චීන එන්නත අවුල්ද? - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 28, 2021

චීන එන්නත අවුල්ද?

'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත අපනයනය තාවකාලිකව නවතා දැමීමට ඉන්දීයාව තීරණය කළේ, ඉන්දියානුවන්ට ප්‍රමුඛතාව දී එම එන්නත ඔවුන්ට ලබා දීම කළ යුතු බැවිනි. 

ඒ අනුව, අවුරුදු 45 ට වැඩි ඉන්දියානුවන් සැමට ලබන අප්‍රේල් පළමු වැනිදා සිට 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත ලැබෙයි. ඉන්දියාව මෙසේ තීරණය කළේ එරට කොරෝනා ආසාදිතයන් යළිත් වරක් ඉතා වේගයෙන් ඉහළ යෑම නිසාය. 

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකුට ලබා දීම සිදුවූයේ මෙම එන්නතය. ඉදිරියේ දී තවත් එන්නත් දෙකක් මෙරටට ලැබීමට නියමිතය. එකක් රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නතය. මෙය මිලදී ගැනීමට රජය සූදානම් වෙයි.

අනෙක් එන්නත 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූ චීනයෙන් අපට ප්‍රදානය කරන එන්නතයි. 'සිනොෆාම්' නමැති මෙම එන්නත ලබන 31 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ. 

 මෙම එන්නත ලැබෙන්නේ චීන ශ්‍රී ලංකා මිතුදම් ශක්තිමත් කිරීමක් ලෙසය. එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් මෙරටට ප්‍රදානය කරන බවත්, එයින් සියයට 1 ක්, මෙරට චීන වැසියන්ට ලබා දෙන ලෙසත් චීන රජය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් ද කර තිබේ. 

චීනයේ 'සිනෝෆාම්' එන්නත පළමුවෙන් භාවිතයට ගත් මැදපෙරදිග රටවල් වන්නේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ බහරේනයයි. ඒ, එම රටවල සෞඛ්‍ය අංශ 'සිනෝෆාම්' එන්නතට පූර්ණ අනුමැතිය ලබා දුන් බැවිනි. 

අදවනවිට මැදපෙරදිග රටවල් බොහොමයක් 'සිනෝෆාම්' එන්නතට අනුමැතිය දී අවසන්ය. ඒ, එය සර්ථක ප්‍රතිඵල අත්පත් කරදෙන බව පෙන්වමිනි. 

'සිනෝෆාම්' එන්නත නිපදවන්නේ, චීන රජයට අයත්, ජාතික බයෝටෙක් ඖෂධ සමාගමය. මෙම සමාගම පිහිටා ඇත්තේ චීනයේ බීජීං අගනුවරය. 'සිනෝෆාම්' යන නමින් හැඳින්වුවත්, මෙහි නිල නාමය වන්නේ BBIBP-CorV ය. 

'සිනෝෆාම්' එන්නත තෙවැනි සායනික පර්යේෂණ සහ අත්හදා බැලීම්වලට යොදා ගැනීම සිදුවූයේ පසුගිය 2020 සැප්තැම්බරයේය. චීනය ඇතුළු රටවල් 10 ක එන්නත අත්හදා බැලීම සිදුවිය. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ද ඒ අතර වෙයි. 

සායනික පර්යේෂණ පැවැත්වෙද්දී සහ ඒවා සාර්ථක වෙද්දී, 'සිනෝෆාම්' එන්නතට පළමුවෙන් අනුමැතිය ලබා දුන්නේ එමිරේට්ස් රාජ්‍යයයි. ඒ, 2020 දෙසැම්බර් 9 වැනිදාය. 

ඉන්පසු බහරේනය දෙසැම්බර් 14 වැනිදා එන්නතට අනුමැතිය ලබා දුන්නේය. චීන රජය තමන් නිපදවූ 'සිනෝෆාම්' එන්නතට අනුමැතිය ලබා දුන්නේ ඉන්පසුවය. ඒ, 2020 දෙසැම්බර් 31 වැනිදාය. 

ඊට හේතුවක් තිබේ. සාමාන්‍යයෙන් එන්නත් අත්හදා බැලීම සිදුවන්නේ වයිරසයක් ව්‍යාප්තවන ප්‍රදේශයක හෝ නගරයකය. චීනය සාර්ථකව 'කොවිඩ් 19' වයිරසය පාලනය කරගත් බැවින්, එන්නත අත්හදා බලා අවශ්‍ය දත්ත ලබා ගැනීම අසීරු කාරණයක් විය. 

චීනයට පෙර, කොරෝනා ව්‍යාප්ත වෙමින් පැවැති එමිරේට්ස් රාජ්‍යය සහ බහරේනය එන්නතට අනුමැතිය දුන්නේ එහෙයිනි. 

එමිරේට්ස් රජය මේ වනවිට 'සිනෝෆාම්' එන්නත පමණක් නොව, 'ෆයිසර් බයෝඇන්ටෙක්', 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා', 'ස්පුට්නික් 5' යන එන්නත් ද එරට වැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට නොමිලේ ලබා දෙයි. 

වෙන ඕනෑම කෙනකුට මෙම එන්නත් මුදල් දී ලබා ගැනීමට ද අවස්ථාව ලබා දී තිබේ. 

ඊජිප්තුව 'සිනෝෆාම්' එන්නතට අනුමැතිය ලබා දුන්නේ ජනවාරි 4 වැනිදාය. ජෝර්දානය අනුමැතිය දීම සිදු කළේ ජනවාරි 10 වැනිදාය. චීන එන්නතට අනුමැතිය ලබා දුන් පළමු ආසියානු රට පාකිස්තානයයි. පාකිස්තානයේ අනුමැතිය එන්නතට හිමිවූයේ ජනවාරි 19 වැනිදාය. පාකිස්තානයට චීන එන්නත ලැබුණේ පරිත්‍යාගයක් ලෙසය. ඒ, චීන පාකිස්තාන හොඳ හිත වර්ධනය කර ගනිමිනි. 

 පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට ලබා දුන්නේ ද 'සිනෝෆාම්' එන්නතය. කෙසේ නමුත් එන්නතේ පළමු මාත්‍රාව ලබා දින දෙකක් යද්දී අග්‍රාමාත්‍ය ඉම්රාන් සහ බිරිඳ කොරෝනා ආසාදිතයන් බව හඳුනා ගැණින. ආසාදිතයන් වුවත්, ඔවුන්ගේ රෝගී තත්ත්වය බරපතල නොවුණු බව වාර්තා විය.

'සිනෝෆාම්' එන්නත පමණක් නොව, මෙතෙක් නිපදවා ඇති සියලු කොරෝනා එන්නත් ලබා දීම සිදුවන්නේ, වයිරසය ආසාදනය වීම වැළැක්වීමට පමණක් නොවෙයි. වයිරසය ආසාදනය වුවහොත් දරුණු ලෙස රෝගී වීම වැළැක්වීමට සහ අන් අයට වයිරසය ආසාදනය වීම වැළැක්වීමටය. 

පසුගිය ජනවාරි 23 වැනිදා මොරොක්කෝවත්, ජනවාරි 30 වැනිදා හංගේරියාවත් 'සිනෝෆාම්' එන්නතට අනුමැතිය ලබා දුන්නේය. ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යය 'සිනෝෆාම්' එන්නත ලබා දීම ආරම්භ කළේ පෙබරවාරි 9 වැනිදාය. 

පිලිපීනය ද මේ වනවිට 'සිනෝෆාම්' එන්නතට අනුමැතිය දී ඇත. කෙසේ නමුත් එන්නත පළමුවෙන් ලබා දීම සිදුවන්නේ එරට හමුදා සොල්දාදුවන්ට සහ මැති ඇමැතිවරුන්ට යැයි පැවැසෙයි. 

'සිනෝෆාම්' එන්නත නිපදවා ඇත්තේ, චීනයේ ව්‍යාප්ත වූ කොරෝනා වයිරස ප්‍රභේද 3 ක් පාදක කර ගනිමිනි. එයින් වැඩි අවදානය යොමු වී ඇත්තේ බහුලව ව්‍යාප්ත වූ වයිරස ප්‍රභේදය කෙරෙහිය. 

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ මිලියන 5 කට 'සිනෝෆාම්' එන්නත ලැබී ඇති අතර, එන්නත ආරක්ෂිත බවත්, උණ ඇඟපත වේදනාව හැරුණු විට, දරුණු රෝගාබාධ කිසිවක් ඇති නොවුණු බවත් එමිරේට්ස් සෞඛ්‍ය බලධාරීහු කියති. පසුගිය 2021 පෙබරවාරි වෙද්දී, චීනය 'සිනෝෆාම්' එන්නත් මාත්‍රා මිලියන 43 ක් නිපදවීය. එයින් මිලියන 34 ක් චීන වැසියන් වෙනුවෙන් භාවිතය ගත් බවත් ඉතිරි එන්නත් මාත්‍රා අපනයනය කළ බවත් වාර්තා වේ. 

ලහිලහියේ නිපදවීම සිදුවුණු බැවින්, කිසිදු එන්නතක් සියයට සියයක් අත්හදා බලා නැත. සාර්ථකත්වය සියයට සියයක් වන එන්නත් ද නැත. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය 'සිනෝෆාම්' එන්නතට ලැබී නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතයට සුදුසු යැයි යෝජනා කර ඇත්තේ ඇමෙරිකාවේ 'ෆයිසර්' එන්නත සහ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත් පමණි. 

 ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නොලැබීම නිසා රුසියාවේ 'ස්පුට්නික් 5' එන්නත සම්බන්ධයෙන් මෙන්ම මෙම චීන 'සිනෝෆාම්' එන්නත සම්බන්ධයෙන් ද බියක් හෝ සැකයක් හෝ ඇතිවීම සාධාරණය. 

'ස්පුට්නික් 5' එන්නතට හෝ 'සිනෝෆාම්' එන්නතට අනුමැතිය දීම ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රමාද කර ඇත්තේ එන්නත් සම්බන්ධයෙන් දත්ත ප්‍රමාණවත් නොවන නිසාම නොවෙයි. චීනය සහ රුසියාවට ඇති අකමැත්ත නිසාය. සමහරවිට එය එසේ විය හැකි යැයි අනුමාන කෙරේ. 

නැතිනම් අනෙක් එන්නත් විකණීම සිදුවන බැවින් වැඩි ලාභ උදෙසා 'ස්පුට්නික් 5' එන්නතට හෝ 'සිනෝෆාම්' එන්නතට අනුමැතිය දීම ප්‍රමාද කරනවා විය හැකි යැයි ද දේශපාලන විශ්ලේෂකයෝ පවසති. 

කෙසේ හෝ වේවා, 'ස්පුට්නික් 5' එන්නත හෝ 'සිනෝෆාම්' එන්නත අනෙක් සියලු එන්නත්වලට වඩා අතුරු ආබාධ නැති සාර්ථක එන්නත් විය හැකිය. 'ස්පුට්නික් 5' එන්නතය වඩා 'සිනෝෆාම්' එන්නත සාර්ථක විය හැකිය. 

ගල්ෆ් නිවුස් ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom