අවුල් ජාලයක් වුණු හැරී මෙගාන් හුටපටය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 14, 2021

අවුල් ජාලයක් වුණු හැරී මෙගාන් හුටපටය

රාජකීයත්වය අත් හැරීමෙන් පසු, බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ මුණුපුරු ඔටුන්න හිමි හැරී කුමරු (36) සහ ඔහුගේ බිරිඳ මෙගාන් මාර්කෙල් (39) කැනඩාවේත් ඇමෙරිකාවේත් මාරුවෙන් මාරුවට ජීවත් වෙති.
 
මෙගාන් ඇමෙරිකන් තරුණියකි. ටෙලි නිළියකි. අසාර්ථක විවාහයකින් පසු, මෙගාන්ට හැරී හමුවූයේත්, තම මවගේ වියෝවෙන් මානසික පීඩනයකට ලක්වුණු හැරීට මෙගාන් සැනසිල්ලක් ගෙනාවේත් 2016 වසරේදීය. දෙදෙනා එකිනෙකා හමුවුණේ යහළු යෙහෙළියන්ගේ මාර්ගයෙන් වන අතර, හමුවන තුරු ඒ ගැන දැන නොසිටි බව ද පැවැසෙයි. හැරී සහ මෙගාන් දෙදෙනා විවාහ වූයේ 2018 දීය. දෙදෙනාගේ ආදර කැදැල්ලට පුතෙකු එක් වූයේ 2019 දීය. පුතුට නම් තබා ඇත්තේ ආචි හැරිසන් මවුන්ට්බැටන් වින්ඩ්සෝර් යන නමින් වන අතර ‘කුමරු’ යනුවෙන් මේ පුංචි රජ පැටියා හැඳින්වෙන්නේ නැත. 

දෙවැනි එලිසබත් මවු රැජිනට මී මුණුපුරු මිණිපිරියන් නව දෙනකු සිටින අතර ‘කුමරු’ සහ ‘කුමරිය’ යන ගරු නාමය ලැබී ඇත්තේ හැරී කුමරුන්ගේ වැඩිමල් සොයුරු විලියම් සහ ඔහුගේ බිරිඳ කේට් මිඩ්ල්ටන්ගේ දරු තිදෙනාට පමණි. කොරෝනා ජරමර මැද, හැරී මෙගාන් යුවළ සහභාගී වූ, සම්මුඛ සාකච්ඡාව ඇමෙරිකාවේ සී.බී.එස්. නාළිකාව ඔස්සේ විකාශය වූයේ මහත් ආන්දෝලනයක් නිර්මාණය කරමින්ය. 

එම සම්මුඛ සාකච්ඡාවකට, හැරී මෙගාන් යුවළ සම්බන්ධ කර ගත්තේ, ජනප්‍රිය කළු ජාතික ඇමෙරිකන් නිවේදිකා ඔප්රා වින්ෆ්‍රි ය. 67 හැවිරිදි ඔප්රා, ඇමෙරිකන් වැසියන්ගේ ගෞරවයටත් ආදරයටත් පාත්‍ර වූ, සංවාදශීලී රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන නිවේදිකාවකි. රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදිකාවකි. මානව හිතවාදියකු ලෙස කැපී පෙනෙන ඔප්රා යමක් කීවොත් ‘එහෙයි’ යැයි එය පිළිගන්නා ඇමෙරිකානුවන් (විශේෂයෙන් ඇමෙරිකන් කළු ජාතිකයන්) බොහොමය. එපමණක් නොවෙයි, ඔප්රා ඇමෙරිකන් දේශපාලනයට ද බලපෑම් කරන ආකාරයේ ප්‍රබල චරිතයකි. ඒ සියල්ලටම වඩා ඔප්රා, මෙගාන්ගේත් හැරීගේත් මිතුරියකි. හැරී මෙගාන් යුවළ රජ පවුලෙන් වෙන් වී, ඇමෙරිකාවේ පදිංචියට එද්දී, ඔවුන්ට නන් අයුරින් උදව් උපකාර කළ තැනැත්තියක වූයේ ද ඔප්රා ය. 

‘හැරී මෙගාන්’ සම්මුඛ සාකච්ඡාව පැය 3 1/2 කට වඩා දිග වූවකි. කෙසේ නමුත් සී.බී.එස්. නාළිකාව එය පැය දෙකකට කප්පාදු කළේ බ්‍රිතාන්‍ය රජ පවුල සම්බන්ධයෙන්, ‘රසවෑහෙන ඕපාදූප’ ඊට හොඳින් ඇතුළත් වන අයුරිනි. සම්මුඛ සාකච්ඡාව, ලොව පුරා මිලියන 17 ක්, මහත් උනන්දුවකින් නැරැඹූ බව දැනගන්න ලැබේ. එම වැඩසටහනින් ඉපැයූ ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 7 කි. බ්‍රිතාන්‍යය රාජකීයයන් මහත් කම්පනයෙන් යුතුව එම සම්මුඛ සාකච්ඡාව නැරැඹුවේ එරට වේලාවෙන් අලුයම 3 ටය. 
සම්මුඛ සාකච්ඡාවට අනුව, මෙගාන් සහ හැරී යුවල විවාහ වී ඇත්තේ, චාමෙට මෙන්ම උත්කර්ෂවත් අන්දමින් ද පැවැත් වූ විවාහ මංගල උත්සවයට දින තුනකට පෙර ය. හැරීගේ බිරිඳ ලෙස, තමන් රජ පවුලට සම්බන්ධ වී, රජ පවුලේ සාමාජිකාවක වූ නිසාත්, කළු ජාතික සම්බවයක් තමන්ට ඇති නිසාත් තමන් වර්ගවාදයටත් මානසික පීඩාවලටත් ගොදුරු වූ බව මෙගාන් කියයි. එම මානසික පීඩනය ඉවසා ගත නොහැකිව තමන්ට දිවි නසා ගැනීමට පවා සිත් පහළ වූ බවත් සසෙක්ස් හි ආදිපාදවරිය යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙන මෙගාන් සම්මුඛ සාකච්ඡාවේදී අනාවරණය කළාය. 

මෙගාන්ගේ මෙම ප්‍රකාශය ඉතා බරපතල එකක් වූවා පමණක් නොව, හැරී කුමරුන්ගේ මව ඩයනා කුමරිය සිහි ගැන්වීමට එය හේතුවක් විය. මෙගාන්ගේ මව ඇමෙරිකන් කළු ජාතික කාන්තාවකි. කළු ජාතික සම්භවයක් ඇති අයකු බ්‍රිතාන්‍ය රජ පවුලට සම්බන්ධ වීම සම්බන්ධයෙන් රජ පවුලේ සාමාජිකයකු මුල සිටම තමන්ට අප්‍රසාදය පළ කළ බව මෙගාන් සම්මුඛ සාකච්ඡාවේදී හෙළි කළේය.

තම පුතු ආචි ට කළු සමක් හිමිවේවිදැයි යන්න සම්බන්ධයෙන් රජ පවුල තුළ විවිධ මත පළ වුණු බවත් පුතුට කළු සමක් තිබුණහොත් රාජකීයත්වය අහිමි කිරීමට රජ පවුලේ ඇතැම් අයට ඕනෑකමක් තිබුණු බවත් මෙගාන් වැඩි දුරටත් කියා සිටියාය. එම ‘සාමාජිකයා’ කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නැති අතර, ඒ, එලිසබත් මවු රැජින හෝ ඇගේ සැමියා පිලිප් කුමරුන් හෝ නොවන බව හැරී කුමරු, ඔප්රා වින්ෆ්‍රි සමඟ පවසා තිබේ. 

හැරී සහ මෙගාන් කළ අනාවරණය දෙඹරයකට ගල් ගැසීමක් වූ අතර, අනාවරණය වුණු එම කරුණු කාරණා සම්බන්ධයෙන් රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ගෙන් තනි තනිවම ප්‍රශ්න කිරීමට දෙවැනි එලිසබත් මහ රැජින තීරණය කර තිබේ. සම්මුඛ සාකච්ඡාව නැරැඹීමෙන් තමන් කම්පනයට පත් වුණු බවත්, හැරී මෙගාන් සිත් තැවුලට පත් වන ආකාරයේ නැඩ සිදුවීම ගැන තමන් මෙන්ම රජ පවුලේ සියලු දෙනා කනගාටුවන බවත් දෙවැනි එලිසබත් මහ රැජින නිකුත් කළ ප්‍රකාශයක දැක්වෙයි. එම ප්‍රකාශය මාධ්‍ය වෙත ලබා දීම කළේ බකිංහැම් මාලිගයයි. 

හැරී සහ මෙගාන් කළ විවේචන සහ චෝදනා සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය වැසියන් අතරේ ද බෙදීමක් නිර්මාණය වී ඇත. බ්‍රිතාන්‍ය කළු ජාතික ප්‍රජාව මෙගාන් ට පක්ෂව අදහස් පළ කර ඇත්තේ සමාජ මාධ්‍ය හරහාය. ‘මෙගාන්ගේ පුතාගේ සමේ පැහැය ගැන රජ පවුලට වඩා උනන්දුවක් දැක්වූයේ ඔප්රා යැයි මට හිතෙනවා. දිගින් දිගටම වර්ගවාදය උලුප්පන්න කටයුතු කළේ ඇයයි. පවුලේ ප්‍රශ්න මොනවා වුණත්, රජ පවුල අපකීර්තියට පත් කිරීමට මෙලෙස අදහස් දැක්වීම අනුමත කරන්න බැහැ.’ යැයි බ්‍රිතාන්‍යයයේ පුමුඛ පෙළේ මාධ්‍යවේදියකු, පුවත් නිවේදකයකු මෙන්ම කැපී පෙනෙන පුද්ගලයකු වන පියර්ස් මෝගන්, මෙගාන් කළ අනාවරණය පිළිකුල් කරමින් මහ රැජිනට සහාය දක්වමින් පැවැසුවේ ප්‍රසිද්ධියේය.

මෙගාන්ට පක්ෂව අදහස් දැක්වීම සම්බන්ධයෙන්, සමාව ගන්නැයි සහෝදර පුවත් නිවේදක නිවේදිකාවන් පියර්ස් මෝගන් ට බල කරන්න වූයේ සජීවී පුවත් විකාශය මැදදීය. එසේ කළ නොහැකි බව පවසමින්, සජීවී පුවත් විකාශයක් අතරතුරේ ම පියර්ස් මෝගන් නැගිට පිටවී ගියේ රැකියාවට ද සමුදෙමිනි. 

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, මෙම අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, තමන් එලිසබත් මහ රැජින ඇතුළු රජ පවුලට බෙහෙවින් ගරු කරන හෙයින්, ඔවුන්ට විරුද්ධව කිසිවක් කිව නොහැකි බවය. ඇමෙරිකානුවන්, විශේෂයෙන් ඇමෙරිකන් කළු ජාතිකයන්, මෙගාන් සම්බන්ධයෙන් ‘අනේ අපොයි’ කීවත්, රැජිනටත් රජ පවුලටත් ආදරේ බොහෝ දෙනා මෙගාන් සම්බන්ධයෙන් කතා කරන්නේ අප්‍රසාදයෙනි. මෙගාන් නිර්භීතව සියලු කරුණු කාරණා හෙළි කිරීම පැසැසුමට කරුණක් බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. 

හැරී කුමරුන්ගේ සොහොයුරා විලියම් කුමරුන්ගේ බිරිඳ කේට් මිඩ්ල්ටන්ගෙන් ද තමන්ට කෙණෙහිලිකම් සිදුවුණු බව මෙගාන් සම්මුඛ සාකච්ඡාවේදී අනාවරණය විය. කේට් අවස්ථා ගණනාවකදී තමන් ඇඬවූ බව මෙගාන් පැවැසුවාය. තමන් සහ තම පියා චාල්ස් කුමරු අතරේ මත ගැටුම් නිර්මාණය වූ බව ද සම්මුඛ සාකච්ඡාවේදී හැරී කුමරු පැහැදිලි කළේය. රජ පවුලෙන් ඉවත් වීමට තීරණය කළ අවස්ථාවේදී පවා, පියා චාල්ස් කුමරු තමන්ට මුදල් ලැබෙන මාර්ග අවහිර කළ බවටත්, තම මිත්තණිය එලිසබත් මහ රැජින හමුවීමට ඉඩ ලබා නොදුන් බවටත් හැරී කුමරු චෝදනා කළේය. 

පියා චාල්ස් කුමරුන් සහ අයියණ්ඩිය විලියම් කුමරුන් ට නිදහස අහිමි වී ඇති බවත් ඔවුන් කොටු වී ඇති බවත් හැරී කුමරු සම්මුඛ සාකච්ඡාවේදී පැහැදිලි කළේය. තමන් සහ විලියම් කුමරුන් අතරේ විරසකයක් නොමැති නමුත්, මේ වනවිට දෙදෙනා එකිනෙකාගෙන් ඈත් වී සිටින බවත්, සියලු ප්‍රශ්න කාලයට අනුව විසඳෙනු ඇති බව තමන් විශ්වාස කරන බවත් හැරී කුමරු සම්මුඛ සාකච්ඡාවේදී පැහැදිලි කළේය. 

සම්මුඛ සාකච්ඡාව නැරැඹීමෙන් පසු විලියම් කුමරු හැරී සහ මෙගාන්ගේ ප්‍රකාශ පිළිගැනීම බැහැර කළේය. බ්‍රිතාන්‍ය රජ පවුල කිසිවිටෙක වාර්ගික අදහස් ඇති රජ පවුලක් නොවන බවත්, මෙගාන් සුදු ද කළු ද බ්‍රිතාන්‍ය රජ පවුල‍ට ප්‍රශ්නයක් නොවූ බවත් පැහැදිලි  කළේය.

ආන්දෝලනයට තුඩු දුන් මෙම සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් සතුටු විය හැකි දෙයක් ද විය. ඒ, දෙවැනි වරටත් ගැබිනියක වීමට සූදානමින් සිටින මෙගාන්, එම දරු ප්‍රසූතිය ගැන අදහස් පළ කිරීමය. ලැබීමට නියමිත දියණියක බව හැරී මෙගාන් යුවළ සම්මුඛ සාකච්ඡාව අතරතුරේ පැවැසූහ. එය හැඟීම්බරව සිටි හැරී මෙගාන් යුවළගේ මුවට සිනහවක් එක් කළ සිදුවීමක් විය.

රජ පවුලෙන් ඉවත් වීමට තීරණය කළේ ඇයිදැයි ඔප්රා වින්ෆ්‍රි හැරී කුමරුන්ගෙන් විමසූ විට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. ‘මෙගාන්ට කෙණෙහිලිකම් සිදුවෙද්දී මට මතක් වුණේ මගේ අම්මා (ඩයනා කුමරිය). මට මගේ අම්මා වෙනුවෙන්, ඇය ආරක්ෂා කර ගන්න යමක් කරන්න බැරිවුණා. ඒත් මගේ අම්මාට සිදුවුණු දේ මගේ බිරිඳට වෙන්න දෙන්නේ නැහැ. ඇත්තටම මට මෙහෙම මගේ බිරිඳට ළං වෙලා නිදහසේ ඇය සමඟ සිටින්න ලැබීම නිදහසක්. සතුටක්. මට හිතා ගන්නවත් බෑ මගේ අම්මා (ඩයනා කුමරිය) මොන තරම් පීඩනයකට ලක් වෙන්න ඇතිදැයි කියලා. ඇය ඇයට එල්ල වුණු අඩන්තේට්ටම් දරාගෙන සිටියේ කෙසේදැයි හිතා ගන්න බෑ. ඉතිහාසය නැවත සිදුවෙනවා.’ යැයි හැරී කැමරු අවධාරණය කළේය. 

ඩයනා කුමරිය රජ පවුල තුළ දැඩි පීඩනයකට මුහුණ දුන් බව ලොවට රහසක් නොවෙයි. ඇය ‘ජනතාවගේ කුමරිය’ ලෙස හැඳින්වෙන්නේ ද ඒ නිසාය. අවසන් කාලයේ රජ පවුල තුළ ඩයනා කුමරියට, ‘කුමරියක’ ලෙස තිබූ තත්ත්වය ඇගෙන් උදුරාගත්තේ යැයි චෝදනා එල්ල වී තිබේ. 

1997 වසරේ, ඩයනා කුමරියගේ මරණය කම්පනයක් වූයේ විලියම් කුමරුන්ට වඩා හැරී කුමරුන්ටය. 

‘එතකොට මා පුංචියි. ජීවිතේ ගැන වැටහීමක් නැහැ. සෙල්ලම් කරමින් විනෝදෙන් හිටියා. ඒ, අවාසනාවන්ත දවසේ අම්මා මට කතා කළා. පැරිස් නුවර සිට. ඇය සමඟ කතා කරන්න මගේ උනන්දුවක් තිබුණේ නැහැ. හේතුව මා වැඩිය උන්නදු වුණේ සෙල්ලම් කරන්නයි. එදා රෑ ඇය අවසන් ගමන් ගියා. මට ඇය ආයේ දකින්න ලැබුණේ නැහැ. ඇගේ හඬ අසන්න ලැබුණේ නැහැ. මා ජීවිතය කාලය පුරාවට ඒ ගැන පසුතැවෙනවා. අම්මා නැති අඩුව මට තදින් දැණුනා ඒ වේදනාව මා සිරකරගෙන සිටියා අවුරුදු 28 ක්. එය මට දරාගන්න බැරි මානසික පීඩනයක් වුණා’ යැයි හැරී කුමරු ඔහු මුහුණ දුන් මානසික පීඩනය ගැන ලොවට හෙළි කරමින් පවසා තිබේ. 

ඩයනා කුමරියගේ සිහිනය වූයේ සුරඟන කතාවක කුමරකුගේ අත ගන්නා කුමරියක වීමය. චාල්ස් කුමරුන්ගේ අත ගනිද්දී, ඇය මහත් සේ සතුටට පත් වූවාය. කෙසේ නමුත්, ඇගේ ආදර කතාව දෙදරා ගියේය. ඇගේ විවාහ ජීවිතය ඇය පැතූ තරම් සුන්දර එකක් නොවිණි. එය නපුරු සිහිනයක් පමණක් විය. ‘මගේ කසාදේ තිදෙනෙක් හිටියා.’ ඩයනා කුමරිය, සිය විවාහ ජීවිතය ගැන ඩයනා කුමරිය වරක් පවසා තිබේ. චාල්ස් කුමරුන්, ඩයනාට වඩා සමීප වූයේ එදා ඔහුගේ පෙම්වතිය වූ කැමලා පාකර්ට ය. (චාල්ස් කුමරුන්ගේ වත්මන් බිරිඳ මැයයි) ඩයනා කුමරියගේ විවාහයේ තෙවැනි පාර්ශ්වය වූයේ කැමලාය. 

ජීවත්ව සිටිද්දී පමණක් නොව, මරණයෙන් පසුවත් ඩයනා කුමරියට සිදුවුණු කෙණෙහිලිකම්වල අඩුවක් නොතිබුණි. චාල්ස් කුමරුන්ගෙන් දික්කසාද වීමත් සමඟ, චාල්ස් කුමරුන් සහ එලිසබත් මහ රැජින ඩයනා කුමරිය තවත් ඈත් කරන්න වූහ. ‘ඔවුන් මා තර්ජනයක් විදියට දැක්කා. ඒත් මා කාටවත් තර්ජනයක් වෙන විදියේ කෙනකු නොවේ. මට කාගේවත් ජීවිතවලට බලපෑම් කරන්න හෝ කරදරයක් වෙන්න හෝ කැමැත්තක් නැහැ. මා මෙලොවට ආවේ යහපත් දේ කරන්න. නපුරු වැඩ කරන්න නොවේ’ යැයි ඩයනා කුමරිය ඇගේ දික්කසාදයෙන් පසු මාධ්‍ය සාකච්ඡාවකදී හෙළි කළාය. 
දික්කසාදයෙන් පසු, ඩයනා කුමරියගේ ප්‍රධාන අරමුණ වූයේ තම පුතුන් දෙදෙනා ආරක්ෂා කිරීමය. ‘පැපොරාසි’ කැමරා ශිල්පීන් ඩයනා කුමරියට හිසරදයක් වූවා පමණක් නොව, අවසානයේ ඇගේ ඉරණම තීන්දු කළේ ද ඔවුන්ය. තම මව ඩයනා කුමරියට අත්වුණු ඉරණම තම බිරිඳට අත්වන බව අවබෝධ කරගත් සැණින්, තමන් රජ පවුල අතහැර තම බිරිඳ මෙගාන් තෝරා ගැනීමට දෙවරක් නොසිතූ බව සම්මුඛ සාකච්ඡාවේදී හැරී පැවැසීය. 

මව ඩයනා කුමරියට අත්වුණු බේදනීය ඉරණම, මෙගාන් ට අත් විඳීමට තමන් කිසිසේත් ඉඩක් ලබා නොදෙන බවට හැරී කුමරුන් ප්‍රතිඥා දී තිබේ. හැරී සහ විලියම් කුමරුන් දෙදෙනා අතරින්, දෙවැනි එලිසබත් රැජිනගේ ප්‍රියතම මුණුපුරා හැරී බව ද රහසක් නොවෙයි. එහෙයින්, හැරී රජ පවුලෙන් ඉවත් වීමට ගත් තීරණය එලිසබත් රැජිනට දුකක් වූ බව ද පැවැසෙයි. 

දෙවැනි එලිසබත් මහ රැජිනගේ වයස මේ වනවිට අවුරුදු 94 කි. ඇය උපන්නේ, 1926 අප්‍රේල් 21 වැනිදා ය. අවුරුදු 13 දී ඇයට ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ පිලිප් කුමරු දැන හඳුනා ගැනීමට හැකිවිය. ඉන් වසර 8 කට පසු, එලිසබත් කුමරියගේ සැමියා වූයේ ඇයට වඩා අවුරුදු 6 කින් වැඩිමල් පිලිප් කුමරාය. 1945 වසරේ, එලිසබත් කුමරිය, රාජකීය හමුදා සේවයට බැඳුණාය. ඒ, හමුදාවේ කාර්මික ශිල්පිණියක ලෙසය. 6 වැනි එඩ්වඩ් පිය රජු අභාවප්‍රාප්ත වෙද්දී, එලිසබත් කුමරියට අවුරුදු 25 කි. රජුගේ අභාවයෙන් මාස 8 කට පසු බි්‍රතාන්‍යයේ රැජින ලෙස ඇය කිරුළු පැලඳියාය. එය සජීවීව රූපවාහිනියෙන් තිරගත කෙරුණි. 

 අවුරුදු 55 දී, නවසීලන්තයේ සංචාරයකට ගිය අවස්ථාවේදී, 17 හැවිරිදි ගැටවරයෙක්, රැජින ගමන් කළ රථ පෙළට වෙඩි තැබුවේ, රැජින ඝාතනය කිරීමේ අරමුණින්ය. එයින් ඇයට අනතුරක් සිදු නොවිණි. 1991 වසරේ දී, ඇමෙරිකා සංචාරය අතරතුරේ, එලිසබත් රැජින ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය ඇමැතුවේය. බි්‍රතාන්‍ය රාජකීයයකු ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය ඇමැතූ පළමු අවස්ථාව එය විය. අවුරුදු 67 දී, ඇය බදු ගෙවීමට පළමු වරට එකඟත්වය පළ කළාය. ඒ, බ්‍රිතාන්‍ය වැසියන්ගේ හොඳහිත දිනා ගැනීමේ අරමුණින්ය. 

ඩයනා කුමරිය සහ මහ රැජින අතර පැවැති සම්බන්ධය ආරම්භයේ පටන් අවුල් ජාලයක් වූ හෙයින්, 1997 අගෝස්තු 31 වැනිදා, ඩයනා කුමරියගේ අභාවයෙන් පසු, එලිසබත් රැජින ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළේ දින පහකට පසුවය. 2012 වසරේ පෙබරවාරියේ, මවු රැජින ඇගේ දියමන්ති ජුබිලිය සැමරුවේය. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 16 ට මහ රැජින වන්නේ ද එලිසබත් රැජිනය. ඇය දරු දැරියන් 13 දෙනකුගේ මිත්තණිය සහ මී මිත්තණියයි. 

2019 අප්‍රේල් 21 වැනිදා, දෙවැනි එලිසබත් මහ රැජින සිය 93 වැනි උපන් දිනය සැමරුවාය. ලොව වැඩිම කාලයක්, රජ කිරුළ දරා සිටින තැනැත්තා ලෙස සැලකෙන්නේ ද දෙවැනි එලිසබත් මහ රැජිනය. හැරීට මෙගාන් නොගැලපෙන බව, පළමුවෙන්ම තීරණය කර ඇත්තේ එලිසබත් මවු රැජින යැයි බ්‍රිතාන්‍යයේ ඕපාදූප සඟරා පෙන්වා දෙයි. 

මෙගාන් ලොව පුරා ජනප්‍රිය වූයේ ඇමෙරිකන් ටෙලි නිළියක ලෙසය. ඒ, ‘සූට්ස්’ රූපවාහිනී කතා මාලාව හරහා ය. හැරී මෙගාන්ගේ විවාහයෙන් පසු, ‘සූට්ස්’ කතාමාලාව ද අවසන් විය. හැරී සමඟ විවාහ වීමෙන් පසු, ඇතිවුණු ‘රාජකීය සබඳතා’ යොදා ගනිමින්, හැරීට ද හොරා, මෙගාන් හොලිවුඩයේ නිළි ‘රැජිනක’ වීමට උත්සාහ ගත්තේ යැයි එලිසබත් මහ රැජිනගේ අප්‍රසාදයට හේතුවක් වී ඇති බවට ද චෝදනා එල්ල වී ඇත. 

රජ පවුලේ සාමාජිකයන් සහ මෙගාන් අතර ‘අර්බුදයක්’ නිර්මාණය වූයේ ඒ අනුව යැයි පැවැසෙයි. හැරී මෙගාන් යුවල රජ පවුලෙන් ඉවත් වූයේ එලිසබත් රැජිනගේ හෝ රජ පවුලේ වෙන කිසිවකුගේ හෝ ‘ආශිර්වාදය ඇතිව’ නොවෙයි. හැරී මෙගාන් යුවළ අයත් වූයේ, බ්‍රිතාන්‍ය රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් අතරටය. රජ පවුලේ ජ්‍යෙෂ්ඨයන් වන්නේ රජ කිරුළේ උරුමක්කාරයන්ය. එලිසබත් රැජිනගෙන් පසු රජ කිරුළ හිමිවන්නේ, ඇගේ පුතු චාල්ස් කුමරුන්ටය. චාල්ස් කුමරුන්ගෙන් පසු කිරුළ හිමිවන්නේ විලියම් කුමරුන් සහ ඔහුගේ පුතුන් දෙදෙනා සහ දියණියටය. හැරී කුමරු සිටින්නේ කිරුළ හිමිවීමේ ලැයිස්තුවේ 6 වැනි ස්ථානයේ ය. 

ඩේලිමේල් ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom