පසුගිය අප්‍රේල් මාසයේ, කොරෝනා ආසාදිතයකු බවට පත් විය. ඒ, බ්‍රිතාන්‍යය පළමු කොරෝනා රැල්ලට මුහුණ දුන් අවස්ථාවේදීය. 

අග්‍රාමාත්‍ය ජොන්සන් සුවය ලැබුවේ දින දෙකක් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් ද පසුවය. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom