පුටින් ඝාතකයෙක්: බයිඩන්ගෙන් චෝදනා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 18, 2021

පුටින් ඝාතකයෙක්: බයිඩන්ගෙන් චෝදනා

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඝාතකයකු යැයි තමන් සිතන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කියයි. ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ කීවේ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. 

ජනාධිපති බයිඩන්, රුසියන් ජනාධිපති විවේචනය කරමින් අදහස් පළ කළේ ඒ.බී.සී. නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූයේ මාධ්‍යවේදී ජෝර්ජ් ස්ටෙපනොපලිස්ය. 

රුසියාවේ විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන්ට සිදුවන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් ජනාධිපති බයිඩන් සම්මුඛ සාකච්ඡාවේදී අදහස් දැක්වීය. රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි ට වස දීම සහ පසුව ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී ජෝර්ජ් ස්ටෙපනොපලිස් ජනපති බයිඩන්ගෙන් අදහස් විමසීමක් කළේය.

'පුටින් ඝාතකයකු කියා ඔබ හිතනවාද?' යැයි මාධ්‍යවේදී ස්ටෙපනොපලිස් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජනපති බයිඩන් කියා සිටියේ, 'ඔව්, මා එහෙම හිතනවා' යනුවෙනි. 

ජෝ බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වූයේ පසුගිය 2020 නොවැම්බර් මාසයේ පැවැති ජනාධිපතිවරණයෙනි. රුසියන් ජනාධිපති පුටින්ගේ උපදෙස් මත‍ රුසියානු ඒජන්තවරුන් එම ජනාධිපතිවරණයට ද 'ඇඟිලි ගැසීම්' කළ බව ඇමෙරිකන් බුද්ධි අංශ අනාවරණය කර තිබේ. 

රුසියන් ජනාධිපති පුටින්ගේ උපදෙස් මත, රුසියන් ඒජන්තවරුන් ඇමෙරිකාවේ මැතිවරණ කටයුතුවලට සෘජුව සහ වක්‍රව සම්බන්ධ වී, ජෝ බයිඩන් සහ ඩිමොක්‍රටික් පක්ෂය අපකීර්තියට පත් කිරීමට ක්‍රියා කළේ යැයි එම ඇමෙරිකන් බුද්ධි අංශ නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වෙයි. 

ජනාධිපතිවරණයට 'ඇඟිලි ගැසීම්' කළ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ට කිසිදු සමාවක් නොදෙන බවත්, ඒ සම්බන්ධයෙන් ඔහුට වන්දි ගෙවීමට සිදුවන බවත් ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කළේය. ඉදිරියේ දී රුසියාවට තව තවත් සම්බාධක පැනැවීමට පියවර ගන්නා බව ද පැවැසුවේය. 

මේ අතර රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොෆ් පවසා ඇත්තේ ඇමෙරිකන් බුද්ධි අංශ එල්ල කරන චෝදනා පදනම් විරහිත චෝදනා බවය.

AFP

Classified_Ad

Classified_Ad_News_Bottom