සිරවුණු නැව මුදා ගන්න සඳ උදවු වෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 29, 2021

සිරවුණු නැව මුදා ගන්න සඳ උදවු වෙලා

තායිවානයේ ‘එවර්ග්‍රීන්’ නැව් සමාගමට අයත්, පැනමාවේ ලියාපදිංචි ‘එවර්ගිවන්’ නෞකාව, ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන නෞකාවලින් එකකි. ‘එවර්ගිවන්’ නෞකාවේ හිමිකරු ජපන් ජාතික කෝටිපතියෙකි. ඔහු ෂෝහෙයි කිසෙන් කයිෂාන් ය. 

නැව නෙදර්ලන්තයේ, රොටර්ඩෑම් නුවර බලා යෑම ආරම්භ කර තිබුණේ භාණ්ඩ පිරුණු කන්ටේනර් පටවා ගෙන, චීනයේ සිට මැලේසියාව පසු කරමිනි. ‘එවර්ගිවන්’ නැවේ උපරිම වේගය නොට් 22 කි. (පැයට කිලෝ මීටර් 40 කි.) 2018 වසරේ නිෂ්පාදිත, මීටර් 400 ක් දිග, මීටර් 59 ක් පළල, මෙට්‍රික් ටොන් 2,00,000 බර, ‘එවර්ගිවන්’ නැව, පසුගිය 23 වැනිදා, කිලෝ මීටර් 193 ක් දිගින් යුත් සූවස් ඇළට පිවිසියේ, රොටර්ඩෑම් නුවර බලා යාත්‍රා කිරීමටය. 

සූවස් ඇළේ පළල මීටර් 200 කි. ඇතැම් තැන්වල පළල මීටර් 300 කි. සූවස් ඇළ දිගේ යාත්‍රා කරද්දී, ‘එවර්ගිවන්’ නෞකාව, වැලි කුණාටුවකට හසුවී, පාලනයෙන් ගිලිහී, පැත්තට හැරී, ඉදිරිපස විලි තට්ටුවල ගැටී නතර විය. නැව පැත්තට හැරී සිරවී නතර වූයේ සූවස් ඇළ හරස් කරමිනි. 

ඒ අනුව, සූවස් ඇළේ නැව් ගමනාගමනය මුළුමනින්ම අඩපණ විය. නැව මෙසේ අකරතැබ්බකට මුහුණ දුන්නේ, එහි යාන්ත්‍රික දෝෂයක් හටගත් නිසා බවත්, කපිතාන් සහ නියමු කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල නිසා බවත් පැවැසෙයි. සිදුවුණේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද පැවැත්වෙයි. 

සිරවුණු නෞකාව මුදා ගැනීමේ මෙහෙයුම පසුගිය 24 වැනිදා ලහිලහියේ ආරම්භ විය. කොරෝනා ජරමර මැද සූවස් ඇළේ සිරවුණු නෞකාව ප්‍රධාන මාතෘකාවක් විය. නෙදර්ලන්ත විශේෂඥයන් කණ්ඩායමකගේ මැදිහත් වී, නෞකාව මුදා ගැනීම කෙසේ කළ යුතුදැයි කල්පනා කරන්න විය. ඇමෙරිකානු විශේෂඥයන්ගේ සහාය ද ඔවුන්ට හිමිවුණු බව පසුව දැනගන්න ලැබුණි. 

බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් ඇළ ඉවුර හාරා, ටොන් ගණනක් වැලි ඉවත් කෙරුණු අතර, ටග් බෝට්ටු යොදා ගනිමින් නැව අනෙක් කෙළවරෙන් ඇදීමත් ආරම්භ විය. නැව මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ සූවස් ඇළ අයිති ඊජිප්තුවය. ජපන් විශේෂඥ කණ්ඩායමක් ද නෞකාව ඉවත් කිරීමේ මෙහෙයුම්වලට සම්බන්ධ විය. 

නැව මුදා ගැනීමට, වඩදියබාදිය (උදම් රළ) උපකාරී වේවි යැයි එම ජපන් විශේෂඥ කණ්ඩායම පැවැසුවේ පසුගිය සෙනසුරාදා (27) වැනිදාය. වඩදියබාදිය යනු සාගරයේ ජල මට්ටට ඉහළ පහළ යෑමය. මෙය බහුලව සිදුවන්නේ සඳේ එසේත් නැතිනම් චන්ද්‍රයාගේ උදම් ශක්තිය නිසාය. 

වාසනාවකට පසුගිය ඉරිදා එනම් 28 වැනිදා පුර පසළොස්වක පොහොය දිනයක් විය. ඊජිප්තුවට 28 වැනිදා රාත්‍රිය උදා වූයේ ශ්‍රී ලංකාවේ අපට අද (29) උදෑසනය. කලින් සැලැසුම් කළ පරිදි, වඩදියබාදිය උදව්වෙන්, සිරවුණු නැව තල්ලු කිරීමට ටග් බෝට්ටු සමත් විය. ඒ අනුව, සිරවුණු යෝධ නැව පා වීමට සැලැස්වීම කළ හැකිවිය.
‘සිරවුනු නැව මුදා ගැනීමට හැකිවුණා’ යන්න අද (29 වැනිදා) උදෑසන ලොව සියලු ප්‍රධාන පුවත් නාළිකාවල ප්‍රධාන පුවත බවට පත් විය. වඩදියබාදිය උපකාරී කර ගනිමින් ‘එවර්ගිවන්’ නැව තල්ලු කිරීමට නොහැකි වූයේ නම්, එය සති ගණනක් සිරවී තිබෙන්නට ඉඩ තිබුණු බව ද පැවැසෙයි. 

‘එවර්ගිවන්’ නෞකාව සූවස් ඇළේ සිරවෙද්දී, එම නැව නිසා සූවස් ඇළේ සිරවුණු සෙසු නැව් අතරේ, ඉන්ධන බැරල් මිලියන 13 ක් රැගත් නැව් 10 කට වඩා ඇත. සිරවුණු සියලු නැව් ගණන සියයකට වැඩිය. 

සූවස් ඇළේ නැව් ගමන් අඩාල වූ සැණින් බොර තෙල් බැරලයක මිල ඉහළ යන්න විය. ‘කොවිඩ් 19‘ වසංගතය මැද, ලෝකය ආර්ථික මෙන්ම තෙල් අර්බුදයකට ද මුහුණ පෑමේ අවදානමක් නිර්මාණය විය.

වෙන විකල්පයක් නොතිබුණේ නම්, සිරවුණු ‘එවර්ගිවන්’ නැවේ පමණක් නොව සෙසු නැව්වල භාණ්ඩ ඉවත් කිරීමට ද සැලැසුම් කෙරුණි. සිරවුණු නැව් කීපයක බැටලුවන්, ගවයන් ආදී ගොවිපොල සතුන් ප්‍රවාහනය කරමින් තිබුණි. තව දින කීපයක් ප්‍රමාද වූයේ නම් එම සතුන් හාමතේ මියයෑමට ද ඉඩ තිබුණි. 

කෙසේ නමුත් සැමට අස්වැසිල්ලක් වෙමින් සිරවුණු නැව මුදා ගැනීම කළ හැකි වූ අතර, සිරවුණු නැව් ඉදිරි දින කීපයේ ඒවායේ ගමනාන්ත වෙත ළඟා වීමට නියමිතව තිබුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය. 

අප්‍රිකා මහද්වීපය හා සෞදි අරාබියට මැදිව ඇති රතු මුහුදත්, තුර්කිය, ග්‍රීසිය හා ඉතාලිය වටකොටගත් මධ්‍යධරණී මුහුදත යා කරන සූවස් ඇළ වසර 148 ක ඉතිහාසයකට උරුමකම් කියයි. 

1869 වසරේ දී විවෘත කරන ලද සූවස් ඇළ හරහා තෙල්, ස්වාභාවික වායු සහ භාණ්ඩ ප්‍රවාහනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ද සැලකිය හැකිය. සූවස් ඇළේ අයිතිය ඇත්තේ ඊජිප්තු රජයට වන අතර, සූවස් ඇළ ඊජිප්තුවේ ඉහළම විදේශ මුදල් උපයන ජීව නාළියයි. ලොව කාර්යබහුල නැව් මාර්ගයක් ලෙස සැලෙකන්නේ ද සූවස් ඇළ ය. 

2015 දී, ඊජිප්තු ජනාධිති අබ්දෙල් අල් ෆාටා අල් සීසීගේ රජය, සූවස් ඇළ පළල් කළේය. ඒ, ‘එවර් ගිවන්’ වැනි ලොව විශාලතම නෞකාවලට එහි යාත්‍රා කිරීමට ඉඩ සළසා දෙමිනි. අද වනවිට සූවස් ඇළේ පරිපාලන කටයුතු සිදුකෙරෙන්නේ ඊජිප්තු රජයේ සූවස් කැනල් අධිකාරිය හරහාය. ඇළේ බටහිර ඉවුර හරහා ඇළට සමාන්තරව දිවයන දුම්රිය මාර්ගයක්ද පිහිටා ඇත. 

සූවස් ඇළ නිසා ආසියාවේ සිට මැදපෙරදිග සහ යුරෝපයටත්, යුරෝපය සහ මැදපෙරදිග සිට ආසියාවටත් භාණ්ඩ ප්‍රවාහන පහසු වී ඇත. සූවස් ඇළ නොමැති නම්, නැව් ගමනාගමනය සිදුවන්නේ අප්‍රිකාව කෙළවරේ සුබ පැතීමේ තුඩුව පසු කරමිනි. එසේ යෑමට දින 24 ක් ගතවන අතර, සූවස් ඇළ නිසා එම ගමනාගමන කටයුතු දින 14 කට අඩුවෙයි. 

‘එවර් ගිවන්‘ නෞකාව ඉවත් කිරීමට කල්ගතවූයේ නම්, පෙළට සිරවුණු සියලු නැව්වලට ආපසු හැරී ගොස් මෙම දීර්ඝ නැව් මාර්ගය භාවිත කිරීමට ඉඩ තිබුණි. 

මෙම දීර්ඝ නැව් මාර්ගය වැටී ඇත්තේ නිරන්තරයෙන් කුණාටු හටගන්නා සාගරයේය. එපමණක් නොව, සෝමාලි මූදු කොල්ලකරුවන්ගෙන් බේරීමට පවා නැව්වලට සිදුවනු ඇතැයි පැවැසෙයි. සූවස් ඇළ හරහා දෛනිකව නැව් 50-60 අතර ප්‍රමාණයක් පමණ ගමන් කරන අතර එමගින් රැගෙන යන භාණ්ඩ ප්‍රමාණය සාමාන්‍යයෙන් දිනකට ටොන් මිලියන 3 ක් පමණ වෙයි. 

මධ්‍යධරණී මුහුද සහ රතු මුහුද එකම ජල මට්ටමක පැවතීම නිසා, පැනමා ඇළ මෙන් නොව, සූවස් ඇළෙ හි ජල අඟුල් නොමැති අතර සාමාන්‍යයෙන් පැය 11-16 අතර කාලයක් තුළදී සුවස් ඇළ තරණය කිරීමට නැව්වලට හැකියාව ඇත. 

1962 වසරේදී සූවස් ඇළේ පරිපාලන කටයුතු ඊජිප්තු රජයට හිමිවිය. සූවස් ඇළ නිසා නාවික ප්‍රවාහනයේදී භාණ්ඩ සැපයුම වේගවත් වීම, කාලය ඉතිරි වීම, ඉන්ධන වියදම් අඩුවීම, නාවිකයන් සඳහා වන වියදම් අඩුවීම සහ සාගරයේදී ඇතිවිය හැකි ස්වාභාවික විපත් අවම වීම, කාලය ඉතිරි වීම වැනි වාසි බොහෝමයක් අත්ව ඇති අතර, අද වනවිට ලෝක ආර්ථිකයට සහ ජාත්‍යන්තර වෙළෙඳාමට විශාල මෙහෙවරක් ඉටු කිරීමටද සූවස් ඇළට හැකියාව ලැබී තිබේ. 

ඩේලිමේල් ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom