![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjJAtXtd4FDSExJ7HyoPgKezko6P15KkC31YeLQnLifgugmA0shbYhyphenhyphenNmc8a3-MTG1UFabo3xeGkAJfgzQbWorQJwo-b09cc1Efo863SS0GthjHf6YwfsXsSoZdDrOtk2GlErkS3hEJgT_/s16000/160299647_10157486514711467_4905495176002839508_o.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiE1ADmVMZYaQnR1-prtHAFN88UF-DyCo8sgWkZph0AbF2k8cHW8K9pUKRwrldAiETfel_mj4mMDxKd0j8zreFeSP9EiVCWM6JuvtoB6rHKhR1G8eREmsMhcVEbFfMAPRCLCO6v6TOzS8-a/s16000/160909929_10157486514546467_4982002033795143762_o.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTaLFiltSgpk3L50_GmM_mE87XbsFCyIocMxdpGFoSNCCXYCyb0lflC_iEWKt622rhgQP8r_GPa9rxI4ih2Rh7vC33cKfxmp-6_CmAs74KxDejAmkQzpSRAB8nuo3tX4BeDucyy9HXga8q/s16000/161668874_10157486515036467_3476454821822651389_o.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEicVJwY2gX9Tt2Lov1iHlKqhEZoJkXXy32iHvPp-hFChnPOiLTB7TClh2ARF85D6KMo2-kxyEuSuUat6kJe3jNuK7U-Mt8icAx1QEOg4r-J5UAogd5AbdgSSIw2MihVgsXOKliVIDRcm7JA/s16000/161822043_10157486514776467_3580159455243137569_o.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgUJ-0Mf3BV5QFA-llUvNUYCVpJyLDAatzLk8mJfEQspZ3PV2TX4SPI-_ClyzMgg8hZwx1QlayNaWZvE_-oaPvt37VbWDB0tG3pxsCwn43gxvO1sqIPIH5L3IKSH_sD_b7khPZHQd5OilCE/s16000/162358060_10157486515116467_5677928914943197197_o.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0Tm70V41vZSU9r_bhhQn4JyUNf0lNwbCRGV0RdC4Ar6rZc2JvtewGf2rYY-oeItHK7e24DzrqRCGM7ISn6mRMHY6hHu0rrHtTYPrhrLkHeRPviBS_3O22scyPcsZrVLB1GRV8uKGNXSwp/s16000/163281307_10157486515231467_8970182925097261546_o.jpg)
ශ්‍රී ලංකා - බංග්ලාදේශ ද්විපාර්ශ්වීය රාජතාන්ත්‍රික සාකච්ඡා බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මියගේ සහ ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) උදෑසන ඩකා නුවර පිහිටි බංග්ලාදේශ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.
ආර්ථික, ආයෝජන, වෙළඳ, තාක්ෂණ, කෘෂි සහ ධීවර කර්මාන්තය හා දේශපාලන සබඳතා ඉදිරියට ගෙනයාම පිළිබඳව මෙහි දී අවධානය යොමු කෙරුණි.
කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින ආකාරය සම්බන්ධයෙන් බංග්ලාදේශ අගමැතිතුමියගේ විශේෂ ඇගයීමට ද ලක්විය.
සාර්ක් සංවිධානයේ කොවිඩ්-19 හදිසි අරමුදල (SAARC Covid-19 Emergency Fund) යටතේ වසංගතය පාලනය කිරීමට අදාළ වෛද්‍ය උපකරණ තොගයක් නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට එවන බව බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය පැවැසුවාය.
කලාපීය ආර්ථික සහයෝගීතාව වර්ධනය වන ආකාරයට කලාපයට අනන්‍ය වූ ආර්ථිකයක් ගොඩනැගීම කෙරෙහි බංග්ලාදේශ අගමැතිතුමිය මෙහි අවධානය යොමු කළාය.
ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට බංග්ලාදේශ විශ්වවිද්‍යාලයන්හි අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව ඇති බව සඳහන් කළ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය, උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට එරටට පැමිණෙන්නැයි ද ඇරැයුම් කළාය.
දෙරට අතර ගුවන් ගමන් සේවා පුළුල් කරමින් සංචාරක කර්මාන්තය සහ වෙළඳාම් වැඩි දියුණු කර ගැනීම පිළිබඳව ද දෙරටේ දූත පිරිස අතර සාකච්ඡාවට බදුන් විය.
ව්‍යාපාරික වශයෙන් දෙරට අතර පවතින සබඳතා ඉහළ නංවා ගැනීම පිළිබඳව ශ්‍රී ලාංකේය දූත පිරිස අදහස් පළ කළ අතර ඊට ප්‍රතිචාර දැක්වූ බංග්ලාදේශ අගමැතිනිය බංග්ලාදේශය නිරන්තරයෙන් ඔබ සමඟ යැයි පැවැසුවාය.
නිල සංචාරයක් සඳහා ලබන වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මියට ආරාධනා කළ අතර ඇය එම ආරාධනාව සාදරයෙන් පිළිගත්තා ය.
පසුගිය වසරවල බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ඒකාබද්ධ උපදේශන කොමිෂම යළි යාවත්කාලීන කිරීම පිළිබඳව ද මෙහි දී දෙරටේ දූත පිරිසේ අවධානය යොමු විය.
ශ්‍රී ලංකාවේ දේශගුණයට ගැළපෙන බංග්ලාදේශ වී ප්‍රභේද මෙරටට ලබා දීමටත්, එරට මිරිදිය කර්මාන්තය දියණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගය ලබා දීමටත් දෙරටේ දුත පිරිස එකඟතාවකට පැමිණියහ.
ඊට අමතරව, බංග්ලාදේශ හා ශ්‍රී ලංකා මහ බැංකු අතර සහයෝගීතාව තාක්ෂණික මට්ටමෙන් වැඩිදියුණු කරගැනීම පිළිබඳව ද අවධානය යොමු විය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhPEr39th4U6vcCtx0mx5KFIZg4ar4eTLfxy5MvVkYWZThHs42KpUhxy2Ff8tSL4VjmFJedKjl90e3Go3NgrnRl3HjnTCDUs0fpxl-zUYLCQwnQQQgINp6htxlHDN7UqIPWYhTuxicMRSz5/s16000/159980221_10157486539701467_8563717297731947353_o.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEio8qe8pCLy3W6a7m8Y7YQgtPmbvhxfn3QvyRRS_o7YUocfiVKJRHhOGDzqic01qjVL56SBLPcCpBlw73s9p5cblW6W9A35Gbir7Pki0LJYhanwpuW4bheUpptyQfwGZW3IEqmkOcrCZTj4/s16000/160600333_10157486538841467_2698808657905412044_o.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiXaonJXtYLmd5vvRgCIajDLuKELeruyJ2GZnEW6eShRhPF733U1GKf2I1KIJdtQWvv1yDKDDtRnv_fwA5o3aGkdWNmsBrgnaPpmY9sSW6HTdBbPJgxdp-zmFN3dnfpuywXvsp2aVZlVV3w/s16000/162747550_10157486540946467_5988307070563126953_o.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgpEI0OWuWZHwrFIMQebi99vrCcb0ZGYTwZJL96DuYjHB2rOkvi6DnUs4s4qofL5pFUveb8aQDRS7E1RhKbnxJuGLeFaDXq1d0YvyA_U1UuNC4TVAQnpSyitmtDxBo_hTEUcWiqsmxANlXk/s16000/162814765_10157486538486467_758607768697753550_o.jpg)
දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතා සඳහා ලබන වසරට අවුරුදු 50ක් සම්පූර්ණ වීම හා ඒ ඔස්සේ ද්විපාර්ශවීය වශයෙන් දේශපාලන සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද අදහස් හුවමාරු විය.
ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සහ මිනිස් ජාවාරම් මැඩලීමට අවශ්‍ය කටයුතු සඳහා දෙරටේ ම එකඟතාව පළ විය.
එම සාකච්ඡා අවසානයේ දෙරටේ අග්‍රාමාත්‍යවරුන් ඉදිරියේ ශ්‍රී ලංකා - බංග්ලාදේශ ද්විපාර්ශ්වීය අවබෝධතා ගිවිසුම් 6 ක් සඳහා දූත පිරිස අත්සන් තැබූහ.
තරුණ කටයුතු සංවර්ධනය ශක්තිමත් කිරීම, කෘෂිකර්මික පර්යේෂණ, වෘත්තිය දැනුම හුවමාරු කරගැනීම, සෞඛ්‍ය හෙද කාර්ය මණ්ඩල පුහුණු කිරීම, අන්තර්ජාතික සහයෝගිතා අධ්‍යනය සහ 2021-2025 දක්වා අන්තර් හුවමාරු සංස්කෘතික වැඩසටහනක් සඳහා මෙසේ දෙරට අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරිණි.